මෙම තත්ත්වය බලාපොරොත්තු විය හැකිව තිබූ එකකි. දැඩි අපහසුතා මධ්‍යයේ වුව විශාල පිරිසක් කොළඹට පැමිණියහ. ලංකා ඉතිහාසයේ ඉහළම ජන සහභාගීත්වය සහිත මහජන නැගිටීම හැටියට මෙය හැඳින්වීමට පිළිවන. එහි ඇති වැදගත්ම ලක්ෂණය නම්, නිශ්චිත දේශපාලන නායකත්වයක මෙහෙයවීමකින් සිදු වූවක් නොවීමය. බොහෝ දෙනා එයට ස්වේච්ඡාවෙන්ම සහභාගි වූහ.
මහජන නැගිටීමක් ඉදිරියේ රාජ්‍ය බලය කොතරම් කුඩා එකක්ද යන්න මේ සිද්ධියෙන් පිළිබිඹු විය. මහජන නැගිටීම් ඉදිරියේ ඕනෑම බලසම්පන්න නායකයකුට වුව පැවැත්ම තහවුරු කරගැනීමේ බරපතළ අභියෝගයකට මුහුණ දීමට සිදු වේ. කොවිඩ් වසංගතයත් සමග ඇති වූ තත්ත්ව සහ ආර්ථිකයේ හටගත් අර්බුදයත් සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පිරිහෙමින් තිබිණි. එයට අමතරව හඳුනාගත හැකි තවත් විශේෂ තත්ත්වයක් තිබේ. එනම්, පොදුවේ ජනතාව ඔහුගෙන් අපේක්ෂා කළ යම් යම් දේවල් තිබිණි. රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන ඇතැම් යල්පැනගිය යාන්ත්‍රණ ඉවත් කිරීම සඳහා ඔහු විසින් යම් සාධනීය ප්‍රතිසංස්කරණ ඇති කරනු ලැබෙයි යන විශ්වාසය ඒ අතර ප්‍රධාන විය. එම පිරිස අතර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය දුන් අයත් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීහුත් සිටියහ. එම ජනතා අපේක්ෂාවට අදාළ ඔහුගේ ක්‍රියාකාරීත්වය පිරික්සීමේදී පැහැදිලි වන්නේ, සාධනීය යැයි කිව හැකි ප්‍රවේශයක් අනුගමනය නොකළ බවකි. එබැවින් ඒ අරබයා ජනතාව අපේක්ෂාභංගත්වයට පත් විණි.
තවත් ඉදිරියට යමින් ජනතාව ඔහුගෙන් විශාල දේවල් අපේක්ෂා කළහ. එම ජනතා අපේක්ෂා ගැන කදිම විග්‍රහයක් වරෙක විමල් වීරවංශ ඉදිරිපත් කළේය. ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ආගමනය විස්තර කළේ, ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් යන නායකයන් දෙදෙනාම එකතු වූ විට නිර්මාණය වන විශිෂ්ට නායකත්වයක් හැටියටය. කොවිඩ් වසංගතය සහ ඉන් පසු ඇති වූ ආර්ථික අර්බුදය සිය අසාර්ථකත්වයට හේතු වූවා යැයි ජනාධිපතිවරයාට කිව හැකිය. එහෙත් කොවිඩ් වසංගතය මධ්‍යයේ රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති වන බවට පුරෝකථන ඉදිරිපත් විය. එසේම එවැනි අර්බුදයක් විසඳීම සඳහා අනුගමනය කළ යුතුව තිබූ ප්‍රවේශ කිසිවක් ඔහු අනුගමනය නොකළේය. එම පසුබිමේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් තමා දුර්වලයකු බව ඔහු කල්වේලා ඇතිවම ඔප්පු කළේය.
ආරක්ෂක ලේකම්වරයාව සිටියදී භූමි සහ නගර අලංකරණයට තමා දක්ෂයකු බව හෙතෙම සනාථ කළ ද රාජ්‍ය පාලනයේදී වෙසෙසින්ම ආර්ථික අර්බුදයක් සහ දේශපාලන අවිනිශ්චිතතාවක් පවතින විටෙකදී ප්‍රඥාසම්පන්නව රාජ්‍ය නායකයකු කටයුතු කරන්නේ කෙසේද යන කාරණයේදී සිය අසමත්භාවය ඔහු පතළ කළේය.
මහජනයා අතර ඔහු පිළිබඳව මේ ආකාරයේ කලකිරීමක් ඇති වූයේ එබැවිනි.
