පුත්තලම වෙරළේ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරිම අරඹයි


 

 

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

වාරකන් සමයත් සමඟ පුත්තලම වෙරළ තීරයට ගසා ගෙන විත් තිබු සායනික අපද්‍රව්‍ය ඇතුළු කැලි කසළ අද (21) දින සිට සම්පුර්ණයෙන් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබුණි.

පසුගිය 10 වැනි දා සිට පුත්තලම වෙරළ තීරයට අයත් සින්නපාඩුව වෙරළට ඉන්දියාවේ භාවිත කරන ලද බවට සැකකරන සායනික අපද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩ ගසා තිබූ අතර ඒ පිළිබඳව මාධ්‍ය මගින් දැනුම්වත්  කිරීමත් සමඟ අදාළ අංශ මේ පිළිබඳව සොයා බලා ඇත.

අදාළ සායනික අපද්‍රව්‍ය උඩප්පුව වෙරළ තීරයේ සිට කල්පිටිය දක්වා සැතපුම් 30 කට වැඩි දුරක් ගොඩ ගසා තිබිණි.

ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගණනින් ද වීදුරු හා අනිකුත් බෝතල් විශාල ගණනින් ද වෙරළ තීරයට ගොඩ ගසා තිබුණේ ගමන් කළ නොහැකි පරිද්දෙනි.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු වූයේ ප්‍රදේශයේ ධීවර සමිතිවල සාමාජිකයින් 100 කට ආසන්න පිරිසකගේ සහ පොලිස් හා නාවික නිලධාරින්ගේ මැදිහත්වීමෙනි.

මේ පිළිබඳව අදහස් දක්වා සිටි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක මධුනී ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය.

“ පසුගිය සති කිපය පුරා පුත්තලම වෙරළ තීරයට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසා තිබූ බව අපිට වාර්තා වුණා. අප එවා වහාම ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ සඳහා අනිකුත් රාජ්‍ය ආයතන එක් වුණා. සායනික අපද්‍රව්‍යවලට අමතරව තවත් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් වෙරළ අපිරිසිදුව තිබූ ආකාරය නිසා අපි අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත අද දිනයේ  ජනතාව සහ නාවික හමුදාව පොලිසිය එක්ව පිරිසිදු කිරීම ආරම්භ කළා. මෙය දිගටම ක්‍රියාත්මක කරන්න අපි සුදානම්. පුත්තලම වෙරළ තීරය කිලෝ මීටර් 325 කට ආසන්න දුරක් පවතින නිසා එය ඉතාමත් ක්‍රමානුකුලවයි කළ යුත්තේ.”

 මෙහිදි මෙම පිරිසිදු කිරීම්වලට එක්ව සිටි නිලංකා ප්‍රනාන්දු මහත්මිය,

“ හැම වාරකන් සමයකම අපේ වෙරළ තීරයට අපද්‍රව්‍ය ගොඩ ගැසීම සිදු වෙනවා. නමුත් මෙවර රෝහල්වල භාවිතා කරන අපද්‍රව්‍ය වෙරළට ගොඩ ගසා තිබුණා. අපි දින කිහිපයක් වෙරළට ආවෙත් නැහැ බයට. නමුත් දැන් අපිට සතුටුයි මේ වෙරළ පිරිසිදු කිරීම ගැන.”