ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ, ඉහළ යන බඩු මිල, විශ්‍රාම වැටුප් කප්පාදුව, රාජ්‍ය සේවකයන් දොට්ට දැමීම, මැතිවරණයට මුහුණ දෙන ලකුණ, ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර ගැටුම්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.
ප්‍රශ්නය:- පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ මාස තුනක් ගතවන විටම ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පටන් අරන් නේද?
පිළිතුර:- සමහරු හැමදාම උද්ඝෝෂණ කරනවා. පුරුද්දට වගෙත් උද්ඝෝෂණ කරන අය ඉන්නවා. තවත් සමහරු උද්ඝෝෂණය කරන්නේ වතුර පහර, බැටන් පහර, කඳුළු ගෑස් කන්න සහ ඒවායෙන් වෙනත් අභිමතාර්ථ ඉටුකරගන්නයි. අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වාම පරණ ආණ්ඩුවේ දේවල් කතා කර කර ඉඳල වැඩක් නැහැ. හැබැයි පරණ ආණ්ඩුවේ පවුවලට කරගහන්න වෙනවා.
අපි අරන් තිබෙන්නේ මුදල් අතින් අන්තිම බංකොලොත් ආණ්ඩුවක්. ඒ නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ පාන්න සිදුව තිබෙනවා. තවත් පැත්තකින් අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ. අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාවත් මේ නිසා නැහැ. ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒක තමයි යථාර්ථය. මම කවදාවත් බොරු කියා දේශපාලනය කරන්නේ නැහැ. මම මේ කථාකරන්නේ ඇත්ත. පසුගිය ආණ්ඩුව වාහන ගන්න ඇමැතිවරුන්ගේ නිල නිවාස හදන්න අනවශ්‍ය ලෙස වියදම් කර තිබෙනවා. මේවා ජනතාවගේ මුදල්. අම්ම අප්පගේ බූදල් නෙමෙයි. අම්ම අප්පගේ බූදල් වුවත් එහෙම කරන්න හොඳ නැහැ. හිතාගන්න බැරි තරමට දේශපාලනඥයන් පිරිහිලා. ජනතාව දෙසීය විසි පහටම එකට ගහන්නෙත් ඒ නිසයි. ඒකට අපිත් හසුවෙනවා. ඒ මොන වරදක් කළාටද? කොහොම වුවත් උද්ඝෝෂණ අලුත් දෙයක් නෙමෙයි. තමන් කරන්නේ මොකක්ද කියා උද්ඝෝෂණය කරන අයත් සිතන්න ඕන. එහෙම සිතන ස්වභාවයක් පේන්න නම් නැහැ.
ප්‍රශ්නය:- ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතාවට ඇති පීඩාකාරී තත්ත්වය මෙලෙස පිටවෙනවා නෙමෙයිද?
පිළිතුර:- ආණ්ඩුව පිහිටෙව්වේ මාස තුනකට නෙමෙයි. අවුරුදු පහකට. අවුරුදු පහකදී කළ යුතු වැඩ මාස තුනකින් බලාපොරොත්තු වෙනව නම් ඒක හරියට ඉපදුනු ගමන් ඇවිදින්න ඕන වගේ අපේක්ෂාවක්. කිසිම ආණ්ඩුවකට එහෙම කරන්න බැහැ. ප්‍රශ්න නැති රටක් ලැබුණ නම් ටිකක් හරි දුර යන්න තිබුණා. වරදක් තිබෙනව නම් එය පිළිගැනීම යුතුකමක්. සියල්ල එකවර බලාපොරොත්තු වෙනව නම් ඒකත් වැරැදියි.
ප්‍රශ්නය:- එහෙම කිව්වට ජනතාවට ජීවත්වීමට බරපතළ අරගලයක නිරත වීමට සිදුව තිබෙනවා. සහල්, එළවළු ඇතුළු බඩු මිල අහස උසට ගිහින් නේද?
