පාලමත් කඩාගෙන රෝද තුන ගඟට


(සිරංගිකා ලොකුකරවිට)

ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ගමන් ගත් ත්‍රීරෝද රථයක්  පාලම කඩාගෙන ගඟට වැටී ඇත.

පාලම කඩා වැටෙන අවස්ථාවේ එම ත්‍රී රෝද රථයේ කාන්තාවක් සිය දරු දෙදෙනා ද සමඟ ගමන් කරමින් සිට ඇති අතර රියදුරා ඇතුළු ඔවුන් සියලු දෙනාම සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම පාලම කඩා වැටීම හේතුවෙන් නිවාස 100කට පමණ ප්‍රවේශ වීමට නොහැකි තත්වයක් උදාවී ඇති අතර විකල්ප මාර්ගයක් නොමැති වීම හේතුවෙන් කිරිදඬුපේ ගම්වාසීහු මහත් දුෂ්කරතාවයට පත්ව සිටිති.

රජයේ පාලම් ලක්ෂයක වැඩසටහන යටතේ මේ ස්ථානයේ පාලමක් ඉදිකිරීමට සැළසුම් කර තිබුණ ද මෙතෙක් එම පාලම ඉදිකර නොමැත.

දශක ගණනාවක් තිස්සේ ගම්වාසීන් විසින් එහා මෙහා යෑම සඳහා භාවිතා කළ ලෑලිවලින් සාදා තිබූ මේ පාලම නැවත පිළිසකර කිරීම අද ගැමියන් විසින් ම ආරම්භ කර තිබිණි.