ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාව සඳහා ණය මුදලක් අනුමත වීමට මාස කිහිපයක් ගත වෙයි. ඒ නිසි අධ්‍යයනයකින් තොරව එම අරමුදල සාමාජික රාජ්‍යයකට ණය නොදෙන නිසාය. ඊට අමතරව ණය ස්ථායීකරණය සහ සාර්ව ආර්ථික ස්ථායීකරණය සඳහා වන වැඩපිළිවෙළක් අවශ්‍ය බව යෝජනා කර ඇති හෙයිනි. එහි ගිවිසුමක් ප්‍රකාරව ණය අයැදුම් කරන රාජ්‍යය හා මුල්‍ය අරමුදල පොදු එකඟතාවකට පැමිණීමෙන් පසු කළ යුතු කාර්යයන් තිබේ. ලංකාව ණය ගෙවීමේ හැකියාව ඉහළ නංවා ගැනීමට නම් අවශ්‍යයෙන්ම කළ යුතු එක් දෙයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. එය අසීරු කටයුත්තක් බව පෙනෙන්නට තිබේ. අපට පළමුව ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වන්නේ ලබා ගෙන තිබෙන ද්වීපාර්ශවීය ණයයි. ලංකාවේ ද්වීපාර්ශවීය ණය හිමියන් අතර චීනය ඉහළින්ම සිටින රටකි. චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟ වන්නේ ද යන්න ප්‍රශ්න සහගතය. චීනය එවැන්නකට එකඟ නොවුණහොත් ඊට පහළින් සිටින සෙසු ණය හිමි රාජ්‍ය ඒ අරබයා එකඟ වනු ඇත්තේ කවර පදනමකින් ද යන්න ගැටලුවකි.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මීළඟට අවධානය යොමු කළ හැකිය. ලංකාව වැනි රටක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මුදල් ආයෝජනය කරන්නේ ඉහළ අවදානමක් ඇතුවය. අවදානම ඉහළ වුවද ආයෝජකයෝ වැඩි ලාභයක් අපේක්ෂා කරති. එපරිදි මෙරටේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල වැඩි ලාභ අපේක්ෂාවෙන් සිය මුදල් ආයෝජනය කළ ආයෝජකයන් එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාව පළ කරනු ඇත් ද යන්න අපැහැදිලිය. මෙවැනි ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු ඉදිරියට ගෙන යෑමට සිදුව තිබේ. එය ණය හිමි පාර්ශව ණය ගත් පාර්ශවය සහ ඇතැම් විට අතරමැදි පාර්ශව ද එක්වීමෙන් සිදු වන කර්තව්‍යයක් වන බැවින් අපට ඒකපාර්ශවීය වශයෙන් ඒ සම්බන්ධයෙන් නිගමනයකට පැමිණිය නොහැකිය.
දැනට ප්‍රකාශ වන පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාව සඳහා ණය මුදලක් අනුමත කළහොත් එය උපරිම වශයෙන් ඩොලර් බිලියන 3 ක් හෝ 3 ත් 4 ත් අතර ගණනක් විය හැකි බව වාර්තා වෙයි. මෙරටේ වාර්ෂික ආනයන වියදම් හා වෙනත් වියදම් සමග සසඳන විට එලෙස ලැබිය හැකි මුදලක් වුව මේ අර්බුදයෙන් තාවකාලිකව ගොඩ ඒම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. විදේශ ණය පියවීම අත්හිටුවීමේ තීන්දුව ගැනීමට පෙර ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 6 ක පමණ මුදලක් ණය හා පොලී වාරික වශයෙන් ගෙවිය යුතුව තිබිණි. ඊට අමතරව අපේ සංචාරක ආදායම් ද පහත වැටිණි. විදේශ සංක්‍රාම ද අඩු විය. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී අපට අමතරව ඩොලර් බිලියන 7 ත් 8 ත් අතර මුදල් ගණනක් වාර්ෂිකව අවශ්‍යය. ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසා යම් අස්වැසිල්ලක් ලැබුණ ද අපට අඛණ්ඩව ණය නොගෙවා සිටිය හැකි යැයි එයින් අදහස් නොවේ. මේ සන්දර්භයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් යම් මුදලක් අනුමත වුවහොත් දැනට තිබෙන අර්බුදයෙන් ප්‍රකාශ වන ප්‍රශ්න තාවකාලිකව සමනය කරගැනීමට අවස්ථාව උදා වෙයි. එහෙත් එයින් ලංකාවේ අර්බුදයට තිරසාර විසඳුමක් ලැබෙන්නේ නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවට මෙපිටින් ලංකාව විසින් සිදු කරනු ලැබිය යුතු ගනුදෙනු කිහිපයක් ඇත. ඉන්දියාවේ මැදිහත්වීමෙන් රටට ලැබෙන ක්‍රෙඩිට් ණය පහසුකම් එකකි. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු පවත්වා ගෙන යෑම තවත් එකකි. ශ්‍රී ලංකාව මේ වන විට එහි විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබේ. එහෙත් අවස්ථාවේ හැටියට යම් යම් ප්‍රතිකර්ම යොදමින් සිටින බවක් දැකිය හැකිය. එහෙත් ඒවා එතරම් හොඳ ඒවා නොවේ. ඉදිරි මාස කිහිපය ඇතුළත ධනාත්මක කිසිවක් සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකිය.
