උද්ඝෝෂකයින්ට වෙනම ස්ථානයක්


( චතුර එස් කොඩිකාර ) 
 
විශ්ව විද්‍යාල  සිසු විරෝධතාවක්   මෙම  වන  විට   කොළඹ   පිහිටි  ජනාධිපති  ලේකම් කාර්යාලය ඉදිරිපිට දී   පැවැත්වේ.

කොළඹ  ෂැංග්‍රිලා හෝටලය  ඉදිරිපිට  බිමි   ප්‍රදේශය    උද්ඝෝෂණ   කළාපයක් ලෙස නම් කර ඒ  සඳහා    වෙන්  කර  තිබීම මෙම උද්ඝෝෂණයේ  විශේෂත්වයකි.

උද්ඝෝෂණ කලාපයක් ලෙස  එය නම්  කර තිබෙන බව  පොලිස්  නිලධාරින්  විසින්  සිසුන්ට  දැනවුවද   සිසුහු  එම  ස්ථානයට  නොගොස්   ජනාධිපති  ලේකම් කාර්යාලය ඉදිරිපිට   විරෝධතාවයෙහි සිටිති.

 


(ඉන්දිකා රාමනායක)

උද්ඝෝෂණ පැවැත්වීම සඳහා අද (05) සිට කොළඹ ගාලුමුවදොර  ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ ස්ථානයක්  නම්කර ඒ වෙනුවෙන් පුවරු සවිකර තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් භාවිතයට ගනු ලැබූ වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පුවරු සවිකර තිබූ අතර  එහි “උද්ඝෝෂණ ස්ථානය” වශයෙන්  භාෂා තුනෙන්ම සඳහන්කර තිබෙනු දක්නට ලැබිණි.

මෙම පුවරුව සවිකිරීම සම්බන්ධයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජය මේ දක්වා කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැත.

මෙම විරෝධතා පුවරුව සවිකර ඇත්තේ කවුද , මින් ඉදිරියට මෙම ස්ථානයේ පමණක්   උද්ඝෝෂණ පැවැත්විය යුතු ද ,  මෙම ස්ථානය හැර වෙනත් ස්ථානයක  උද්ඝෝෂණ පැවැත්වීමට අවසර තිබේද  යන්න  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසුමකදී  ඒ මහතා පැවසුවේ  මෙම විරෝධතා පුවරුව සම්බන්ධයෙන්  තමන් දැනුවත් නොමැති බවත් මෙම ස්ථානයේ පමණක් උද්ඝෝෂණ පැවැත්විය යුතු බවට පොලිසියට මේ දක්වා කිසිඳු දැනුම් දීමක් සිදුකර නොමැති බවත්ය.

මෙම විරෝධතාපුවරුව කවුරුන් විසින් සවිකළේ ද යන්න  තමන් නොදන්නා බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් නොමැති බවයි.

කොළඹ ලෝටස් පාර , ගාලුමුවදොර පුරහල ලිප්ටන් වටරවුම , වෝඩ් පෙදෙස වැනි ජනාකීර්ණ ස්ථාන මෙම උද්ඝෝෂණ සඳහා තෝරාගැනීම හේතුවෙන් අධික වාහන තදබදයත් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි පීඩා එල්ලවීමත් නිතරම සිදුවේ.

කෙසේ වුවද තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා  කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  පැවසුවේ  ලෝකයේ  දියුණු රටවල උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් නම්කර ඇති බවත් ඒ අනුව පිරිස ඒම ස්ථාන සම්බන්ධයෙන් පුරුදු පුහුණු කළ යුතු  බවයි.

උද්ඝෝෂණ පැවැත්වීම පුරවැසියාගේ අයිතියක් වුවද එය අනිකුත් පුරවැසියන්ට කරදරයක් නොමැතිව සිදුකළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

උද්ඝෝෂණ සිදුකරන ස්ථාන නම්කර තිබුණ ද එම ස්ථානයේ උද්ඝෝෂණ පැවැත්විය යුතු බවට නීතියක් නොමැති බවද      අමාත්‍යවරයා  එහිදී සඳහන් කර තිබිණි.

(ඡායාරූප - චතුර එස් කොඩිකාර)