‘‘ජා.ජ.බ‘‘ සුළඟ නුගේගොඩින් ඇරැඹෙයි


(මුදිතා දයානන්ද)

"74 වසර ශාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු " ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන බල විරෝධතාවය මේ වන විට නුගේගොඩ නගරයේ දී පැවැත්වෙයි.

දෙල්කද මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගයේ සිට නුගේගොඩ මංසන්ධිය, ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ විරෝධතා පෙළපාළියෙන් ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයධ දක්වා පැමිණ මෙම රැළිය පැවැත්වේ.

ඉන්ධන මිල අහස උසට, තෙල් පෝලිම ඇදෙයි දිගට, ලයිට් නැතෙ තෙලුත් නැතේ, ගෑස් නැතේ පිටියක් නැතේ, මීට වඩා ඉවසනු බැහැ,රට හදන්න වරෙව් පුතේ යනාදී සටන් පාඨ කියමින් මෙම විරෝධතා පෙළපාලිය ගමන් කරනු ලැබිණ.

විරෝධතා පෙළපාලිය නිසා හයිලෙවල් මාර්ගයේ පැය දෙකකට ආසන්න කාලයක් දැඩි රථවාහන තදබදයක් පැවතිණ.

ජන රැළියට පැමිණි ජනතාවගෙන් නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ සිට කෝට්ටේ පාර නාවල පාර දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වැසි ගිය අතර රථ වාහන සදහා විකල්ප මාර්ග භාවිතා කරන්නට සිදුවිය.

මෙම පෙළපාලියට හා රැළියට ජාතික ජනබලවේගයේ නායක අනූර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ව ඇතුලු නායක නායිකාවෝ විශාල පිරිසක් එක්ව සිටිති.

(ඡායාරූප ළහිරු හර්ෂණ)