අ‘පුර ළමා වාට්ටුව වැසුවාට වෙද සිසුවෝ විරෝධයක


(බී.ජී.චතුරංග ,තලාව උපුල් හේරත්සහ දයාරත්න ඇඹෝගම) 

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු නොමැති බව කියමින්  අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ  පිහිටි ළමා රෝග වාට්ටුව (63) හදිසියේ වසා දැමීම හේතුවෙන් දහසකට ආසන්න වෛද්‍ය පීඨ සිසු සිසුවියන් හට සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකි වන බවත්, එම නිසා වසා දැමුණු එම වාට්ටුව වහා විවෘත කරන ලෙසට රජයට බල කරමින් අද (3) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී වෛද්‍ය පීඨ සිසුහු උද්ඝෝෂණයක නිරත වූහ. 

අවසන් වසරේ සිසුන් 180 දෙනෙකු  අවසන් පුහුණුව ලබමින් සිටින අතරවාරයේදී මෙම වාට්ටුව වසා දැමුණු බවත්,  මෙම ළමා රෝග වාට්ටුව වැසී ගිය හොත් ඉදිරියේදී අනෙකුත් සිසුන්ටද පුහුණුව ලබා ගැනීමට නොහැකිව ඉදිරියේදී විශාල ගැටළුවක් ඇති විය හැකි බව උද්ඝෝෂණයේ නිරත වෛද්‍ය සිසුහු මෙහිදී පැවැසූහ.

මෙහිදී අදහස් දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ  ලේකම් කලන ධර්මරත්න, මෙසේ පැවසීය.

"රජරට වෛද්‍ය පීඨයට අනුක්ත කර තිබෙන  අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ  ළමා රෝග වාට්ටුව සම්පූර්ණයෙන් වසා දැමීම නිසා  තමයි අපි අද මේ පාරට බැහැල තියෙන්නෙ, මේක කාලයක ඉඳලා පැන නැගුනු ගැටළුවක්, මේ මහාචාර්ය ඒකකය පිහිටුවලා තියෙන්නේ විශේෂයෙන් වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ගේ සායනික පුහුණුව සඳහායි, මේක අපේ ශිෂ්‍යයන්ට පමණක් ඇති වූ ගැටලුවක් නොවෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින සියළුම ජනතාවට වෙච්ච බරපතල  ප්‍රශ්නයක් , අපි බලධාරීන්ට  තරයේ කියා සිටිනවා මෙයට වහාම විසඳුම් ලබා දෙන්න කියලා, එසේ නොවනහොත් ඉදිරියේදී දැඩි උද්ඝෝෂණය ක්‍රියා මාර්ගයකට එලබෙනවා."

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය ඉදිරි පිටින් දිවෙන, වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී  මෙම උද්ඝෝෂණය පැවති අතර, ඒ සඳහා වෛද්‍ය පීඨ  සිසු සිසුවියන්  700ට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.