ථූපාරාමය ගැන සඳහන් පැරණිම සෙල් ලිපිය අනතුරේ


(දයාරත්න ඇඹෝගම)

ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදි කළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථුපාරාමයේ නම සඳහන් ආදිතම සෙල් ලිපිය වන පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර ඇත.

අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130 පමණ දුරින් පිහිටි පාලුමැකිච්චාව වැවේ පිට වානේ වාන් ගලක මෙම සෙල් ලිපිය කොටා ඇත. ‘පළමුවැනි ගජබා රජු  කහවනු 5000 ක්  වියදම් කර උපල විබජක පළාතේ මඩමනක වැව ථුපාරාමවාසී භික්ෂුන්ගේ සිවි පසය සදහා පරිත්‍යාග කළ වගයි‘ යනුවෙන් මෙම සෙල් ලිපියේ සටහන්ව තිබෙන බව මල්වතු මහා විහාර වාසී පුරාවිද්‍යා විශේෂවේදී මැද මහනුවර ධම්මසිරි හිමියෝ පැවසුහ. 

මෙම වැව සහ ඒ යටතේ ඇති කුඹුරු යාය අස්වද්දවා ඉන් ලබා ගන්නා ධන ධාන්‍ය ථුපාරාම භික්ෂුන් වහන්සේලාට සිව්පසය සදහා ලබා දීම එසමයෙහි සිදුව ඇති බව මෙම සෙල් ලිපිය තහවුරු කරයි.

අදින් වසර 1800 ක් පමණ පැරණි ගාමිණී අබය (ගජබා) රජු - (ක්‍රි.ව.114-136) සමයේ කොටා  ඇති මෙම සෙල් ලිපිය පේලි හයකින් සමන්විත වන අතර කොන්ක්‍රීට් බැම්ම ඒ මතින් ඉදිකිරීම හේතුවෙන් එහි පේලි 5ක් සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් බැම්මට යට වී තිබේ.

මෙම සෙල් ලිපිය දිගින් අඩි 8 කින් යුක්ත වන අතර අගල් 4 සිට 7 දක්වා උසකින් යුක්ත වේ.අගල් 2 සිට 5 දක්වා පුළුල් බවින් යුක්තව මෙහි අකුරු කොටා තිබේ. දෙවැනි ශතකයට අයත් අක්ෂර හා ඊට පැරණි අක්ෂර මෙම සෙල් ලිපියේ දක්නට ඇති බව ධම්මසිරි හිමියෝ පැවසුහ.

ථුපාරාමය පිළිබදව ග්‍රන්තයක් රචනා කරන මල්වතු විහාර වාසී මැද මහනුවර ධම්මසිරි හිමියන්  පාලුමැකිච්චාව සෙල් ලිපිය පරික්ෂා කිරීමට එහි ගිය අවස්ථාවේ මෙම සිදුවිම දැක ඒ පිළිබද තොරතුරු හෙලි කළහ.

‘මෙම සෙල් ලිපියේ තිබෙනවා පච සහසි කහවණ දරිය කියා. පච සහසි කියන්නේ පන් දහසට. එම මුදල (දරිය යන්නෙන් සදහන්ව ඇත්තේ) යොදවලා නැතිනම් වියදම් කරල තමයි මේ වැව ප්‍රතිසන්ස්කරණය කර තිබෙන්නේ. කහවනු කියන වචනෙට යටින් හතරට බෙදපු හතරැස් කොටුවක්  තිබෙනවා.  එම ලාංඡනයෙන් කියන්නෙ රිදී කහවනු 5000 ක් වියදම් කළ බවයි. මේ තරම් ඓතිහාසික වශයෙන් වැදගත් ශිලා ලේඛනයක් තමයි මේ කොන්ක්‍රීට් බදාමට යට කරල තිබෙන්නේ‘

‘ලංකාවේ පළමුවෙන්ම හදාපු චෛත්‍ය ගැන තොරතුරු කියැවෙන ආදිතම ශිලා ලේඛනයයි මේ පාලුමැකිච්චාව වැවේ පිට වානේ ගල් තලාව මත තිබෙන්නේ. මෙය ඉතිහාසයේ ලංකාවේ ගෞරවය බේරා ගත්ත රජ කෙනෙකුගේ ශිලා ලිපියක්. තමන්ගෙ තාත්තගෙ කාලෙ මේ රටට වෙච්ච අවනම්බුවෙන් රට බේර ගත්ත රජතුමාගේ ශිලා ලේඛනයක්. ගජබාහු රජුගේ මෙම සෙල් ලිපිය කොඩි දාලා ආරක්ෂා කළ යුතුයි. ඒ තරම් ප්‍රබල රටේ ගෞරවය රැකගත්ත රජනෙක් තමයි මෙම සෙල් ලිපියට අයිතිවාසිකම් කියන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන් මේවට වගකිව යුතුයි. සාමාන්‍යෙයන් මෙවැනි ඉදිකිරීමක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් ලැබිය යුතුමයි. නමුත් එවැනි අවසරයක් ලබාගෙන ඇති ද යන්න සොයා බැලිය යුතුව තිබෙනවා‘

‘මේ වගේ ජාතික අපරාධයක් සිදු කිරීම පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ඊට සම්බන්ධ ආයතන මේ විනාශයට වගකිම යුතුයි‘ යැයි ද ධම්මසිරි හිමියෝ වැඩිදුරටත් පැවසුහ.