ඉන්ධන, ගෑස්, ආහාර, ඖෂධ ආදියෙහි පවතින හිඟය ඉදිරියේ දී තවත් උග්‍ර වනු ඇත. ඒ ප්‍රමාණවත් ඩොලර් ඉපැයීමක් සිදු නොවන නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය ආනයන ගෙන්වීම තවත් දුෂ්කර වනු ඇත. එසේම දැනට ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කරන සාකච්ඡාවල දී අප ඉදිරියේ දී යන ගමන් මාර්ගය ඔවුන් ද අනුමත කරන ගමන් මාර්ගයම බව ඒත්තු ගැන්වීමට සිදු වේ. එම ගමන් මාර්ගය නම් රජයේ අයවැය ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට අදාළ වැඩපිළිවෙළයි. ආදායම් වැඩි කර ගැනීම, වියදම් අඩු කිරීම සහ නාස්තිකාර වියදම් අහෝසි කිරීමට අදාළව ගන්නා ක්‍රියාමාර්ග එම වැඩපිළිවෙළින් ප්‍රකාශිත විය යුතුය. එවැනි ක්‍රියාමාර්ග සඳහා යොමු වන විට අප දැනට මුහුණ දෙමින් සිටින ප්‍රශ්න තවත් බරපතළ විය හැකිය. අප කාලයක් තිස්සේ ආදායම් ප්‍රමාණය ඉක්මවමින් වියදම් කර තිබෙන නිසාය. මෙහි “අප” යන්නෙන් මා අදහස් කරන්නේ පොදු ජනතාව පමණක්ම නොවේ. ආණ්ඩු, දේශපාලනඥයන් එයින් ප්‍රධාන වශයෙන් ඇඟ වේ. මේ අර්බුදයට ක්ෂණික විසඳුමක් සෙවිය නොහැකිය. අර්බුදය මගහරවා ගැනීමට නම් අප කැපකිරීම් කළ යුතුය.
ලංකාවේ බදු ආදායම් පුනරාවර්තන වියදම් ආවරණය කිරීමටවත් ප්‍රමාණවත් නොවේ. බදුවලින් වැඩි ප්‍රමාණය වක්‍ර බදුය. ණය හා පොලී වාරික ගෙවීමට ද ආණ්ඩුවේ වාර්ෂික ආදායම ප්‍රමාණවත් වන්නේ නැත. ලංකාවේ තිබෙන්නේ රට ඉදිරියට ගෙන යා නොහැකි බදු ක්‍රමයක් බව පැහැදිලිය. එබැවින් බදු සංශෝධනයක් කිරීම අත්‍යවශ්‍යය. එහිදී සෘජු බදු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වේ. ඒ සෘජු බදු ගෙවන ප්‍රමාණය අඩු නිසාය. සෘජු බදු වැඩි කිරීම තවදුරටත් පමා නොකළ යුතුය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ද ඒ ගැන සාකච්ඡා වුවද එය සිදු වූයේ නැත.
