අයි.සී.ජී.එස් ෂූර් නෞකාව කොළඹ වරායට


හර්ෂණ තුෂාර සිල්වා

ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් අයි.සී.ජී.එස් ෂූර් නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ. ඉකුත් සතියේ, මාර්තු 30 වැනිදා කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සහ වෙරළාක්ෂක බලකාය සමඟ තිබෙන අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කරගැනීමය. 

මාර්තු 30 වැනිදා කොළඹ වරායට පැමිණි මෙම නෞකාව අප්‍රේල් 3 වැනිදා නැවත පිටත්ව යෑමට නියමිතය. ගිනි නිවීම ප්‍රධාන කාර්යය කරගත් මෙම නෞකාව බහුකාර්ය නෞකාවකි. අයි.සී.ජී.එස් ෂූර් නෞකාව හා සමාන නෞකා හයක් ඉන්දීය වෙරළාක්ෂක බලකාය සතුවේ. මේ වනවිට අයි.සී.ජී.එස් ෂූර් නෞකාව  හා සමාන නව නෞකා නිෂ්පාදනය කෙරෙමින් තිබෙන බවත් ඒවා ඉක්මනින් මෙහෙයුම් කටයුතු සඳහා යොදාගැනීමට නියමිත බව මෙම නෞකාවේ කපිතාන් බී. මුරුගන් පැවැසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන නාවික හා වෙරළාරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් පැමිණි මෙම නෞකාවේ සංචාරයක  නිරත වීමට මෙරට මාධ්‍යවේදීන් කිහිපදෙනකුට අවස්ථාව ලැබිණි. ඒ අනුව මෙම නෞකාව තුළ සංචාරය කළ අප එහිදි දැනගත් කරුණුවල සාරාංශයක් මෙහි වේ.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සතුව තිබෙන මෙම නෞකා බහුකාර්ය වන අතර ඒ අතුරින් ප්‍රධාන කාර්යය හයක් වේ. සෙවුම් සහ  මුදාගැනීම්, වෙරළ ආරක්ෂාව පවත්වාගෙන යෑම, සාගර සහ වෙරළ දූෂණය අවම කිරීම සහ සාගර සහ වෙරළ ආරක්ෂා කිරීම, ධීවරයන්ගේ ආරක්ෂාව, මුහුදේදී අනෙකුත් නෞකාවලට අවශ්‍ය ඉන්ධන සැපයීම, කලාපයේ අනෙකුත් රටවල නාවිකා හමුදා වෙරළාරක්ෂක බලකා සහ අනෙකුත් හමුදා සමඟ අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කරගැනීම එම ප්‍රධාන අරමුණුය.

නෞකාව සහ එහි කාර්ය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අප හා එක් වූයේ සහාකාර අණදෙන නිලධාරී කාර්තික් සත්පුතේය. අප නෞකාවට ගොඩවන විටත් ඉන්දීය වෙරළාක්ෂක බලකායේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා වෙරළාක්ෂක බලකායේ නවක නිලධාරීන් පිරිසක් සඳහා වැඩමුළුවක් පවත්වමින් සිටියහ. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වඩාත් වැදගත්ම සබඳතාව වන්නේ නාවික හමුදා සහ වෙරළ ආරක්ෂක බලකා අතර තිබෙන සබඳතාව යැයි මෙහිදි අදහස් දැක්වූ  සහාකාර අණදෙන නිලධාරී කාර්තික් සත්පුතේ පැවැසීය. 

ප්‍රධාන කාර්යවලට අමතරව සාගරය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු එකතු කිරීම, ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මෙම නෞකාව විසින් සිදු කරනු ලැබේ. 

මෙම නෞකාව පසුගිය සතියේදී මීටර 300ක් දිගින් යුතු බහාලුම් ප්‍රවාහන නෞකාව ඇති වූ ගින්නක් නිවා දැමූ අතර පසුගිය වසරේදී කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ එම්.වී ඩැනියෙලා නෞකාවේ ගින්න නිවා දැමීමට නාවික හමුදාව හා එක්වීය. දින දෙකක වෑයමෙන් පසු සිදු වන්නට ගිය විශාල විනාශයක් නැවැත්වීමට අයි.සී.ජී.එස් ෂූර් නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය සමත්වූහ.

මෙම නෞකාව එක් අවස්ථාවකදී ජීවිත 200ක් පමණ බේරාගත් සිදුවීමක් ද වන බව කපිතාන්වරයා අප සමඟ පැවැසීය. මෙම නෞකාවට ගින්නක් නිවීම සඳහා පැයකට ජලය ටොන් 1000කට වැඩි ප්‍රමාණයක් මීටර 125 දුරකට විදිය හැකිය. 

මෙම නෞකාව කොළඹට පැමිණියේ දෙවැනි වරටය. වසර 2016 අප්‍රේල් මාසයේදී මෙහෙයුම් ආරම්භ කරන ලද මෙම නෞකාව 120 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. ඉන්දියාවේ දී නිර්මාණය කරන ලද හා නිෂ්පාදිත මෙම නෞකාවට අඛණ්ඩව දින 20ක්, නාවික සැතපුම් 7000ක් ගමන් කළ හැකි අතර බලසම්පන්න එන්ජින් දෙකකින්ද සමන්විත වේ.

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හා වෙරළාරක්ෂක ඒකක නිරන්තරයෙන් හුවමාරු සහ ඒකාබද්ධ පුහුණ වැඩසටහන්වල යෙදෙන අතර එකිනෙකා අතර අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කරගැනීම, හැකියාවන් සහ ධාරිතාව විශ්වාසය වර්ධනය කරගැනීම එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව සලසා ගැනීම සඳහා දෙරටේ නෞකා මෙලෙස සංචාරය කරයි.

වෘත්තීයමය වශයෙන්ම ක්‍රීඩා සහ අනෙකුත් අංශවලින් දෙරටේ නාවික සහ වෙරළාරක්ෂක අංශ අතර සබඳතා පවතී. අයි.සී.ජී.එස් ෂූර් නෞකාව දෙවැනි ශ්‍රී ලංකා සංචාරය වෘත්තීය මෙන්ම අනෙකුත් අංශවල සබඳතා වර්ධනය කරගැනීමේ එක් පිම්මකි. 

ඡායාරූප චතුර එස් කොඩිකාර