ලක් කොල්ලාගේ මූර්තිය චීනය වශී කරයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූර්ති කලා නිර්මාණ ශිල්පියකුගේ කලා නිර්මාණ දෙකක් චීනයේ චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා තෝරා ගෙන තිබේ.

නගර අලංකාර වැඩසටහන සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට රටවල් 26 ක මූර්ති කලා නිර්මාණ ශිල්පීන්ට චීනය ආරාධනා කර ඇත.ඉන් නිර්මාණ ශිල්පීන් සය දෙනකුගේ නිර්මාණ 12 චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා තෝරාගෙන ඇත.

එසේ තෝරාගත් නිර්මාණ 12 අතරට ශ්‍රී ලාංකික මූර්ති කලා නිර්මාණ ශිල්පියකු වන ලලිත් සේනානායක මහතාගේ නිර්මාණ දෙකක්ද ඇතුළත් වී තිබේ.ලලිත් සේනානායක මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇති අශ්වයකු සහ නිදහසේ පියාඹන කුරුල්ලන් දෙදෙනෙකු සහිත මූර්ති දෙකක් චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා මෙසේ තෝරාගෙන ඇත.

ශ්‍රී ලාංකික ශිල්පියකුගේ මූර්ති කලා නිර්මාණ දෙකක් චීන නගරයක ප්‍රධාන උද්‍යානයක් අලංකාර කිරීම සඳහා යොදාගත් පළමු අවස්ථාව මෙය බව තමන් විශ්වාස කරන බවත් චීනයේ තබා ඇති තම නිර්මාණ අසල ශ්‍රී ලංකා ධජය ලෙළදෙන බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් ලලිත් සේනානායක මහතා ප්‍රකාශ කළේය.