රෑට රෑට හොරකමේ යන කඳුකර කොටි


කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති.

රාත්‍රියට නිවාස ආසන්නයටම පැමිණෙන  කඳුකර කොටියන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පෙළඹී සිටින බවත්, ඔවුන් රාත්‍රිය පුරාවටම නිවෙස් ආසන්නයේ ගැවසෙමින් සිටින බවද ඔවුහු කියති.

කඳුකර කොටියන් නිවෙස්වලට පැමිණ දෙරවල් විවෘත කිරීමට පවා තැත් කරන බව එම පදිංචිකරුවෝ සඳහන් කරති.

ආගරපතන නව කොළණිය ගම්මානයේ නිවසක සවි කර තිබු ආරක්ෂක කැමරාවක විශාලප්‍රමාණයේ කඳුකර කොටියෙකු නිවසට පැමිණ නිවසේ පිටුපස දොර විවෘත කිරීමට තැත් කරන අයුරු සටහන්ව ඇති බවත්, මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ කදකර කොටි බිය ඉහළ ගොස් ඇතැයි එම වැසියෝ කියති.

මේ පිළිබදව එම නිවසියන් ආගරපතන පොලීසියට පැමිණි කොට ඇති අතර, තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීන්ගෙන් එම ගම්මානයේ ජනතාව ඉල්ලා සිටිති.

(ශන්ත චන්ද්‍රසිරි සහ ගනේෂන් ක්‍රිෂාන්තන්)