ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්


( රංජිත් රාජපක්ෂ )

මෙවර  ශ්‍රි පාද වන්දනා වාරය අද (30) උදෑසන ශ්‍රි පාද උඩුමළුවේ පැවැති විශේෂ ආගමික  වතාවත්වලින් අනතුරුව අවසන් කෙරිණි.

ශ්‍රි පාද උඩු මළුවේ තැන්පත් කර තිබු සමන් දේව ප්‍රතිමාව , සධාතුක කරඬුව සහ දේව ආභරණ වලින් දේවාභරණ රැගත් එක් පෙරහරක් අද (30) උදෑසන 7 ට ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රී පලාබද්දල හරහා පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කරවීම මේවන විට ආරම්භ කර තිබේ.

ශ්‍රි පාද උඩ මළුවේ අද දහවල් පැවැත් වෙන බුද්ධ පුජාවෙන් අනතුරුව තවත් පොරහරක් නල්ලතන්නිය දක්වා වැඩම කිරිමට නියමිතය.

එම පෙරහර නල්ලතන්නියේදි පෙරහර දෙකක් වශයෙන් වෙන් වි එක් පෙරහරක් බගවන්තලාව, බලංගොඩ හරහා පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයට ගමන් කරන අතර අනෙක් පෙරහර නල්ලතන්නිය ,ලක්ෂපාන , යටියන්තොට, අවිස්සාවේල්ල, රත්නපුර හරහා පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වා ගමන් කෙරේ.

රත්නපුර රජ මාවත ඔස්සේ වැඩමකරවන පෙරහර කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරින් විසින් වැඩමකරවනු ලබන  අතර නල්ලතන්නිය දක්වා ගමන් ගන්නා පෙරහර ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින් විසින් වැඩමකරවීමට නියමිතය. 

 
මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වා  වැඩමකරවන  සධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද (30) රාත්‍රි පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ ගමන් මාලිගාවක තැන්පත් කරවනු ලැබීමෙන් අනතුරුව හෙට (01)  උදෑසන විශේෂ පෙරහරකින් යළි පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානය දක්වා සධාතුක කරඬුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන  තෙක්  එහි තැන්පත් කර තැබෙන බව  ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසුහ.