මිනිසුන් හැර නොයන බකමූණා


(උපුල් තම්මිට)

බකමූණා ජනවහරේ හැඳින්වෙන්නේ දිවා කාලයේ ඇස් නොපෙනීම හේතුවෙන් නිද්‍රාවෙන් ගතකරන බවත් රාත්‍රීය එළඹීමත් සමඟ දඩයම් සොයා පියාඹා යන බවත්ය.

නමුත් ඒ න්‍යාය පුස්සක් කරමින් දිවිගෙවන බකමූණෙකු මහවිලච්චිය වනජීවී අඩවි කාර්යාලයේදී දැකගැනීමට හැකිවිය.

මීට මාසයකට පමණ පෙර තලාව ප්‍රදේශයේදී  තුවාල වී සිටි මෙම බකමූණා තලාව වනජීවී නිලධාරීන් විසින් අනුරාධපුර පණ්ඩුලගම පිහිටි වනජීවී පශුවෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා වෙත භාර දීමෙන් අනතුරුව සති දෙකක පමණ කාලයක් ප්‍රථිකාර ලබා දීමෙන් පසුව නැවත වනයට මුදාහැරීම සඳහා මහවිලච්චිය වනජීවී කාර්යාලයට භාර දී තිබේ.

එහි වනසත්ව අඩවි ආරක්ෂක ජයවීර මහතාගේ අධීක්ෂණය මත සුවය ලබා සිටි බකමූණා නිදහසේ ජීවත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබියදීත් වනාන්තරය ප්‍රතික්ෂේප කරමින් නිරන්තරවම වනජීවී අඩවි කාර්යාලය ආසන්නයේම රැඳී සිටිමින් වනජීවී නිලධාරීන්ගේ සත්කාර ලබමින් ජීවත් වීමට පුරුදුව සිටී.  දිවා කාලයේදී සාමන්‍ය පක්ෂීන් මෙන්  ඇහැරී සිටින බවත් ඇදිරි වැටෙත්ම නිදාවැටෙන බවත් ඒ මහතා පවසයි.

කුසගින්න ඇතිවූ විට වනජීවී නිලධාරීන් අසලට පැමිණිමට පුරුදුව සිටින මෙම බකමූණා වනජීවී නිලධාරීන් ලබාදෙන මත්සයෙකු හැරෙන්නට වෙනත් කිසිඳු දෙයක් ආහාරයට නොගන්නා බව පවසන වනජීවී අඩවි ආරක්ෂක ජයවීර මහතා තම කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමක එම්.බී.විජිත මහතාට දැඩි ලැදිකමක් දක්වන බව සඳහන් කර සිටියේය.