කාන්තා දිනයදා ලක් කතුන්ගේ වික්‍රමය


(ටී.කේ.ජී.කපිල )

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන්  සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලය ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර  බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හැරිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .

මෙම ගුවන් නියමුවරියන් ඇතුළු කාන්තා කාර්යය මණ්ඩලය අද දහවල් 11.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 61 දෙනෙකු රැගෙන , ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් අද උදෑසන 08.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 131 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචි නුවර  බලා , ගුවන් මගීන් 67 දෙනෙකු රැගෙන  කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .

මෙම ගුවන් ගමන සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොමු කර තිබූ අතර ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ  සහ සහාය ගුවන් නියමුවරිය ලෙස පළමු පියාසර  නිලධාරී බිමාලි ජීවන්දර කටයුතු කර තිබුණි .

මීට අමතරව ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස  තවත් කාන්තා නිලධාරිනියන් 05 දෙනෙකු ද සහභාගී වී සිටියහ . ඔවුන් අතර ගුවන් කාර්යය මණ්ඩල ප්‍රධානී රොෂානී දිසානායක , ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල , ගුවන් සේවිකා ලක්මිණි දිසානායක , ජයකළණි කින්සන් සහ හර්ෂි වල්පොල  සිටියහ ‍.