ආරක්ෂාවට දැමූ යකඩ වැට හේතුවෙන් තෝනිගල සෙල්ලිපිය විනාශයට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම  සෙල් ලිපි දෙක  ලෙස සැලකෙන ආණමඩුව සහ තෝනිගල සෙල්ලිපි පුරාවිද්‍යා නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රමවේදයක් හේතුවෙන් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ක්‍රිස්තු පුර්ව පළමු වන සියවසට අයත් මෙම සෙල් ලිපි දෙක එම සමයට අයත් මෙතෙක් හමුවූ වැදගත්ම ගිරි ලිපි දෙකකි.

ලක්දිව රජකළ ගාමිණි අභය රජ සමයේ දැවැන්ත තොනිගල පර්වතය මත පුර්ව බ්‍රාහ්මි අක්ෂර වලින් මෙම දැවැන්ත සෙල් ලිපි දෙක සකසා ඇති අතර එක් සෙල් ලිපියක අක්ෂර 137 කින්ද අනෙක අක්ෂර 117 ක්  සැකසා ඇත.

සියවස් ගණනක් කිසිඳු උපද්‍රවයකින් තොරව ආරක්ෂා වූ මෙම දැවැත්ත සෙල් ලිපි දෙක  ආරක්ෂාවට යැයි පවසමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සෙල් ලිපි දෙක වටා යකඩින් සැකසු වැටක් ඉදිකර ඇති බව ප්‍රදේශවාසීහු කියති.

නමුත් මෙහි ගැටළුව වී ඇත්තේ සෙල් ලිපි වල ආරක්ෂාවට යෙදු යකඩ වැට පාෂාණ සමඟ  සවීමත් වීම සඳහා යොදන ලද සිමේන්ති අස්තරයක් සෙල් ලිපියේ පැරණි අලංකාරත්වයට හා වටිනාකමට හානි වී ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

යකඩ වැට සවිමත් වීමට යෙදූ සිමේන්ති මිශ්‍රණය පාෂාණ සමඟ එක්වීමේදී ඇති වූ ප්‍රතික්ක්‍රියාවක ප්‍රථිපලයක් හේතුවෙන් මේ වන විට සෙල් ලිපියටද හානි වී ඇති බව ඔවුහු කියති.

මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු විදුහල්පතිවරයකු හා පුරාවිද්‍යා ගවේෂකයකු වන ඇලඩින් හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.

     “මෙම සෙල්ලිපි දෙක ක්‍රිස්තු පුර්ව වලට අදාලව හමුවූ සෙල්ලිපි දෙකක්.එසේම වසර දෙදහසකට වැඩි කාලයක් අව්වට වැස්සට කිසිදු පාරිසරික උපද්‍රවයකට හානි නොවී තිබූ මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂාවට කියලා දාපු යකඩ වැටේ සවීමත් වීම සඳහා යෙදූ සිමේන්ති බදාමය සෙල් ලිපියේ අලංකාරත්වය විනාශ කරලා තියෙනවා.

පුරාවිද්‍යා  නිලධාරීන් මෙම පාෂණයට සිමේන්ති මිශ්‍ර කිරීමට කලින් කිසිම අධ්‍යනයක් කර නොතිබීම බරපතල වරදක්.

මේ පාෂණය තෝනිගලට සුවිශේෂ පාෂාණයක් එය හෝම්ලන්ඩ් ග්‍රනයිඩ් කියලා හඳුන්වනවා .මෙතන තිබේන මේ පාෂණය ගැන පුරා විද්‍යඥයින් හඳුන්වා දී තිබියදි තමයි සොයා බැලිමකින් තොරව මේ කටයුත්ත කරලා තියෙන්නේ. වැදගත්ම සෙල් ලිපි දෙකක්  විනාශ වෙලා තිබෙන්නේ.යැයි ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පාලියාගම පදිංචි චිත්‍රසිරි නවරත්න මහතා මෙසේ කීය.

“මේ ගිරි ලිපි දෙක ගැන අතීතයේ අපිට තිබුණ අභිමානය පුරාවිද්‍යා නිලධාරීන් නැති කරලා .මේ ගිරි ලිපි මුල් වතාවට දකින අයකුට එහි දැන් පවතින තත්ත්වය දැක්කාම ඒ පිළිබඳව මැවෙන් චිත්‍රය හරිම වෙනස්.

සුදු කඹර ශරීරය පුරා දාලා වාගේ අවලස්සනක් සේම පාෂාණය පතුරු වීමයි දැක ගත හැකි වන්නේ.මේ නිසා පුරාවිද්‍යා නිලධාරීන් මේ ගිරි ලිපියට කර ඇත්තේ බරපතල අපරාධයක් යැයි ඔහු පැවසීය.

මේ පිළිබඳව සිදු කළ විමසීමේදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා මෙසේ පැවසීය.

“මේ පිළිබදව මම දැනුවත් නැහැ .ඇත්තටම ස්තුතියි දැනුවත් කළාට. මේ ගැන සොයා බලන්න මම පුරාවිද්‍යා කණ්ඩායමක් අදාල ප්‍රදේශයට යැවීමට කටයුතු කරනවා.‘‘ යැයි ඔහු පැවසීය.