ශ්‍රී ලංකා ඉතිහාසය ඇතුළත රාජ්‍ය නායකයකු සම්බන්ධව මේ ආකාරයේ මහජන කලකිරීමක් ඇති වූ අවස්ථාවක් හඳුනා ගැනීම දුෂ්කරය. ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් පැන නැගි හිඟය, බලශක්ති අර්බුදය, භාණ්ඩ මිල ඉහළ යෑම ආදී තත්ත්ව මේ රාජපක්ෂ විරෝධය තීව්‍ර කිරීමට ප්‍රබල ලෙස බලපෑ බව සැබෑය. එහෙත් වත්මන් පාලන තන්ත්‍රය ගැන ඊට පෙර පවා යම් මහජන විරෝධයක් ඇති වෙමින් තිබිණි. ගත් ඇතැම් තීන්දු විශේෂයෙන්ම පොහොර සම්බන්ධයෙන් ගත් තීන්දු ආදිය ඊට හේතු විය.
දේශපාලන අවිනිශ්චිතතාවක් මතු වීමට අවශ්‍ය සියලු සාධක තිබේ. ජනමතය සංවිධානය කළ හැකි සහ දේශපාලන ක්‍රියාවලිය හැසිරවිය හැකි නිශ්චිත තනි දේශපාලන කේන්ද්‍රයක් නොමැත. ඒ වෙනුවට එක සමාන බලවත් කේන්ද්‍ර ගණනාවක් හටගෙන තිබේ. එය බහුකේන්ද්‍රීය තත්ත්වයක් ලෙස හැඳින්වීමට පුළුවන. එම තත්ත්වය දේශපාලන අවිනිශ්චිතතාවක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවකි. මෙහිදී අවධානයට ගත යුතු අනෙක් ප්‍රධානම කාරණය නම්, පවතින තීව්‍ර ආර්ථික අර්බුදයයි. වත්මන් දේශපාලන අර්බුදය පෝෂණය කිරීමේ හැකියාවක් මේ ආර්ථික අර්බුදයට ඇත. අනෙක් අතට ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග දුර්වල කිරීමේ හැකියාව දේශපාලන අර්බුදයට තිබේ. එබැවින් මේ අර්බුද ද්විත්වය අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන ස්වාභාවයක් නිරීක්ෂණය කළ හැකිය.
පවතින තත්ත්වය ඉතාම සියුම්ව සහ ප්‍රඥාවන්තව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යය. ජනතාව බල මුළු ගැන්වීම සඳහා සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය සතුව තිබූ බලය මේ වනවිට එයින් පිටතට ගමන් කර ඇත. එහෙත් තවදුරටත් පාර්ලිමේන්තු ක්‍රියාදාමය හැසිරවීමේ හැකියාව තිබෙන්නේ සාම්ප්‍රදායික දේශපාලන තන්ත්‍රය නියෝජනය කරන පිරිස්වලටය. එබැවින් මෙම පාර්ශ්ව දෙක අතර එකඟතාවක් ඇති කර ගැනීම හදිසි අවශ්‍යතාවක් වී තිබේ. ඒ, පවතින දේශපාලන අවිනිශ්චිතතාව පරෙස්සම්සහගතව කළමනාකරණය කළ හැකි තත්ත්වයකට පරිවර්තනය කිරීම වෙනුවෙනි. එවැනි එකඟතාවක් ඇති කර ගැනීම ප්‍රමාද කළහොත් ඇති විය හැකි අනිටු ඵල විපාක තිබෙන බව ද අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම පාර්ලිමේන්තු බල තුලනය නියෝජනය කරන පාර්ශ්ව අතර තිබෙන විශේෂ මානසික ස්වරූපයක් එහිදී අවධානයට ගැනීම වැදගත්ය. එනම්, මැතිවරණයකදී ජනතාව අරගලයේ නායකයන්ට නොව තමන්ට ඡන්දය දෙන බැවින් අරගලයේ නායකයන් එතරම්ම ප්‍රමාණයකින් සැලකිල්ලට නොගත යුතු බවට වන ආකල්පයයි. එහි යම් සත්‍යතාවක් ඇතත් එය ඉතා භයානක ආකල්පයකි.
