මධ්‍ය ශීලා යුගයට අයත් සාධක රජගලතැන්නෙන්


 
වසන්ත චන්ද්‍රපාල                          
                             


අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජා භුමියේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කිරිමට ආරම්භ කළ කැණීම්වල දෙවැනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ මහා ලෙන දී ආරම්භ කළ අතර මෙම කැණීම් වලදි මධ්‍යම ශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් සොයාගත් බව ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව මහතා පැවසීය.


ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්මේන්තුව, සහ ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලය විසින් මෙම කැණීම් ආරම්භ කළ අතර මෙහි පළමු කැණිම 2016 වසරේ ආරම්භ කළ බවත් එයින් තහවුරු වු කරුණු අනුව මෙම කැණිමේ දෙවැනි පියවර ආරම්භ කරනු ලැබීය.


ඒ අනුව සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජීතිස්ස රජු විසින් කරවා ඇති රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ පිහිටා ඇති මහා ලෙනේ ස්ථාන තුනක මෙම කැණීම් කර තිබේ.


මෙම කැණිම්වල මුල් කාලයේ දී  මානවයා විසින් තමන්ගේ කටයුතු සඳහා  එදිනෙදා භාවිතා කරන ලද ගල් ආයුධ යැයි විශ්වාස කරන ආයුධ කිපයක් මුල් කැණිමේදී හමුවු අතර පසුගියදා ආරම්භ කරන ලද දෙවැනි කැණීම් වලදී තවත් වැදගත් තොරතුරු රැසක් හමුවී තිබේ.


දෙවෙනි කැණීම් වලදී මිනිස් දත්, ආහාරයට ගන්නා ලද සත්වයන්ගේ අස්ථි කොටස්,ආහාරයට ගන්නා ලද කැකුණ ඇට,ආහාරයට ගැනීමට ගෙනා ගොලු බෙල්ලන්ගේ කොටස්, අගුරු, අලු , සර්පයකුගේ අස්ථි කොටස්, සහ ක්ෂුද්‍ර ශිලා මෙවලම් හමුවු බව ද මහාචාර්ය ඇලෙක්සෙන්ඩර්  කපුකොටුව මහතා සඳහන් කළේය.


මෙම කැණිමේදි හමුවු  කොටස් මධ්‍යම ශිලා යුගයට අයිත් ඒවා බවට විශ්වාශ කළ හැකි අතර මෙම හමුවී ඇති සාධක සහ පස් රසායනාගාර පරීක්ෂණ වලින් පසුව  මෙහි ඉතිහාසය පිළිබඳව තවත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කීය.


2012 රජගල පුරාවිද්‍යා භුමියේ කැණිම් ආරම්භ කළ අතර මෙහිදි ඉපැරැණි නටබුන් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. මෙම කැණීම් වලදී පිළිමගේ, ලහබද්ගේ (භික්ෂුන් වහන්සේලා දානයට පෙර හමුවු  ස්ථානය) , ජන්ඨාගරය (භික්ෂුන් වහන්සේලා  ඖෂධ පැන් ස්නානය කරන ලද ස්ථානය), දාන ශාලාව, චෙත්‍යය දෙකක් බෝධිගරයක් හමුවි තිබේ.

රජගලතැන්න කන්දට නැගිම සදහා පෙර රජ දවස පැවැති පෙත් මඟ ඒ අයුරින්ම සංරක්ෂණය කර ඇති අතර මේ වෙන විට සෙල්ලපි 80 ක් පමණ සොයා ගෙන ඇත.


මෙම පුජා භුමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා  තිබේ. දැනට රජගල පුරාවිද්‍යා භුමියෙන් ඓතිහාසික ස්ථාන 700 හඳුනා ගෙන තිබේ.


මෙම කාර්ය සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පි.බි.මණ්ඩාවල මහතාගේ අධීක්ෂණය යටතේ ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර , මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව. කථිකාචාර්ය ඉනෝජ් කෞශල්‍ය අබේනායක නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නිල්මල්ගොඩ  යන මහත්වරුන් ගේ මෙහයවිමෙන් මෙම කාර්ය සිදුවෙමින් පවතී .


මෙවර කැණිම් සඳහා ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලයේ උපකුලපති පුරා විද්‍යාඥ වසන්ත සිංදෙයි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ද  විශ්ව විද්‍යාල සිසුන් ද මෙයට සහභාගී වුහ.