රටින් පැන්නු මුදල් ගෙන්න මාලිමාව සජබ සුදානම්


රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය මගින් කටයුතු කරනවා - සුනිල් හඳුන්නෙත්ති

පද්මිණී මාතරගේ 
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන”‍ ආයතනයක් ස්ථාපිතකොට, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් රටෙන් සොරාගන්නා ලද අයථා ඉපැයීම් සහ විදේශයන්ට නීතිවිරෝධීව ගෙනගිය මුදල්, වත්කම් නැවත අත්පත් කරගැනීමට කටයුතු කරන බව එම ජනබලවේගයේ ජාතික විධායක සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම්, ඕනෑම අයෙකුට එම ආයතනයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ද ඔහු කීය.
එම තොරතුරු ලැබීමෙන් පසුව ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතනවලට යොමු කර ඒවාට අදාළ පරීක්ෂණ කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් නඩු පැවරීමක් සිදුකර නඩුව ඔප්පු වීමෙන් පසුව අයථා ලෙස උපයාගත් මුදල්, දේපළ, වත්කම් රජයට පවරා ගැනීමේ හැකියාව තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේ ය. මේ වන විටත්  එවැනි වංචා දූෂණ පිළිබඳව රාජ්‍ය ආයතනවලට පැමිණිලි ලැබී තිබෙන බවත්, ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට ජාතික ජනබලවේගය කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේ ය.
කිසියම් අයෙකුට විරුද්ධව මුදල් විශුද්ධිකරණය හෝ මහජන මුදල් වංචා කිරීම හෝ යටතේ නීතිපතිවරයා විසින් නඩුවක් පවරනු ලැබ එම නඩුවෙන් වැරැදිකරුවෙකු වුවහොත් ඔහුට හෝ ඇයට හෝ අයත් දේපළ, වත්කම් කිසියම් රටක ඇත්නම් ඒවා ගෙන්වා ගැනීමට රටේ නීතියක් පවතින බව කී හඳුන්නෙත්ති මහතා අදාළ රටවල් සමඟ මේ සම්බන්ධව ගිවිසුම්ගත බැඳීමක් පවතින හෙයින් අධිකරණයෙන් ඉල්ලීම් කළහොත් එම මුදල් ගෙන්වා ගැනීමේ නීතිමය හැකියාවක් පවතින බව කීවේය.

පනත් කෙටුම්පත සම්මත කර  මාස හයෙන් මුදල් ගේන වැඩපිළිවෙළ පටන් ගන්නවා - ඉරාන් වික්‍රමරත්න

උපුල් වික්‍රමසිංහ
සමගි ජන බලවේගය බලයට පත් වූ පසු මේ වෙන විටත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සොරකම් කරන ලද වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පත (The Stolen Assets Recovery Bill) කඩිනමින් සම්මත කර මාස හයක් වැනි කාලයක් ඇතුළත එම මුදල් රටට ගෙන්වා ගැනීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. එය සිය පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ද ඇතුළත් කර ඇති බව සඳහන් කළ ඔහු එම පොරොන්දුව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළේය. 
එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහාය ඇතිව මහජන මුදල් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව කී මන්ත්‍රීවරයා එය දවසින් දෙකකින් කළ හැකි කර්තව්‍යයක් නොවන බව ද සිහිපත් කළේය. එසේ රටින් පිට කරන ලද මුදල් හා දේපළවල වටිනාකම කොතෙක් ද යන්න මෙතෙක් තක්සේරු කර නැති බව ද වික්‍රමරත්න මහතා කීවේය.
ඒ අනුව “සැමට ජයක්” මැයෙන් යුතුව එළිදැක්වූ සමගි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ දූෂණ විරෝධී නීති යටතේ දැක්වෙන්නේ දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සොරකම් කරන ලද වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පත නව ආණ්ඩුවක් තේරී පත්වී මාසයක් ඇතුළත සම්මත කරන බවත් දූෂණ ක්‍රියා මගින් පැහැර ගත් වත්කම් ප්‍රතිසාධනය කිරීම කඩිනමින් සිදු කරන බවත්ය.

ජනාධිපතිවරණයෙහෙදි  සහාය නොදෙන මැතිඇමතිවරුන්ට ඉවත් වෙන්නැයි රනිල් කියයි 

අංජුල මහික වීරරත්න
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන, ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු‍ මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයාට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ජනපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබේ.
ජනාධිපතිවරයාට හිතවාදී පිරිස් එහිදී දැනුම් දී තිබෙන්නේ මෙවැනි තීරණාත්මක මො⁣හොතක මන්ත්‍රීවරුන් නමට පමණක් ආණ්ඩුවේ තබාගෙන සිටීම පලක් නොවන බවයි. ඔවුන් තම පාර්ශ්වයේ තීන්දු විරුද්ධ පාර්ශ්ව වෙත ලබා දෙමින් දේශපාලන සූදුවක නිරත වන බවද හිතවාදීන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මෙම පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබේ. 
රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව බව වාර්තා වෙයි. එසේම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බව දැනගන්නට ඇත.
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉල්ලා ඇත්තේ තමන් ධුරවලින් ඉවත් නොකරන ලෙසත්, ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව දෙන ලෙසත්ය.