දේශපාලනය යනුවෙන් අදහස් වන්නේ මැතිවරණ පමණක්ම නොවන බව සාම්ප්‍රදායික දේශපාලනය නියෝජනය කරන බොහෝ දෙනා නොදනිති. මහජන නැගිටීමක් හටගෙන ඇති අවස්ථාවක, ඍජු මහජන දේශපාලන ක්‍රියාකාරීත්වය ඉතාමත් ඉහළ මට්ටමක පැවතීම ස්වාභාවිකය. එම ඍජු ජනතා දේශපාලන ක්‍රියාකාරීත්වය හැසිරවිය හැකි බලවේග මෙම පරිවර්තන ක්‍රියාවලියට දායක කරගත යුත්තේ එබැවිනි. එය කිරීමට නම්, මා කලින් කියා සිටි පරිදි මේ පාර්ශ්ව දෙක අතර කඩිනමින් සාකච්ඡාවක් ආරම්භ විය යුතුය. එවැනි සාකච්ඡාවකදී මුලින්ම මේ තත්ත්වය අවබෝධ කරගත යුතුය. පවතින තත්ත්වය හමුවේ දේශපාලන බල කඳවුරු අතර බලය අරබයා පවතින අනවරථ තරගය නතර කර ස්ථාවරත්වය ඇති කර ගැනීම එවැනි සාකච්ඡාවක මූලිකම අරමුණ විය යුතු බව මගේ ස්ථාවරයයි.
උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ධුරවලින් ඉවත් විය යුතු බවට තීරණය කර තිබේ. ඔවුන් දෙදෙනා ඉවත් විය යුතුය යන්න ගැන සැකයක් නැත. ඕනෑම අරගලයක ආසන්න ඉල්ලීම් තිබේ. ඒ අතින් ගත් විට, ජනාධිපතිවරයා ඉවත් විය යුතුය යන්න පිළිගත හැකිය.
මෙවැනි අරගලයක් අවසන් කිරීමේදී වැදගත් වන කාරණයක් නම්, අරගලයේ අභිලාෂ සාමූහිකව නියෝජනය වන ආකාරයේ අන්තර්වාර ක්‍රමයක් බිහි කර ගැනීමය. මේ අවස්ථාවේ ඇති කර ගත යුතු අන්තර්කාලීන ආණ්ඩුවේ සංයුතිය කෙසේ විය යුතුද යන්න වැදගත් ප්‍රශ්නයකි.
දැන් තිබෙන දේශපාලන තත්ත්වය බිඳී විසිරී ගිය ස්වාභාවයේ එකකි. සාමාන්‍යයෙන් මෙවැනි දේශපාලන පරිවර්තන මින් පෙර ඇති වූ අවස්ථාවලදී දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වූයේ, එක් දේශපාලන නායකත්වයක් සහිත කඳවුරක් ස්ථාවරව පැවතීමය. එහෙත් මේ වනවිට එවැනි දෙයක් පෙනෙන්නට නොමැත. සාමාන්‍ය මැතිවරණවලදී විශාල වශයෙන් ජනතා ඡන්ද නොලබන දේශපාලන ව්‍යාපාරවලට වුව මේ අරගලය ඇතුළත විශාල වැදගත්කමක් හිමිව තිබේ. එය විශේෂ ලක්ෂණයකි. එමගින් ඇති විය හැකි ප්‍රතිවිපාක ද වැදගත්ය.
එක් අයකුට හෝ කිහිප දෙනකුට පමණක් උද්ගතව තිබෙන මේ සංකීර්ණ තත්ත්වය කළමනාකරණය කළ නොහැකිය. ඒ අරබයා පැහැදිලිවම සාමූහික නායකත්වයක් අවැසිය. එම නායකත්වය පාර්ලිමේන්තුවේ බලතුලනය හා සමපාත වන්නක්ම නොවිය යුතුය. ඒ, ව්‍යවස්ථාදායකයේ බලතුලනය සහ මහජන අරගලයේ ගතිකයන් අතර පරස්පරතා තිබෙන නිසාය. මේ ජනතා නැගිටීම ඇතුළත ප්‍රකාශයට පත් වූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 බැහැර කළ යුතුය යන සටන් පාඨය පහසුවෙන් අවතක්සේරු කළ හැකි එකක් නොවේ. යහපත් යැයි සැලකිය හැකි මහජන නියෝජිතයන් සිටියද පොදුවේ පාර්ලිමේන්තුව පිළිබඳව මහජන කලකිරීමක් තිබේ. එබැවින් රටේ දැන් මතුව ඇති තත්ත්වය දේශපාලන ස්ථාවරත්වයක් කරා පරිවර්තනය කිරීමේදී පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන බල ගනුදෙනුවක් මගින් එය කළ නොහැකි බව මගේ විශ්වාසයයි.