පිළිතුර:- බඩු මිල සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. නියඟය තිබිලා එක්වරම වැස්සා. මේ නිසා එළවළු නිෂ්පාදනය අඩුවුණා. දඹුල්ල වගේ ප්‍රදේශවලදී මේ ප්‍රතිඵල අපි අත්දුටුවා. සමහර ප්‍රශ්න විසඳන්න අවශ්‍ය වුවත් අපට ඒ සඳහා කාලය ප්‍රමාණවත් වුණේ නැහැ. දැන් දැන් අලුත් අත්දැකීම් එනවා. ඒවා දෙසත් බලා වැඩ කරන්න ඕන. දැන් ගම්මිරිස්වලට හොඳ මිලක් තිබෙනවා. ගම්මිරිස් ගොවියා සිටියේ හාන්සි වෙලා. දැන් නැගිටලා දුවනවා. ඒවගේ ප්‍රතිඵලත් තිබෙනවා. සෑම දෙයක්ම එකපාර නිවැරැදි කරන්න බැහැ. හැබැයි එහෙමයි කියා නිදහසට කරුණු කියමින් ඉන්න අපි සූදානම් නැහැ. ජනතාව පීඩා විඳිනව නම් ඒකට අපි කැමැති නැහැ. කොහොම හරි යම් උපාය මාර්ග යොදා විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය:- ඔබ නියෝජනය කරන්නේ ගොවි ජනතාව. ඒත් ඒ ජනයාට වගාවට පොහොර නැති බව ප්‍රකාශ වූවා. ඒ වගේම වී මිලදී ගැනීමත් අසාර්ථක බවට චෝදනා බොහොමයි නේද?
පිළිතුර:- වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය අරඹා තිබෙනවා. මෙතැන තිබෙන්නේ ඒකාධිකාරයක්. සහල් මිල තීරණය කරන්නේ සහල් මෝල් හිමියන් හතර දෙනකුයි. ඇත්ත කථාව ඒකයි. මේවට පිළියම් යොදන්න ඕන. තවම මාස තුනයි. කරුණු කාරණා අධ්‍යයනය කරගෙන යනවා. ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පවතින අධ්‍යාපන ක්‍රමය වැරැදියි කියා අපට තේරෙන්නේ දැනුයි. දරුවන්ට වඩා විභාගවලට සූදානම් වෙන්නේ මවුපියන්. මේ ක්‍රමය වෙනස් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. වී ගොවියාගේ ප්‍රශ්න අපි දන්නවා. සහල් මිල වී මිල ආදිය ගැන අවබෝධ කරගෙන සිටිනවා. අවශ්‍ය සැලසුම් හදාගෙන යනවා. අපට කාලයක් දෙන්න. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න විසඳනවා.
ප්‍රශ්නය:- ඔබලා මීට පෙරත් රට පාලනය කළා. එතකොට මේ ප්‍රශ්න දැක්කේ නැද්ද?
පිළිතුර:- ඒ කාලය වෙනයි. මේ කාලය වෙනයි. අද තිබෙන්නේ ඒ කාලයේ තිබූ ප්‍රශ්න නෙමෙයි. කාලානුරූපව වෙනස් වෙනවා.
ප්‍රශ්නය:- සහල් මාෆියාවක ස්වභාවයක් ඔබේ කතාවෙන් හැඟී ගියා. හැබැයි ඔබ කියන මෝල් හිමියන් හතරදෙනා ඉන්නේ ආණ්ඩුව සමග නේද?
පිළිතුර:- චෝදනා තිබෙනවා. එහෙම වුණාට ඔවුන් ආණ්ඩුවට සහය දෙන අය නෙමෙයි. ආණ්ඩුවට වින කටින්නේ කොයි වෙලාවෙද කියා බලාගෙන ඉන්න අයත් සිටිනවා. එක් අයකු අපත් සමග සිටියා කියා වැඩක් නැහැ. හතරදෙනාම ඉන්න ඕන. ආණ්ඩුව වෙනුවෙන් මේ කවුරුවත් ව්‍යාපාර පාඩු කරගන්න කැමැති නැහැ. ඔවුන්ට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ඔවුන්ගේ ආර්ථිකය ප්‍රමුඛයි.
ප්‍රශ්නය:- ඔබ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා. රණවිරුවන් ඇතුළු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් බරපතළ ලෙස කප්පාදු කර ඇති බවට නැගෙන චෝදනාවට දෙන පිළිතුර කුමක්ද?
