අඩු උෂ්ණත්වයක තිබිය යුතු බෙහෙත් වැඩි උෂ්ණත්වයක ගබඩා කරලා
හොඳ බෙහෙත් අස්සට බාල බෙහෙතුත් රිංගවලා
සුජිත් හේවාජුලිගේ
අඩු උෂ්ණත්ව අගයන් තුළ තැබිය යුතු ඖෂධ 17 ක් ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශවල සහ රෝහල් රැසක වැඩි උෂ්ණත්ව සහිත ගබඩාවන්හි තැන්පත් කර තිබීම හේතුවෙන් එම ඖෂධ විනාශවීමේ අවදානමක් ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
සෙල්සියස් අංශක 25 ට අඩු උෂ්ණත්වයක තැබිය යුතු එම ඖෂධ 17 සෙල්සියස් අංශක 30 ට වැඩි උෂ්ණත්වයක් යටතේ ගබඩාවන්හි තැන්පත් කර තිබූ බව පැහැදිලිවම නිරීක්ෂණය වීයැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙසේ වැඩි උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩා කර තිබූ ඖෂධ අතර ආසාත්මිකතා, අධි රුධිර පීඩන රෝග සඳහා භාවිත කරන බෙහෙත් මෙන්ම ප්‍රතිජීවකද තිබූ බව එහි දැක්වේ. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ විගණන අංශ ගම්පහ සහ අනුරාධපුර ප්‍රාදේශීය වෛද්‍ය සැපයීම් අංශවල සහ මීරිගම මූලික රෝහල හා අනුරාධපුර ශික්ෂණ රෝහල පරිශ්‍රයන්හි කළ භෞතික විගණන පරීක්ෂණවලදීය.
මේ අතර, වේයන්ගොඩ ගබඩාව, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සහ ගම්පහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනවල කල් ඉකුත්වූ ඖෂධ නවයක් අනෙකුත් ඖෂධ සමග රඳවා තිබූ බවත්, මෙලෙස සාමාන්‍ය ඖෂධ සමග රැඳවීම හේතුවෙන් එම කල් ඉකුත්වූ ඖෂධ ද රෝගීන්ට නිකුත්වීමේ අවදානමක් පැවති බවත් විගණන නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.
මේ තොරතුරු සඳහන් වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඖෂධ නියම උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩාකර පවත්වාගෙන යන ලෙසට සියලු ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර ඇති බවයි.