අරගල භූමිය සහ ව්‍යවස්ථාදායකය අතර යම් ආකාරයක පාලමක් නිර්මාණය වන ක්‍රමයක් සුදුසුය යන්න මගේ යෝජනාවයි. මහජන අරගලයෙන් මතුව ඇති නායකකාරකාදීන් ද මෙහිදී ඉතා වැදගත්ය. ඔවුන්ගේ කාර්යභාරය අමතක නොකළ යුතුය. මැයි 9 වැනිදායින් පසු මේ මහජන අරගලයේ ජන සහභාගීත්වයෙහි යම් පහළ යෑමක් පෙන්නුම් කළද ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව රැඳී සිටිමින් අරගලය පවත්වා ගෙන ගිය පිරිසක් සිටියහ. මේ සියලු දෙනාගේ භූමිකාව අමතක කළ නොහැකි බව පාර්ලිමේන්තුවේ සිටින අය තේරුම් ගත යුතුය.
එසේම මහජන අරගලයෙන් මතු වූ නායකයන්ට ද වත්මන් පාර්ලිමේන්තුවේ බලතුලනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැත. ඒ, මැතිවරණයක් පැවැත්වුව හොත් එහි කේන්ද්‍රීය භූමිකා රඟ දක්වන්නේ දේශපාලන පක්ෂ වන බැවිනි. එබැවින් මේ දෙපාර්ශ්වය අතර ඉක්මනින්ම සාකච්ඡාවක් ඇති විය යුතුය. එසේ නොවුණහොත් දැන් තිබෙන තත්ත්වය යහපත් ආකාරයට පරිවර්තනය කර ගැනීම ගැටලුකාරී වනු ඇත. මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍යය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෙතෙක් නිල වශයෙන් ඉවත් වී නොතිබුණ ද (ජනාධිපතිවරයා මේ මස 13 වැනි දින ධුරයෙන් ඉවත් වන බව කතානායකවරයා දැනුම් දී තිබේ.) මගේ තක්සේරුව අනුව එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. බලයේ තවදුරටත් රැඳී සිටීම ඔවුන්ට පහසු නැති හෙයිනි. සැබෑ අභියෝගය තිබෙන්නේ එම දෙදෙනා ඉවත් වූ පසුය. ඉවත් වීමෙන් පසු ඇති වන තත්ත්වය කළමනාකරණය කිරීම අතිශය සංකීර්ණ කර්තව්‍යයක් බවට පත්වනු ඇත. එය ප්‍රඥාසම්පන්නව කළ යුතු දෙයකි.
මෙහි ඇති කනගාටුදායක තත්ත්වය නම්, ඩීල් සිදුවීමට ඇති ඉඩ ප්‍රස්ථා වැඩි වීමය. මම මීට ඉහතදී ද මේ ගැන පැහැදිලි කිරීම් සිදු කළෙමි. විවිධ තැන්වල ඩීල් දැමීම් සිදු විය හැකිය. විශේෂයෙන්ම මේ තත්ත්වය සමනය වූ පසු තමන්ගේ පැවැත්ම රැක ගැනීම වෙනුවෙන් දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ පිරිස් අතර එවැනි ඩීල් ඇති වීමට වැඩි ඉඩකඩක් තිබේ. උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ ඔවුන්ගේ භූමිකා රැක ගැනීම අරබයා පැවති තත්ත්වයට යළි යෑමට ඔවුහු උත්සාහ දරති. මෙම තත්ත්වය නිවැරැදිව කළමනාකරණය නොකළහොත් සිදු වන්නේ පරණ පිරිස් යළි බලයට පැමිණීමය.
අරගලයෙහි උද්ඝෝෂණ අවධිය දැන් අවසන්ය. එය ආවේගාත්මක අවධියේ සිට ප්‍රඥාසම්පන්න තලයට ගමන් කිරීම අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායේ ඊට අදාළ සාකච්ඡාව විස්තර කර තිබෙන්නේ සංගායනීය ප්‍රජාතන්ත්‍රවාදය යන යෙදුමෙනි. එම සාකච්ඡාව සිදු කරන්නේ කෙසේද යන අභියෝගය සමාජය හමුවේ තිබේ. තත්‍ය අරගලය ආරම්භ වන්නේ දැන් බව මගේ අදහසයි.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)