රසික හදවත් හඬවා සුනිල් පෙරේරා සමුගෙන යයි


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකළ කණ්ඩායම් සංගීතයේ දැවැන්තයකු වූ ’ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු  අද(6) පස්වරු 6 ට බොරැල්ල කනත්තේදී  සිදු කිරීමට නියමිතය.

සුවසක් රසික හදවත් සිය මියුරැ හඩින් සැනසු ඔහු, අද දිනයේදී රසික හඳවත් කම්පාකර නෙතගට කඳුලක් ක් කරවමින්  සිය ජීවන මගෙහි අවසානය සනිටුහන් කරන්නේය. 

කොරෝනා වයිරසය ආසාදනය වී ඉතා අසාධ්‍යව ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා  නිවසට ගොස් සිටියදී යළි ඇතිවූ හදිසි රෝග තත්වයක් හේතුවෙන් ඉකුත් 03 වැනිදා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර එහි දී මරණයට පත්විය.

පෙනහළු ආශ්‍රිත ආසාත්මිකතාවක් සමඟ ඇතිවූ නියුමෝනියා තත්වය ඔහුගේ මරණයට හේතු වී ඇත.

 සුනිල් පෙරේරා මහතා මිය යන විට 68 හැවිරිදි වියෙහි පසුවිය.

දක්ෂ වාදකයකු, සංගීතඥයකු මෙන්ම ගීත රචකයකු ද වූ සුනිල් පෙරේරා මහතා මනා හඬ පෞරුෂයකින් යුත් ගායන ශිල්පියකු ද විය.

හිටපු යුද හමුදා නිලධාරියකු හා තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වූ ඇනටන් පෙරේරා මහතාට සහ ඩොරින් පෙරේරා මහත්මියට දාව සහෝදර සහෝදරියන් 10 දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස 1952 සැප්තැම්බර් 14 වැනිදා මොරටුවේදී උපත ලැබූ අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා සිය දිවි ගමන නිමා කළේ සිය 69 වැනි ජන්ම දිනයට දින අටක් ඉතිරිව තිබියදීය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සුනිල් පෙරේරා මහතා ඉන් පසු අධ්‍යාපනය ලබන්නේ ශාන්ත පීතර විද්‍යාලයෙනි.

කුඩා කල සිටම සංගීතයට ප්‍රිය කළ සුනිල් පෙරේරා වයස අවුරුදු 11 දී ගිටාර වාදනය හැදෑරීමට යොමුවන අතර ප්‍රවීන වාදකයන්  වූ වින්සන් ජයවර්ධන හා ජෝර්ජ් ෆර්ඩිනෑන්ඩු ඔහුගේ ගුරුවරු වූහ.

1969 දී පාසල් අධ්‍යාපනය නිම කළ පසු සිය පියාගේ 'ජිප්සීස්' සංගීත කණ්ඩායමට සම්බන්ධ වූ සුනිල් පෙරේරා මහතා පසුව පියල්, නිහාල්, ලාල්, නිමල් යන තම සොහොයුරන් සහ ඥාති සොහොයුරන් එක් කරගනිමින් එය මෙරට ජනප්‍රියම සංගීත කණ්ඩායමක් බවට පත් කළේය.

සාම්ප්‍රදායික කණ්ඩායම් සංගීත රටාවෙන් ඔබ්බට යමින්  නවමු ගමනක් ආරම්භ කළ සුනිල් පෙරේරා ජිප්සීස් සංගීත කණ්ඩායම හරහා මෙරට සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කළා යැයි කිවහොත් නිවැරදිය.

ඔහු සමාජයේ විවේචනය කළ යුතු දේ විවේචනය කරමින් ගායනා කළ ගීත ලොකු කුඩා කා අතරත් අතිශය ජනප්‍රිය විය.

මෙරට දේශපාලනයේ විවේචනය කළ යුතු තැන් හා සමාජ දුර්වලතා විවේචනය කිරීමට ඔහු නිර්භයව සිය නිර්මාණ යොදා ගත්තේය.

' එතුමා', 'අයි ඩෝන්ට් නෝ වයි' ආදී ගීත ඒ සඳහා උදාහරණයන්‍ ය.

  මුල් කාලයේදී ඔහුගේ ගීත රාජ්‍ය මාධ්‍යවල විකාශය නොවීමටද මෙම විවේචනාත්මක නිර්මාණ හේතුවිය.

තාත්තා මට ඇනපු ටොක්ක, සිංඤ්ඤෝරේ, ලුණු දෙහි, පාවෙන පීරිසියක්, වඩුවැඩෙන් දිවි රකින, කැඩපතකින් කිසි දවසක නෑ, නෝනෙ මගෙ සුදු නෝනේ, කොත්තමල්ලි, සුමිහිරි පානේ, ඕයේ ඔජායේ, පිටි කොටපං නෝනේ ආදී ගීත රැසක් ඔහු නිර්මාණය කර ගායනා කළේය.

70 දශකයේ ඇරඹි ජිප්සීස් සංගීත කණ්ඩායම අදටත් ඉහළ ඉල්ලුමක් ඇති සංගීත කණ්ඩායම වන අතර ඒ ආභාෂය ඇතිව කොතෙක් සංගීත කන්ඩායම් බිහිවුවද ජිප්සීස් හි ජනප්‍රියත්වය අදටත් එලෙසම පවතී.

ගීතා පෙරේරා මහත්මිය සමඟ විවාහ වූ  සුනිල් පෙරේරා මහතා ඩැඩී සංගීත කණ්ඩායමේ නිර්මාතෘ, ජනප්‍රිය ගායක ගයාන් පෙරේරා මහතා ඇතුළු දරුවන් සිවු දෙනකුගේ පියෙකි.

(ඡායාරූප ශාන්ත රත්නායක)