රජ රට වැව් සිඳීමෙන් මසුන් මියයාමේ අවදානමක්


(කුෂාන් ජයවර්ධන)
ප‍්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණය නිසා මේ දිනවල රජරට ප‍්‍රදේශයේ වැව්වල ජල මට්ටම ක‍්‍රමයෙන් පහත යමින් පවති. 

පදවිය වාහල්කඩ වැවේ ජල මට්ටමද මේ වනවිට ඉතා පහළමට්ටමකට පැමිණ  ඉකුත් සති තුනක පමණ කාලයක සිට වාහල්කඩ වැවේ සිටින තිලාපියා විශේෂයේ මසුන් මිය යාමට පටන් ගෙන එයින්  හමන දුර්ගන්දය ප‍්‍රදේශය පුරා පැතිර යමින් සෞඛ්‍යහානි  ගෙන දෙන තත්ත්වයක් මතුව ඇතැයි ගැමියෝ  කියති. 

වාහල්කඩවැවේ දිනකට කිලෝ ග්‍රෑම් 200ක් පමණ ප‍්‍රමාණයක් තිලාපියා මසුන් මිය යමින්  පවතින අතර  මිය ගිය මසුන් ආහාරයට ගැනීම හේතුවෙන් එම වැවේ වෙසෙන දියකාවන් වැනි වෙනත් සත්ව විශේෂයන් ද මිය ගොස් ඇති අයුරු දැකිය හැකිය.

වැවේ මසුන් මෙලෙස මියයාම නිසා එම වැව ආශ‍්‍රිතව ධීවර කටයුතුවල යෙදෙන පවුල් රැසක ධීවර රැකියාවද අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.

අනුරාධපුර දිස්ත‍්‍රික් ධීවර ව්‍යාප්ති නිලධාරී සිසිත කුමාර මහතා මේ පිළිබඳව පැවසූයේ   ගැටලුව ඇති  ඇති වාහල්කඩවැවේ ජල සාම්පල අදාළ පරීක්ෂාවන් සදහා දැනටමත් අදාළ අංශ වෙත යොමුකර ඇති බවයි. එම පර්යේෂණ වාර්තාවන් හා ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව ධීවර ප‍්‍රජාව මුහුණ පා ඇති අවදානම සම්බන්ධයෙන් අවධානය යොමුකර  ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකි සුදුසු මත්ස්‍ය කළමනාකරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.   

වාහල්කඩ වැවේ ජලයේ හටගෙන ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතාගෙන් ද කරුණු විමසීමේදී මෙසේ පැවසීය.

"වසරකට වරක් ඇති වන වියළි කාලගුණය නිසා රජරට ප‍්‍රදේශයේ වැව්වල ජල මට්ටම ක‍්‍රමයෙන් පහත වැටෙනවා. එවැනි අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් වැව් ආශ‍්‍රිතව ඇතිවීමේ හැකියාව තියෙනවා. මම වාහල්කඩ වැවේ ජල සාම්පල නිරීක්ෂණය කළා. මේ වන විට වැව් ජලයේ ඇති ශාක ප්ලවාංග ගහනයෙන් 98%ක් පමණ ඇත්තේ සිලින්ඩ්‍රෝස්පර්මොප්සිස් රුසිබොර්ස්කි (Cylindrospermopsis raciborskii ) නැමැති නීලහරිත ඇල්ගී විශේෂය. 

එම ඇල්ගී විශේෂය වසර බිලියන තුනහමාරක් පමණ පැරණී එකක්. එම වැව් ජලයේ තවත් 1%ක් පමණ ඇත්තේ මයික්‍රෝසිස්ටිස් අරුජුනෝසා ( Microcystis aeruginosa ) නැමැති නීලහරිත ඇලගී විශේෂය යි. මෙම නීල හරිත ඇල්ගී විශේෂ දෙක විසින් නිපදවන රසායනික ද්‍රව්‍ය මසුන්ගේ, කුරුල්ලන්ගේ සහ ක්ෂීරපායින්ගේ අක්මාව, වකුගඩු සහ ස්නායු පද්ධතියට හානි සිදු කරනවා. විෂ රසායන නිපදවන ඇල්ගී ආහාරයට ගැනීම නිසා තිලාපියා මසුන් ඉක්මනින් මිය යනවා. මෙම පාරිසරික ආපදාව කළමනාකරණය කිරීමෙන් මිය යෑමට සිටින මත්ස්‍ය සම්පතෙන් උපරිම ප‍්‍රතිලාභ ලබා ගත හැකි වෙනවා. "