74 වැනි ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරේ


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයෙන් මිදී උත්තරීතර නිදහස ලැබ වසර 74 ක් සපිරීමේ අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන්, කොළඹ, නිදහස් චතුරස්‍රයේ පිහිටි ‘ජාතියේ පියා’ යන විරුදාවලිය ලද ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව අභියස දී ඉතා අභිමානවත් හා චාම් අයුරින් අද (4) පෙරවරුවේ පැවැත්විණි.

“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යමත් මව්බිමක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාව විය.

ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්ත වූයේ පෙරගමන් රථ, පෙරගමන් යතුරුපැදි හා අශ්වාරෝහකයින් සහිත රිය පෙරහැරකිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් යුද හමුදා සේවයේදී ක්‍රියාන්විත රාජකාරීවල යෙදෙමින් ලබාගත් වීර පදක්කම් ද සිය කමිසයේ පැළඳ සිටියේය.

ඉන්පසු මඟුල් බෙර වාදන මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නැංවූ අතර අනතුරුව පාසල් සිසු සිසුවියන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජාතික ගීය ගායනා කළේ නිදහස් දින අභිමානය තව තවත් ඔප්නංවමිනි.
ඉන්පසු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර එම පීඨිකාව ද ඉතා අලංකාරවත්ව ඉදිකර තිබිණි.

ඉන්පසු පාසල් ශිෂ්‍යාවන් 15 දෙනෙක් එක්ව ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාත් ගායනා කළහ.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ විරුවන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම අනතුරුව සිදුකෙරිණි.

ඉන්පසු ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපති උත්තමාචාර පවත්වා ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතා අදහස් දැක්වූයේ එම ආචාර වෙඩිමුරවලින් අනතුරුවය.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය එක්ව ජාතියේ අභිමානය විදහා දැක්වෙන අයුරින් පවත්වන නිදහස් දින ආචාර පෙළපාලිය හා ඊට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය ආරම්භ විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් 3377 ක්, නාවික හමුදා නිලධාරීන් හා සෙබළුන් 919 ක්, ගුවන් හමුදාව නියෝජනය කරන 804 ක්, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන 336ක්, විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් 220 ක්, සිවිල් ආරක්‍ෂක බලකාය නියෝජනය කරමින් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ 259ක් ඇතුළුව 6500ක පිරිසක් මෙවර ආචාර පෙලපාලියට එක්ව සිටියහ.  

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සුජීව සෙනරත් යාපා මහතා පෙළපාලියේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.

මෙම ආචාර පෙළපාලිය නිදහස් චතුරස්‍රය ඉදිරිපිටින් ගමන් ගත්තේ ශ්‍රී ලංකා මාතෘභූමියේ මුරදේවතාවුන්ගේ අභිමානය හා ශක්තිය මැනවින් ලොවට විදහා පාමිනි.

ජාතික හා හමුදා ධජවලින්, ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්වලින්, මෙන්ම අශ්වාරෝහක කණ්ඩායම්වලින් විචිත්‍රවත් වූ පෙළපාලියට සන්නාහ සන්නද්ධ රථ, නාවික යාත්‍රා, ගුවන් හමුදා ප්‍රහාරක යානා, ආරක්‍ෂක උපකරණ ආදියෙන් මහත් අභිමානයක් ලැබිණි.

මෙවර පෙළපාලියට දේශීයව නිෂ්පාදනය කෙරුණු යුද හමුදා සන්නද්ධ  රථද ඇතුළුව සන්නද්ධ රථ 111ක් ද ඇතුළත් විය.

ගුවන් හමුදා කණ්ඩායම් ආචාර පෙලපාලියේ ගමන් කරද්දී නිදහස් චතුරස්‍රයට ඉහළ අහසේ ගුවන් හමුදා ප්‍රහාරක යානා ද ගමන් කළ අතර ගුවන් හමුදා ප්‍රහාරක යානා 26ක් හා නියමුවන් 50ක් ඊට එක්විය.

තම ජීවිතයේ වැඩි කාලයක් රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කැප කළ සේවා මුක්ත භටයින් හා යුද්ධයේදී විවිධ ආබාධයන්ට ලක්වූ රණවිරුවන් රැගත් රථ තුනක් ද මෙවර ආචාර පෙළපාලියට එක්කර තිබිණි.

ආචාර පෙලපාලිය අවසානයේ පැවති සංස්කෘතික සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන කණ්ඩායම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය, මන්මුනේ උතුර, අක්කරෙයිපත්තු, සංස්කෘතික මධ්‍යස්ථානයන් මෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත් සභා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් 431 දෙනෙක් සහභාගී වී සිටියහ.

දේශීය සංස්කෘතික උරුමය විදහා දැක්වෙන් අයුරින් ඉදිරිපත් කෙරුණු මෙම සංස්කෘතික සංදර්ශනයේ නර්තන නිර්මාණය කර තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා විසිනි.

එම සංස්කෘතික සංදර්ශනයෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිමාවට පත්විය.

මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නිදහස් දින සැමරුම සෞඛ්‍යාරක්‍ෂිත විධිවිධාන යටතේ සංවිධානය කර තිබිණි.

උළෙලේ මඟුල් බෙර වාදනය හා සක් පිඹීම සඳහා රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීහු එක්ව සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: ශාන්ත රත්නායක)