නොරොච්චෝලේ අළු විධිමත් කළමණාකරණයකට


(සටහන සේයාරු - හිරාන් ප්‍රියංකර ජයසිංහ)


නොරෝච්චෝලය ලක් විජය බලාගාරයේ ගල් අඟුරු දුමාරය සහ ගල් අගුරු පිළිස්සි ඉතිරි වන අළු හේතුවෙන් හා අනිකුත් පරිසර හානි අවම කිරිම සදහා විවිධ ක්‍රම වේදයන් ඔස්සේ 2018 වසර වනවිට සියයට 95 කින්  හානි අවම කිරිමට සියලු කටයුතු අරඹා ඇති බව නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා පැවසිය.

නොරෝච්චෝල බලාගාරය නිසා ජනතාවට සිදුවු පිඩාවන් පිළිබඳව ජනතාව දිගින් දිගටම ජනාධිපතිවරයාට දැනුවත් කිරීමේ ප්‍රථිපලයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් විමෙන් බලාගාරයේ සිදුවන පරිසර හානි පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් .චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්තව සෑම මසකම  ලක් විජය බලාගාර භුමියේ දි ජනතාව ආගමික නායකයින් වගකිව යුතු රාජ්‍ය ආයතන මැදිහත් විමෙන් රැස්වි ජනතාවගේ ගැටළු සඳහා කඩිනම් පියවර ගැනීමටත් එහි තත්වයන් පිළිබඳවත් තමන් දැනුවත් කිරිමටත් ජනාධිපතිවරයා නියෝග කර තිබුණි.

ඒ අනුව මාර්තු මාසයේ හමුව මෙසේ 16  දින රැස්වු අතර එහිදි කරුණු දක්වමින් අදහස් දැක්වු බලාගාර කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා පැවසූයේ බලාගාරය විදුලිය නිෂ්පාදනයේදි විවිධ ගැටළු වලට මුහුණ දුන් බවත්, මෙහිදි  මුහුණ දුන් බරපතලම ගැටළුව ගල් අඟුරු වලින් පිටවන දුමාරය බවත්ය. ඒ සඳහා දුමාරය යාම වැලැක්විම සඳහා ගල් අඟුරුවලට රසායනිකයක් ඉසීම කළ බවත් එය සාර්ථක වූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය .

එලෙසම දිනකට ගල් අගුරු පිළිස්සීමෙන් ඉතිරි වන  අළු මෙට්‍රික් ටොන්  800 ආසන්න වේ. එහිදි යම් ප්‍රමාණයක් අවට ගම්මාන වලට සහ වගාවන්ට යාමෙන් සිදුවු හානිය පාලනය කිරීමට දිර්ඝ කාලීන වැඩසටහන් ආරම්භ කර තිබේ.

එහි ප්‍රථිපලයක් ලෙස ජාතික ඉංජීනේරු පර්යේෂණ හා සංවර්ධනයේ සහයෝගය ඇතිව සුළඟේ පාවෙන අළු හා පතුළේ ඉතිරිවන අළු කුඩා පරිමාන ගඩොල් නිෂ්පාදන සදහා මුන්දලම ප්‍රදේශයේ කර්මාන්ත කරුවන් වෙත ලබා දිමටත් බලපත්‍ර ලබා දි ඇත.


එයට අමතරව පුත්තලම සිමේන්ති සමාගම සහ ටෝකියෝ සිමෙන්ති සමාගම් මේ වන විට අළු රැගෙන ගියද එය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදි තවත් වැඩි ප්‍රමාණයක් අළු විවිධ කර්මාන්ත සඳහා ලබාදීමටත් කටයුතු කරන බවත් ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා සඳහන් කළේය.