‘‘කාර් රේස් එපා අපට කරදරයි‘‘


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාමට බාධාවක බව පවසමින් ප්‍රදේශවාසීහු පිරිසක් මීරිගම කොටදෙනියාව මාර්ගයේදි උද්ඝෝෂණයක යෙදුනහ.

හකුරුකුඹුර විහාරාධිපති රෝටුඹේ සාරද හිමියන් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක් වූහ.

කොටදෙනියාව මාර්ගයේ සිට ධාවන පථයට ඇතුළු වන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය සිදු කෙරිණි.

ධාවන පථයෙන් නිකුත් වන අධික ශබ්දය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම රෝගාබාධවලට පත්ව සිටින ජනතාවද මහත් පීඩාවට පත් වෙන බවට මෙහිදී ජනතාව කරුණු දැක්වූහ.

වසර හත අටක් තිස්සේ තමන් මෙම දුක විඳ ඇතැයි ද තවදුරටත් මෙසේ දුක් විඳීමට නොහැකි නිසා මෙසේ පාරට බැසීමට සිදු වූ බවද ජනතාව සඳහන් කළහ.

තමන් ඉදිරිපත් කළ පැමිණිලි සඳහා කිසිදු විසඳුමක් ලැබී නැති බවද ජනතාව මෙහිදී කරුණු දැක්වූහ.