පිළිතුර:- කාගෙවත් විශ්‍රාම වැටුප් කප්පාදු කර නැහැ. එහෙම කවුරු හෝ කියනව නම් ඒක බොරුවක්. ඇත්තටම රටේ මුදල් ප්‍රශ්නයක් තිබෙනවා. අයවැයක් ඉදිරිපත් කළ වහාම ඔය සියල්ල ලබාදෙනවා. පොඩි කාලයකට ඒ වර්ධක ලබාදීම නවතා තිබෙනවා. ඒක කප්පාදුවක් නෙමෙයි. ගෙදරක වුවත් මුදල් ප්‍රශ්න ආවාම යම් යම් දේ පාලනය කරනවා. මෙතන සිදුව තිබෙන්නෙත් ඒ වගේ වැඩක්. විශ්‍රාම වැටුප් කප්පාදුවක් කරන්නෙම නැහැ. රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා වශයෙන් ඒවගේ ස්ථිර වචනයක් දෙනවා.
ප්‍රශ්නය:- පසුගිය කාලයේ රාජ්‍ය සේවයට බඳවාගත් අය දොට්ට දැමීමට විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ දීමනා අත්හිටුවීමට ආණ්ඩුව පියවර අරන්. බහුතර රාජ්‍ය සේවකයන් ආණ්ඩුවට සහයදී තිබියදී සලකන්නේ මෙහෙමද?
පිළිතුර:- වාතයට බෙහෙත් දෙනවිට සෙමට හොඳ නැහැ. සෙමට දෙන විට පිතට හොඳ නැති තත්ත්වයක් තිබෙනවා. සමහර අයට දුන්නාම සමහර අය විරුද්ධයි. මහ මැතිවරණයෙන් බහුතරය ලබාගෙන අයවැය ඉදිරිපත් කර මේ ප්‍රශ්න විසඳන්නයි බලන්නේ. විදේශ රටවල් කීපයකුත් අපට උදව් කරන්න සූදානමින් සිටිනවා.
ප්‍රශ්නය:- අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට උපාධිධාරීන් පනස් දහසකට රැකියා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රටේ මුදල් ප්‍රශ්න තිබේ නම් මේවා කරන්නේ කොහොමද?
පිළිතුර:- තිබෙන මුදල්වලින් ඒ කටයුතු කරනවා. නැති බැරි අයට රැකියා දීම වැරැදිද? තුන්වේල කන්න නැති අය සිටිනවා. දරුවන් පාසල් යවන්න බැරි පවුල් සිටිනවා. සමහර දරුවන් අධ්‍යාපනය අතරමඟ නවතා තිබෙන්නේ පොත්පත්, නිල ඇඳුම් ගන්න බැරි නිසයි. එහෙම පවුලක අයකුට රැකියාවක් දීම වැරැදිද? අද සමෘද්ධි පවුලකට ලැබෙන්නේ කීයද? ඒ නිසා අඩු ආදායම් ලාභීන්ට රැකියා දීම කොහොම හරි කරන්න ඕන. උපාධිධාරීන් වැඩිපුර ඉන්නේ මහ පාරේ. ඒඅයට රැකියා දීම වැරැද්දක්ද? මේ අපේම දරුවො. මේ අය සැපවත් කෙරුවාම වෙන්නේ මොකක්ද? අපි ඉන්නේ එතැන.
ප්‍රශ්නය:- එහෙම කියන ඔබලා තවත් පිරිසක් රැකියා වලින් දොට්ට දැමීම හරිද? සාධාරණත්වය මොකද්ද?
පිළිතුර:- එහෙම කවුරුවත් රැකියා වලින් එළියට දාන්නේ නැහැ. මෝඩකමට ලිස්ට් එකට බඳවා ගත් අය සිටිනවා. මේ අය බඳවා ගත්තේ කවුද කියලවත් දන්නේ නැහැ. එහෙම ඒවා නිවැරදි කරන්න ඕන. සුදුසුකම් අනුව මේ අයට සාධාරණත්වය ඉටු කරනවා. හීනෙන්වත් අසාධාරණයක් කරන්නේ නැහැ.
ප්‍රශ්නය:- රටේ පවතින අර්බුද සහ ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩු වේවි කියන බිය නිසා මහ මැතිවරණය කලින් පැවැත්වීමට සූදානම් වීමක් ගැන කියැවෙනවා නේද?
