ඇලහැර අමුණේ නිර්මාතෘ වසභ රජුගේ නමවත් නෑ


ඉන්දික අරුණ කුමාර
 
ශ‍්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ ප‍්‍රථම වරට ගංඟා ජලය වාරි පද්ධතියට එක්වන අඹන් ගඟ හරහා ඉදිකරන ලද ඇලහැර අමුණේ ආරම්භකයා වන වසභ රජුගේ කිසිදු තොරතුරක්  අමුණ ආසන්නයේ දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බව සිවිල් සංවිධාන රැසක් පෙන්වා දෙයි.


ඇලහැර අමුණ වසභ රජු (ක‍්‍රි. ව. 67  111) මුලිකව ආරම්භ කර පසුව මහසේන් රජු විසින් වර්තමාන තත්ත්වයට පත්කර ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.


සියවස් ගණනාවක් නොසළකා හැර තිබු ඇලහැර ඇල පසුකාලීනව ප‍්‍රතිසංස්කරණය කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු වන හෙන්රි වොඩ්ටය.


ඇලහැර අමුණ ප‍්‍රදේශයට සංචාරයක් සඳහා එක්වු දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැර ආරච්චි මහතා පැවසුවේ මින්නේරිය, ගිරිතලේ හා කන්තලේ ජලාශ වලට විශාල ජල ප‍්‍රමාණයක් අමුණ හරහා රැගෙන යන බවයි.


ඇලහැර ඇලේ සම්පූර්ණ දුර ප‍්‍රමාණය සැතපුම් 54 කි. එහි පළල අඩි 70 වේ සිට අඩි 200 දක්වා වෙනස් වේ.


රජරට ප‍්‍රදේශයේ වැව් පද්ධතියට අඹන් ගඟේ මහා ජලකඳ ගලා යන මහා වාරි වික‍්‍රමය ඇතිවූයේ වසභ රජු හේතුවෙන් බව ඉතිහාසය පිරික්සන්නෙකුට පැහැදිලි වනු ඇත.


ආකාස ගංඟාව ඔස්සේ පරාක‍්‍රම සමුද්‍රයෙන් පසුව රජරට පුරා පිහිටි සියලූම වැව් අමුණු, කුඩා වැව් වලටත් ජලය ගලායෑම ඇලහැර අමුණ හරහා සිදුවන විශේෂත්වයකි.


පසුකාලිනව (1970 දශකයේ) මහවැලි ජලය පොල්ගොල්ලෙන් හරවා මොරගහකන්ද දක්වා ගෙන ඒමේ යෝධ ව්‍යාපෘතිය දක්වා පාදක වන මහා අසද්දුෂ වාරි වික‍්‍රමයක් ශ‍්‍රී ලංකාව තුළ ඇතිවීම දක්වා පාදක වන ඇලහැර අමුනේ වසභ රජු පිළිබඳව කිසිදු සටහනක් දක්නට නැත.

 

එදා වසභ රජු විසින් ඇලහැර අමුණ හරස් නොකරන්නට අද වන විට කඩිනම් මහවැලි යෝධ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ සිහිනය කිසි දිනක ඉටුනොවන සිහිනයක් වන්නට තිබු බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ අදහස වී තිබේ.


මෙවන් වු වාපී ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂය වන ඇලහැර අමුණ පිළිබඳව ගවේෂණය කරන්නෙකුට හෝ කිසිදු සංචාරකයකුට ඇලහැර අමුණේ ඉතිහාසය දක්නට නොලැබේ.


නාඋල නගරයේ සිට මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය දක්වා දිවෙන මාර්ගයේ මොරගහකන්ද වාරි ව්‍යාපාතිය පසුකරන විට ඇලහැර අමුණ හමුවෙයි.


එහි දැනට දක්නට ලැබෙන පුවරු වල සටහන් වන ආකාරයට   අනුව අඹන් ගඟ වේල්ල යනුවෙන් සඳහන් කර තිබේ.


සිංහලෙන් සඳහන් පුවරුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත්කර ඇති ආකාරයට අඹන්ගඟ අමුණ හා කුඩා ගඟ අමුණ ලෙස අමුණු දෙකක් පිළිබඳව හා ඒවායේ ධාරිතාවන් පිළිබඳව සඳහන් කර ඇත.


ඉන් ඔබ්බට ගිය ගංඟා ජලය වාරි පද්ධතියට එක්කළ වසභ රජු පිළිබඳව කිසිඳු සඳහනක් හෝ යොදා නොතිබීම ඉතිහාසය පුරා සිදුවු වැරදි අතරට එක්වන තවත් එක් වැරැද්දක් බව විද්වතුන්ගේ මතය වී තිබේ.


එනිසා මේ වහා වාපී ශිෂ්ටාචාරය වෙනස් මඟකට යොමුකළ මහා යුග පුරුෂයකුගේ නාමය හෝ ඇලහැර අමුණ ආසන්නයේ ප‍්‍රදර්ශනය කිරීම අදාළ බලධාරීන්ගේ වගකීම බව සිවිල් සංවිධන රැසක් කියා සිටියි.


මෙම තත්ත්වය පිළිබඳව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් ද අපි විමසීමක් කළ අතර එහි ප‍්‍රකාශකයකු පැවසුවේ මෙම කරුණ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැනුවත් කරන බවයි.