කුසගින්න නිවා ගන්න යාළුවකු සෙවූ දරුවන්ට දිවා ආහාරය


(අමදෝරු අමරජිව)

ආර්ථික අපහසුතා නිසා පාසලට දිවා ආහාරය රැගෙන ඒමට නොහැකි වු සිසුවියක් වෙනත් පංතියක සිටින මිතුරියකගේ දිවා ආහාරය බලාපොරොත්තුවෙන් එම පංතියට මාරුකර දෙන ලෙස කළ ඉල්ලිමක් විදුහල්පති මගින් දැන ගත් සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා රූපවාහිනියේ අනුශාසක ය අලුදෙනියේ සුබෝධි හිමි එම පාසලේ ආර්ථික අපහසුතා ඇති සිසුන් සියදෙනකු වෙනුවෙන් දෛනිකව දිවා ආහාරය ලබාදිමට ආරම්භ කලහ.

කන්තලේ ගංතලාව මහා විද්‍යාලයේ 7 ඒ පංතියේ ඉගෙනුම ලබන සිසුවියක් ආර්ථික අපහසුතා මැද නිරාහාරව පැමිණ දිනපතා සිය මිතුරියගේ දිවා ආහාරය එකට එක්වි බෙදාගෙන ආහාරයට ගත් අතර සිය මිතුරිය වෙනත් මිතුරියක සමග ආහාර ගැනිම නිසා තමන්ට වෙනත් පංතියක සිටින මිතුරියකගේ දිවා ආහාරය බෙදාගෙන ආහාරයට ගැනිමට අවස්ථාව ලබාදෙන ලෙස කළ ඉල්ලිමක් විදුහල්පති පද්මසිරි කෝට්ටේගොඩ මහතා විසින් මෙම සංවේදි කාරනාව ප්‍රදේශයේ පාසල් ප්‍රජාවට උදව් කරන  අලුදෙනියේ සුබෝධි හිමියන්ට දැනුම් දෙනු ලැබිය.

ඒ අනුව අදාල සංවේදි කාරනාව සැලකිල්ලට ගෙන පාසලේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් සියයක් වෙනුවෙන් දෛනිකව ආහාර වේලක් ලබාදිමට අලුදෙනියේ සුබෝධි හිමියෝ අවශ්‍ය පියවර ගනු ලැබුහ.

මේ අනුව අදාල දිවා ආහාර වැඩ සටහන මොල්ලිපොතාන අග්‍රබෝධි විහාරාධිපති ගැමුණුපුර ධර්මසේන අමරපුර කල්‍යාණවංශ නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ලේඛකාධිකාරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දිවාආහාර වැඩපි ළිවෙල ආරම්භ කරනු ලැබුහ.

මෙහිදි අදහස් දැක්වු පූජ්‍ය අලුදෙනියේ සුබෝධි හිමි මෙහි එක් දරුවෙකුට ලැබෙන දිවා ආහාරය රුපියල් 100ක් වෙනවා.ඒ අනුව මෙම පුණ්‍ය ව්‍යපෘතියට දිනකට රුපියල් 10000ක් වැය වෙනවා.මාසයකට රුපියල් ලක්ෂ දෙකක පිරිවැයක් දැරිය යුතුයැයි පැවැසීය.