පිළිතුර:- නියමිත දිනයට කලින් මහ මැතිවරණය පවත්වන්න විපක්ෂයේ සහයෝගය අවශ්‍යයි. එහෙම තිබියදී විපක්ෂය විවිධ චෝදනා නැගීම අසාධාරණයි. කවද මහ මැතිවරණය පැවැත්වුවත් අපි අනිවාර්යයෙන් ජය ගන්නවා. නැවත යහපාලන කණ්ඩායමට ඡන්දය දෙන්න තරම් ජනතාව මෝඩ නැහැ. වසර හතර හමාරක් ඒ අය කළේ මොනවද? කිසිම දෙයක් කළේ නැහැ. හැබැයි ජනතාව සූරා කෑවා. මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත් අරන් තිබුණේ ඇමැතිවරු. ඒවායෙනුත් හොරකම් කරලා. මේවා ජනතාව දන්නවා. අපේ ජනාධිපතිතුමාට එතුමාගේ සරළකමට ජනතාව කැමැතියි. රටේ සැබෑ වෙනසක් කරගෙන යනවා. අපි දිවා රෑ නොබලා වැඩ කරනවා. අපේ යුතුකම අපි ඉටු කරනවා. අපි මෙතැනට ගෙන ආපු ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. මෙහෙම වැඩ කළා කියා අපට අමුතුවෙන් ලැබෙන දෙයක් නැහැ.
ප්‍රශ්නය:- මහ මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් ගැනීමට ආණ්ඩුව බලා සිටිනවා. ඒක යථාර්ථයක් වේවිද?
පිළිතුර:- අනිවාර්යයෙන් සියයට සියයක් ඒක වෙනවා. මම සාමාන්‍යයෙන් සාස්තර කියන්න දක්ෂයි. ඒ නිසා අපිට තුනෙන් දෙකේ බලයක් ලැබෙන බව පැහැදිලිව කියන්න පුළුවන්.
ප්‍රශ්නය:- ඔබලා එහෙම කිව්වට එ.ජා.ප. ප්‍රමුඛව ගොඩ නඟන පුළුල් සන්ධානය 113 ඉක්මවා යන බලයක් ගන්න බව කියනවා නේද?
පිළිතුර:- ඕවා විහිළු කතා. එහෙම දිනන්න බැරි බව එ.ජා.ප.යේ. අයම අප සමග කියනවා. මොනව හෝ කියන්න ඕන නිසා ජනතාව නොමඟ යවන්න විවිධ කතා කියමින් ඒ අය සිටිනවා.
ප්‍රශ්නය:- පොදුජන පෙරමුණත් ශ්‍රී.ල.නි.ප.යත් සන්ධානයක් වශයෙන් මැතිවරණයට යන බව කිවුවත් දැන් දෙපාර්ශ්වයේ මත ගැටුම් නේද?
පිළිතුර:- පක්ෂ දෙකක් වුණාම මත ගැටුම් ස්වාභාවිකයි. බිරිඳයි ස්වාමි පුරුෂයයි අතරත් ගැටුම් ඇති වෙනවා. ඒ වුණත් එකට සිටිනවා. මම ශ්‍රී.ල.නි.ප. ආරම්භක සාමාජිකයෙකුගේ පුතෙක්. මගේ සංවිධායක ධුරය නැති කළා. මගේ පියා ශ්‍රී.ල.නි.ප.යට විශාල සේවාවක් කළා. මම ඒ පක්ෂයෙන් මන්ත්‍රීවරයෙකු ඇමැතිවරයෙකු වුණා. ඒත් මගේ සංවිධායක ධුරය නැති කළා. ඒකට වග කියන්න ඕන හිටපු ජනාධිපතිතුමා. දැන් ශ්‍රී.ල.නි.ප.යක් තිබෙනවාද? ඉන්නේ මන්ත්‍රීවරු කී දෙනාද? ඒනිසා සම අයිතිවාසිකම් ඉල්ලීම වැරැදියි. අපි ඉල්ලන්න ඕන පොහොට්ටුවෙන්මයි. මම ඉන්නේ ඒ ස්ථාවරයේ. ජනතාව ඉන්නෙත් ඒ ස්ථාවරයෙමයි.
ප්‍රශ්නය:- එතකොට ජනාධිපතිවරණයේදී ඇති කර ගත් එකඟතා අවබෝධතා ගිවිසුම් වලට වෙන්නේ මොකක්ද?
