ආසියාවෙන්ම ඉදිරියෙන් සිටින්නේ ලාංකික කාන්තාවයි


(අංජුල මහික වීරරත්න)

ආසියා කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” ඒ සඳහා පිටිවහලක් වනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සාර්ක් සංවිධානය තුළ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සඳහන්ව නැති බැවින් එම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සාර්ක් රටවල ප්‍රධාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ රැස්වීමක් මේ වසර තුළ මෙරට දී පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමිනි.

“ඇය දැයේ අභිමානයයි” යන තේමාව යටතේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය විසින් “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය. “2023 ජාත්‍යන්තර කාන්තා දිනය” වෙනුවෙන් අභිමානවත් හා දීප්තිමත් කාන්තා චරිත සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර එහිදී ආචාර්ය සුජාතා අත්තනායක, කලාශූරී ශ්‍රියානි අමරසේන, අනුල ද සිල්වා සහ රශ්මි නිමේෂා ගුණවර්ධන යන මහත්මීහු සම්මාන ලැබූහ.