ඉන්ධන ගැටළුවට පේරාදෙණි සරසවියෙන් විසඳුම්


(ෂේන් සෙනෙවිරත්න)

රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුහු විසින් නිර්මාණය කරනු ලැබූහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ටතා ප්‍රදර්ශනය 2022 අද ඒකාබද්ධ ජල පර්යේෂණ මධ්‍යස්ථනයේ දී ආරම්භ වූ අවස්ථාවේදී මෙම ත්‍රිරෝද රථය ප්‍රථමවරට ප්‍රදර්ශනය කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලලන්ත සමරනායක මහතා විදුලියෙන් ක්‍රියා කරන එම ත්‍රිරෝද රථය පිලිබඳ මාධ්‍යයට හඳුන්වා දුන්නේය.

‘‘ඊ‘‘ වීලර් යනුවෙන් යනුවෙන් හඳුන්වා ඇති එම විදුලි ත්‍රීරෝද රථය එක් වරක් බැටරි ආරෝපණයකින් කිලෝ මීටර් 60 ක දුරක් ගමන් කළ හැකි බව මහාචාර්යවරයා පවසයි .

මෙම ත්‍රීරෝද රථය ව්‍යාපාරික මට්ටමින් ආරම්භ කළ විට මෙරට ඇති මිලියන දෙකක් වූ තීරෝද රථ විදුලියෙන් දිවීමට හරවා ගත හැකි වන බවයි .

මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ඒ සඳහා යොදන බැටරිය ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් ආරෝපණය කිරීමට අවශ්‍ය නොවීමත් හිස් ගෑස් සිලින්ඩරයක් දී අලුත් ගෑස් සිලින්ඩරයක් ලබා ගන්නා ආකාරයට භාවිතා කළ බැටරිය රට පුරා ඒ සඳහා ස්ථාපිත කරන මධ්‍යස්ථානවලට ලබාදී ආරෝපණය කරන ලද බැටරියක් ලබාගත හැකි වීමයි .

එවිට ත්‍රීරෝද රථ හිමිකරුට එහි විදුලිය සඳහා පමණක් යම් මුදලක් ගෙවීමට සිදුවන බවයි මහාචාර්යවරයා කියා සිටියේය.

දැනට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී සිටින බව ද මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පැවසිය

මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා විදුලි ත්‍රි රෝද රථය පදවා පෙන්වූ අයුරු .