වසර පහකදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව සමග කළ ගනුදෙනුවලින් ඩොලර් බිලියන 36 ක් පාඩුයි


  • එය රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණයටත් වඩා වැඩියි
  • ඩොලර් බිලියන 18.22 ක වැඩිම පාඩුව චීනයෙන්
  • ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුමක් තිබුණත් ඩොලර් බිලියන 15.11 ක පාඩුවක්

උපුල් වික්‍රමසිංහ

වසර 2020 සිට 2024 දක්වා ගත වූ වසර පහක කාලයේදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල් සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 36.884 ක පාඩුවක් සිදුව ඇතැයි ද එය රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණය (ඩොලර් බිලියන 36.8) ඉක්මවන අගයක් යැයි ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ හෙළි කරයි.

ශ්‍රී ලංකාව විවිධ රටවල් සමග සිදු කරන ආනයන-අපනයන වෙළෙඳ කටයුතු සලකා බැලීමේ දී වැඩිම අවාසියක් සිදු වෙන්නේ චීනයෙන් බව කී මහාචාර්යවරයා 2024 පමණක් චීනයෙන් මෙරටට ඩොලර් බිලියන 4.28 ක භාණ්ඩ ප්‍රමාණයක් ගෙන්වා ඇතත් එම වසරේදී ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 261 ක භාණ්ඩ පමණකැයි ද එම ගනුදෙනුවලින් රටට ශූද්ධ වශයෙන් ඩොලර් මිලියන 4,019 ක පාඩුවක් සිදුව ඇතැයි ද ප්‍රකාශ කළේ ය. ලංකාව චීනයට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.9 ක් වුවත් මේ අසමානුපාතික වෙළෙඳ ගනුදෙනුවලින් ලබා දුන් ණය මෙන් තුන් ගුණයක මුදලක් වසර පහක දී චීනය උපයා ගෙන ඇතැයි ද ඔහු කීවේය.

චීනයට පසු ශ්‍රී ලංකාවට වැඩිම පාඩුවක් සිදු වෙන්නේ ඉන්දියාව සමග කරන වෙළෙඳ ගනුදෙනුවලින් බවත් 2024 දී අප ඉන්දියාවට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 886 ක් වටිනා භාණ්ඩ වුවත් එම වසරේ දී ඉන්දියාවෙන් මෙරටට ඩොලර් මිලියන 3,740 ක් වටිනා භාණ්ඩ ආනයනය කර ඇති බවත් ඒ අනුව එම ගනුදෙනුවලින් රටට ඩොලර් මිලියන 2,854 ක වෙළෙඳ හිඟයක් හෙවත් පාඩුවක් සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේ ය. ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුමක් අස්සන් කර ඇතත් එයින් රටට කිසිදු වාසියක් සිදුව නැතැයි ද එරටට යවන භාණ්ඩ ප්‍රමාණය වැඩි කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා පැවසීය.
ඉන්දියාවට ලංකාව ගෙවිය යුතු මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.36 ක් වුව ද 2024 දී පමණක් දෙරට අතර සිදු කෙරුණු වෙළෙඳ ගනුදෙනුවලින් ඉන්දියාව ඩොලර් බිලියන 2.85 ක වාසියක් ලබා ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය. 

රටට තෙවැනියට වැඩිම වෙළෙඳ අවාසියක් වෙන්නේ සිංගප්පූරුව සමග කරන වෙළෙඳ ගනුදෙනුවලින් බව කී හෙතෙම 2024 දී එරටට ඩොලර් මිලියන 136 ක භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇතත් එරටින් ඩොලර් මිලියන 1,240 ක් වටිනා භාණ්ඩ මෙරටට ගෙන්වා ඇතැයි ද ඒ අනුව එම ගනුදෙනුවලින් ඩොලර් මිලියන 1,104 ක පාඩුවක් රටට සිදුව ඇතැයි ද අනාවරණය කළේ ය. 

ඊට අමතරව 2024 දී තවත් රටවල් කිහිපයක් සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට අවාසි සිදුව ඇතැයි පෙන්වා දුන් ඔහු ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ඩොලර් බිලියන එකකට වඩා අවාසියක් ද මැලේසියාව සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ඩොලර් මිලියන 616 ක හිඟයක් ඇතැයි ද පාකිස්තානය සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ඩොලර් මිලියන 377 ක අවාසියක් සිදුව ඇතැයි ද ඉන්දුනීසියාව සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ඩොලර් මිලියන 388 ක පාඩුවක් සිදුව ඇතැයි ද සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතර වාසි සහගත ශේෂයක් පවතින්නේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය සමග පමණක් යැයි කී මහාචාර්යවරයා ඒ අනුව 2024 දී ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට ඩොලර් මිලියන 2,880 ක් වටිනා භාණ්ඩ අපනයනය කර ඇති බවත් එරටින් ආනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 441 ක භාණ්ඩ ප්‍රමාණයක් බවත් ඩොලර් මිලියන 2,439 ක වෙළෙඳ වාසියක් එම ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් පෙන්වා දුන්නේ ය.

දෙවැනියට වැඩිම වෙළෙඳ වාසියක් බ්‍රිතාන්‍යය සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් රටට ලැබී ඇති බව කී ඔහු ඒ අනුව 2024 දී එරටින් ඩොලර් මිලියන 166 ක් වටිනා භාණ්ඩ ආනයනය කර ඇති බව ද මෙරටින් ඩොලර් මිලියන 924 ක් වටිනා භාණ්ඩ එරටට අපනයනය කර ඇති බව ද එම වෙළෙඳ ගනුදෙනුවල වාසිය ඩොලර් මිලියන 758 ක් බව ද කීවේය. ඊට අමතරව ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය යන රටවල් සමග 2024 දී කළ වෙළෙඳ ගනුදෙනුවලන් ශ්‍රී ලංකාවට වාසි සහගත වෙළෙඳ ශේෂයක් පවතින බව ද අනාවරණය කළේ ය.

රටට අවාසිසහගත වෙළෙඳ ශේෂයන් පවතින රටවල් සමග සිදු කරන වෙළෙඳ ගනුදෙනු නැවත සමලෝචනය කර ඒ ඒ රටවල පාරිභෝගිකයන් අතර ඉහළ ඉල්ලුමක් ඇති භාණ්ඩ අපනයනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කළ යුතු බව ද ඊට අවැසි නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත යුතු බව ද කී හෙතෙම විශේෂයෙන් ම චීනයෙන් මෙරටට ගෙන්වන කොසු, ඉදල් හා වෙනත් ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ මෙරටට සැබැවින්ම ගෙන්විය යුතු දැයි සොයා බැලිය යුතු බවත් එම ප්ලාස්ටික් භාණ්ඩ හේතුවෙන් රටේ පරිසරයටත් විශාල හානියක් සිදු වෙන බවත් පැහැදිලි කළේ ය.