මොරගහකන්ද සිඳෙයි - නටබුන් මතුවෙයි


(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර )
 
මේ දිනවල පවතින දැඩි  වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මොරගහකන්ද ජලාශයේ ජලය අනෙකුත් ජලාශවලට මුදාහැරීම හේතුවෙන් එහි ජලය සිඳී ගොස් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ ජලාශයට යටවූ ගම්මාන 12 ක් පමණ නැවත මතුවී තිබේ.
 
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල සීමාව අක්කර අඩි හාරලක්ෂ හටදහසක්ව පැවති නමුත් මේවනවිට ඉතිරිව ඇත්තේ අක්කර අඩි එක්ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සීය  අසූ දෙකක් පමණි.
 
ජලය සිඳී යාමත් සමඟ ජනතාව පදිංචි වී සිටි ස්ථානවල නිවාස නටබුන් රැසක් ජලයෙන්  මතුවීම හේතුවෙන් ප්‍රදේශවාසීහු බොහෝදෙනෙක් තම ගම්බිම් පැවති ස්ථාන දැකබලා ගැනීමට දිනපතා සිදීගිය මොරගහකන්ද ජලාශයට පැමිණෙමින් සිටිති. වියළී ඉරි තැලී ගිය අඹන්ගඟ ඉස්මත්තේ දිය නෑම සඳහා ද කිලෝමීටර් දෙකහමාරක් තුනක පමණ සිට ජනතාව පැමිණෙති. 
 
පසුගිය කාලයේ  මෙම ප්‍රදේශය නිවාස ගම්මානවල අඩි 40 ක ට ඉහළ ජල ධාරිතාවක් පැවති බවට මේ වනවිට නටබුන්වලින් දැකගැනීමට හැකිය. තවමත් තැන තැන ඇළ මාර්ග ඔස්සේ ජලය පවතින අතර කඳු ගැට, වියළී ගිය ගස් , එකල ජනතාව විවිධ දේ භාවිත කළ කොටස් මතුවී පෙනේ. පැරණි නාඋල මහියංගනය ප්‍රධාන මාර්ගයද, ඇතැම් පාලම් බෝක්කු ද, බුදු මැදුරු, බෝධීන් වහන්සේලා ද දැක ගැනීමට හැකි විය.
 
තම ගම්බිම් අතහැර ගියද නිසි පහසුකම් ලබා නොදීම නිසා  මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා ඇතැම් ජනකොටසක් සුඛ විහරණය ලැබුව ද තවත් කොටසක් අන්ත දුගී භාවයට පත්ව සිටින බවද, එහෙත් තම සිත්තැවුල ප්‍රකාශ කරන්නට අඩුම තරමේ මාධ්‍යකින් හෝ ඉඩක් නොලැබෙන බව ද ඩබ්ලිව්. එම්. එස්. විජේකෝන් (69) මහතා කියා සිටියේය. 
 
මේ වන විට ජලාශයේ ජලය පහළ ප්‍රදේශයේ ගොවිතැන් සඳහා  මුදාහැර තිබෙන බවත් අඹන් ගඟේ ජල ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය අඩුවී ඇති බවත් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී එම්. දයානන්ද මහතා පැවසීය.