වැස්සෙන් කුඹුරු අක්කර දෙලක්ෂයක් විනාශයි මහ කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනහමාරකින් අඩු වෙන ලකුණු


  • මහ කන්නයේ අස්වනු නෙළීමත් ප්‍රමාද වෙන හැඩ

උපුල් වික්‍රමසිංහ
පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව, හම්බන්තොට ආදී දිස්ත්‍රික්ක ගණනාවක කුඹුරු අක්කර ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ. ඒවා පූර්ණ වශයෙන් විනාශ වී තිබුණහොත් සහ නැවත ගොවීන් වී වගා කිරීමට යොමු නොවුණහොත් මෙවර මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ හැට දහසකින් පමණ අඩු වීමට ඉඩ ඇතැයි කෘෂි විශේෂඥයෝ පවසති. 

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ මේ වෙනවිට කුඹුරු අක්කර ලක්ෂ 2 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති බවත් නැවත ඒවායෙහි වී වගා කිරීමට සැලකිය යුතු කාලයක් ගත වෙනු ඇති බවත් ඒ හේතුවෙන් මහ කන්නයේ අස්වනු නෙළීම ප්‍රමාද විය හැකි බවත්ය. ජලයෙන් යට වූ කුඹුරුවල හානිය තක්සේරු කළ හැක්කේ ඒවායෙන් ජලය බැස යාමෙන් පසුව බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ වර්ෂාවෙන් විනාශ වූ කුඹුරු පිහිටි ප්‍රදේශ වී අස්වැන්න වැඩි වශයෙන් ලැබෙන ප්‍රදේශ බවය. ගංවතුර බැස ගිය පසු ගොවීන් නැවත වී වගා කිරීමට යොමු වුව ද ප්‍රමාණවත් බිත්තර වී නොතිබීම ගැටලුවක් විය හැකි බව සඳහන් කළ ඔහු අදාළ කුඹුරු අක්කර ලක්ෂ දෙකක ප්‍රමාණය සම්පූර්ණයෙන් විනාශ වී තිබුණහොත් නැවත ඒවායෙහි වී වගා කිරීමට බිත්තර වී බුසල් ලක්ෂ 4 ක ප්‍රමාණයක් අවශ්‍ය යැයි ද එය සොයා ගැනීම අභියෝගයක් යැයි ද කීවේය. 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව කොපමණ බිත්තර වී ප්‍රමාණයක් තිබේද යන්න දැන ගැනීමට අප එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවක දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
විනාශ වූ කුඹුරු සකස් කර දෙසැම්බර් මස මැද හෝ අග හෝ නැවත වී වගාව ආරම්භ කළ හොත් ඒවායෙහි අස්වනු නෙළීමට සිදු වෙන්නේ ලබන වසරේ මාර්තු අග හෝ අප්‍රේල් මුල බව ද එවිට සංවහන වැසි පටන් ගෙන තිබීම නිසා අස්වනු නෙළීමට නැවත බාධා පැමිණිය හැකි බව ද කී වඩාත් සුදුසු වෙන්නේ මාස තුනේ බිත්තර වී වැපිරීම බව ද පැවසීය.
“මාස තුන හමාරේ බිත්තර වීවලින් දෙසැම්බර් මැද වී වැපුරුවොත්  අස්වනු නෙළන්න පුළුවන් වෙන්නෙ මාර්තු අග හෝ අප්‍රේල් මුල. ඒ කාලෙ වෙන කොට සංවහන වැසි පටන් අරන්. ඒ නිසා අස්වැන්න නෙළන කාලයේදී දැඩි වර්ෂාපතනයක අවදානමට බඳුන්වීමට ඇති ඉඩ වැඩියි. 
නැවත වී වගා කිරීම දෙසැම්බර් මැද සිට අග දක්වා ප්‍රමාද වෙන්නේ නම් සුදුසු වෙන්නේ මාස තුනේ බිත්තර වී වැපිරීම” මහාචාර්යවරයා පැහැදිලි කළේය.
කාලගුණික දත්ත මත පදනම් වූ රක්ෂණ ක්‍රමයක් තිබුණේ නම් මෙවැනි ආපදාවලදී ආණ්ඩුවකට ඉහළ වැයක් දැරීමට සිදු නොවෙන බව ද හෙතෙම සිහිපත් කළේය.මේ අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගියදාක පවසා තිබුණේ වර්ෂාවෙන් හානි වූ වගා බිම්වලට ලබාදෙන සහන දීර්ඝ කරන බවය.