දුම්රියේ ගැටීමෙන් 2 ක් මරුට


( ඩී.ජී.සුගතපාල)

කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාරගයේදි අද (16) දහවල් මෝටර් රථයක් දුම්රියේ හැපිමෙන් මෝටර රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මියගොස් ඇති දෙදෙනා අහංගම වැල්හේන්ගොඩ පදිංචිකරුවන් බවත් කාන්තාව මෝටර් රථය පදවන ලද පුද්ගලයාගේ ඥාති කාන්තාවක් බවට  හඳුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

මියගිය කාන්තාවට ප්‍රතිකාර ලබා ගැනිම සඳහා ගාල්ලේ පුද්ගලික රෝහලකට පැමිණ ආපසු නිවසට යන අතර මාලු ගැනිම සඳහා දුම්රිය හරස් මාරගයෙන් පාර මාරුවෙමින් සිටියදි මහනුවර සිට බෙලිඅත්ත බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ මෝටර් රථය හැපි ඇත.

දුම්රියේ හැපුන මෝටර් රථය මිටර් 400ක් පමණ ඉදිරියට ඇදි ගොස් කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල හරස් මාරගය අසල නතරව ඇත.

දෙදෙනාම මෝටර් රථයේ හිරවි සිටි අතර ප්‍රදේශවාසින් විසින් මෝටර් රථය ඉවත්කර මළ සිරුරු පිටතට ගෙන ඇත. පශ්චාත් මරණ පරික්ෂණ සඳහා මළ සිරුරු අද සවස කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදි.