හොරොව්පොතානෙන් පැන්න අඳ අලියා මිය යයි


පැතුම් දර්ශන
 
හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඇතුලත සිට ආරක්ෂිත වැටෙන් එළියට පැනගත් දෑස් අඳ අලියා දැඩි ලෙස රෝගාතුරව හොරොපොතාන වැලිමුවපොතාන වැව් ඉස්මත්තේ සිටියදී අද(24) දහවල් මිය ගිය බව වනජීවී නිලධාරීහු පැවසූහ.

 
මීට මාසයකට පමණ පෙර මෙම දෑස් අඳ අලියා හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට ගෙනවිත් දමා තිබුනේ හම්බෙගමුව ප්‍රදේශයෙනි.
 
ඒ අනුව සති දෙකක පමණ කාලයක් වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඇතුළත සිට ඇති මෙම අලියා මීට සති දෙකකට පමණ ඉහත දී  වැටෙන් පැන ගොස් ඇත්තේ වනජීවී නිලධාරීන් ද පුදුමයට පත් කරමින්ය.
 
එතැන් පටන් සතියක පමණ කාලයක් වැලිමුවපොතාන, පරගහඋල්පත යන ගම්මාන වලට කඩා වැදී  භෝගවලට හානි කරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන්   ඒ බව හොරොව්පොතාන වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.
 
පසුව හොරොව්පොතාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳව අනුරාධපුර සහකාර වනජීවී අධ්‍යක්ෂක වරයා මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද දැනුම්වත් කොට තිබූ අතර ඒ වන විටත් මෙම දැස් අඳ අලියා ආරක්ෂා කිරීමට දිවා රෑ දෙකෙහිම වනජීවි නිලධාරින් රාජකාරියට යෙදවීමට වන සත්ත්ව අඩවි ආරක්ෂක ජයතිලක බණ්ඩාර මහතා කටයුතු කර තිබුණේය.
 
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ උපදෙස් මත ඉකුත් 21 වනදා හොරොව්පොතාන ට පැමිණි වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ වනජීවී නිලධාරීන් තීරණය කළේ ජනතාවට හිරිහැරයක් නොවන පරිදි මෙම අලියා  අල්ලා  නැවතත් හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට මුදා හැරීමටයි.
 
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දැනුම්දීමෙන් ඒ සඳහා වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු විශේෂ කණ්ඩායමක් හොරොව්පොතාන වැලිමුවපොතාන වැව් ඉස්මත්තට පැමිණ අලියාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කිරීමට සූදානම් වන අතර එහි මූලික පියවරක් ලෙස ඖෂධ මගින් "අඩ නින්ද" තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේය.
 
ඒ වන විටත් අධික ලෙස රෝගාතුරව සිටි මෙම දෑස් අඳ අලියාගේ සිරුරේ  වෙඩි පහරවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තිබුණ අතර ඒ සියලු තුවාල  පැසවා සැරව ගලමින් තිබුණි.
 
කෙසේවෙතත් වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් අලියාට ලබාදුන් ඖෂධවලින් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ අතර සිටගෙන සිටි අලියා එකවර බිමට ඇද වැටුණේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ය.
 
එතැන් පටන් දින තුනක් දිවා රෑ දෙකෙහිම වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා, පශු වෛද්‍ය චන්දන ජයසිංහ, හොරොව්පෙතාන වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ජයතිලක බණ්ඩාර මහතා ඇතුළු අනෙකුත් වනජීවී නිලධාරීන් මෙම  අලියා බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ මුත් ඒ සියල්ල අසාර්ථක විය.
 
වෙඩි වැදීමෙන් ශරීරයේ අධික ලෙස සිදුවී ඇති තුවාල උඩු දිවිමත් ශරීරයේ ලේ හිඟ වීමත් හේතුවෙන් මෙම අලි මරණය සිදු වූ බවට  වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා නිගමනය කළේය.
අවුරුදු 50ක් පමණ වන මිය ගිය අලියා ගේ උස අඩි අටක් පමණ වන බව පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා වැඩිදුරටත් කීය.