පිළිතුර:- ඒවත් එහෙම තියෙයි. ඉස්සරහටත් ඒ විධියටම යයි. මොකද අපි කසාදයක් බැඳලා වගේ නැහැනේ. කතාවක් තිබෙනවා. එච්චරයි. අපි ඒ අයට විරුද්ධ නැහැ. ඒ අය කළාට අපි ඒ අයව පස්සට පයින් ගහලා එලවන්නේ නැහැ. අපේ මනුස්සකම අපි ළඟ තිබෙනවා. කරන්න ඕන දේ ජනතාව කරාවි.
ප්‍රශ්නය:- ලකුණ මොකක් වුවත් දෙගොල්ල සන්ධාන ගත වෙනවා නම් නාම යෝජනා වලින් සියයට 30 ක් ශ්‍රී.ල.නි.ප.යට දෙන්න සූදානම්ද?
පිළිතුර:- එහෙම දෙන්නම බැහැ. එහෙම දෙන්න ඕන කියන ස්ථාවරයක අපි නැහැ. තරග කරන්න තරම් අය ඒ අයට ඉන්නවාද? ඒ අය පොඩි ටියුන් එකක් ගන්න බලනවා.
ප්‍රශ්නය:- මහ බැංකු වෝහාරික විගණනය හරහා මෙන්ම එයාර් බස් ගනුදෙනුවෙනුත් ඔබලාගේ ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල වෙනවා. මෙවන් පසුබිමක ආණ්ඩුවේ අපේක්ෂා ඉටුවේවිද?
පිළිතුර:- ආණ්ඩුවට චෝදනා තිබෙනවා නම් ඒවා විභාග කර කුමන තරාතිරමක අය වැරැදිකරු වූවොත් දඬුවම් දෙන්නම ඕන. අම්ම මුත්ත වුවත් වැරැදි කරලා නම් ඒකට නිසි දඬුවම දිය යුතුයි. අපි සියලු දෙනා ඉන්නේ ඒ ස්ථාවරයෙයි. මොන ආණ්ඩුව යටතේ බැඳුම්කර වංචා සිදුව තිබුණත් ඒ සියලු හොරුන්ට දඬුවම් දෙනවා. අපි කියපු දේවල් වෙනවා. අපට පොඩි කාලයක් දෙන්න.
ප්‍රශ්නය:- රටේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ගොඩනැගූ 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුව කතා කරනවා. මේ කරන්නේ රටේ ප්‍රජානන්ත්‍රවාදී රාමුව විනාශ කිරීමක් නොවේද?
පිළිතුර:- ඕනෑම සංශෝධනයක අඩුපාඩු තිබෙනවා. 19 වැනි සංශෝධනය ගෙනාවෙම හිටපු ජනාධිපතිගේ වුවමනාවටනේ. දැන් එයා තමයි මේකට වැඩියෙන්ම විරුද්ධ. කලින් කැමැති දෙයකට පසුව අකමැති වෙන්න පුළුවන්. ඒක මිනිස් අයිතිවාසිකමක්. 19 වැනි සංශෝධනය ගැන අපි නම් තවම තීරණාත්මක සාකච්ඡාවකට පැමිණ නැහැ. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කර අපි තීරණයකට එනවා. ඒකට පොඩි කාලයක් අපට දෙන්න.
ප්‍රශ්නය:- ගෝඨා ජනපති - සජිත් අගමැති යනුවෙන් කතා ඇසෙන්නට පටන් අරන්. මේවා නිකම්ම කියැවේවිද?
පිළිතුර:- ඒකට නම් කියන්න වෙන්නේ “සභාවේ සිනා” කියලයි. ඔය වගේ මෝඩ කතා කියන්නේ පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න සිතාගෙන. ගෝඨා නැතුව මේ අයට ඒකත් බැරි බව මේ කතාවෙන්ම තේරෙනවා. සජිත්ට බැරි බව මේ කතා හරහා ඒ අයම සමාජ ගත කරනවා. ගෝඨා නැතුව බැරි සජිත් විපක්ෂ නායක වුණේ කොහොමද කියලයි අපට අහන්න වෙන්නේ. දේශපාලනය දන්න අය මේ කතා වලට හිනා වෙනවා.
සාකච්ඡා කළේ
චමින්ද මුණසිංහ