ලංකාවේ ආර්ථිකයෙහි තිබෙන මූලික ප්‍රශ්නය වන්නේ විදේශ විනිමය ඉපැයීම් ප්‍රමාණවත් නොවීමය. එම ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ගවලට යොමුවීම දිගින් දිගටම කල් දැමීමය. වංචා දූෂණ නාස්තිකාර වියදම් සහ අයවැය හිඟය පිළිබඳ ප්‍රශ්න ද්විතීයික ඒවාය. අප බදු ක්‍රමය ප්‍රතිසංවිධානය කළ ද වංචා දූෂණවලින් තොර ධර්මිෂ්ට සමාජ ක්‍රමයක් බිහි කරගත්ත ද විදේශ විනිමය ඉපැයීම් වර්ධනය නොකර ගන්නේ නම් ඒවා සියල්ල නිෂ්ප්‍රයෝජන වනු ඇත. එබැවින් අපගේ මුඛ්‍ය අවධානය යොමු විය යුත්තේ විදේශ විනිමය ඉපැයීම් වැඩිකර ගැනීම සඳහාය. විදේශ විනිමය වර්ධනය වන්නේ අපනයන ඉහළ යෑමෙනි. අපනයන වැඩි වීමට නම් ආයෝජන වැඩි විය යුතුය. අපනයන සහ ආයෝජන වැඩි නොවන්නේ මන්ද යන කාරණය කෙරෙහි දැඩි අවධානය යොමු විය යුතුය.
මහ බැංකුව සතු විදේශ සංචිත මේ වන විට ඩොලර් බිලියන 1.7 ක් තරම් ඉතාම අඩු අගයක පවතියි. එයින් ද භාවිත කළ හැකි ඩොලර් පවතින්නේ ඩොලර් මිලියන 400 ක් පමණක් බව ද සඳහන්ය. මේ සන්දර්භයේ රටට අවැසි ආනයන කිරීමේ බරපතළ නොහැකියාවක් උද්ගතව තිබේ. ගත වූ වසර දෙක මුළුල්ලේ අත්‍යවශ්‍ය ආනයන පවා සීමා කෙරිණි. එක් එක් රටවලින් ගත් හුවමාරු ණයවලින් ආර්ථික කටයුතු පවත්වා ගෙන ගියේය. අප තවමත් කරමින් සිටින්නේ එයයි. කාලයක් නිහඬව සිටි ඉන්දියාව අප අමාරුවේ වැටුණු අවස්ථාවේ උනන්දුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වී සිටියි. ඉන්දියාව මේ අවස්ථාවේ අපට උපකාර කරන්නේ යහපත් චේතනාවෙන් වුවත් නැතත් ඉන්දීය ණය ආධාර හරහා පමණක් අපට මේ අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකිය. එක් එක් රාජ්‍යවලින් අතමාරු ණය ගනිමින් ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ තත්ත්වයක තවත් ලංකාව නැත. විදේශ සංචිත ඉහළ යන්නේ ණයට ගත් මුදල්වලින් නොව රටේ අපනයන ආදායම් වැඩී වීම මගිනි.
ලංකාවේ උද්ධමන තත්ත්වය ද දිනෙන් දින ඉහළ යමින් තිබේ. එක් දිනක් ඇතුළත භාණ්ඩවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය රටවල් තිබේ. ලෙබනනය හා වෙනිසියුලාව ඊට දැක්විය හැකි නිදසුන්ය. එම රටවල උද්ධමනය සියයට දහස, දස දහස මතු නොව ලක්ෂයේ සීමාව ද අභිබවා ගියේය. ඇතැම් අවස්ථාවල ඒවායෙහි පවතින භාණ්ඩ පෝලිම්වලට පුරවැසියන් එකතු වන වේලාවෙහි පවතින මිල ගණන් හා ඔවුන් භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාව වන විට පවතින මිල ගණන් අතර විශාල වෙනසක් දැකිය හැකි අවස්ථා ද විය. ලංකාව දැනට අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් අපට ද සිදු වන්නේ ලෙබනනයේ හා වෙනිසියුලාවේ ඇති වූ ආකාරයේ ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමටය. වෙනිසියුලාවේ දේශීය මුදල් ඒකකයේ අගය වේගයෙන් පිරිහුණු විට එරට ආණ්ඩුව 2012 සිට 2021 දක්වා කාලයේ දී පස් වතාවක් දේශීය මුදල් නෝට්ටුවල අගය වෙනස් කළේය. ඒ එරටේ මහ බැංකුව මගින් ප්‍රකාශ කළ ඩොලරයක් සඳහා වූ අනුපාත අගයට වඩා මිලියන ගණනක ඉහළ අගයක් කළු කඩ වෙළෙඳපොළේ අනුපාත අගයෙන් ප්‍රකාශිත වූ නිසාය. අගට එකතු වෙන බිංදු ගණන කපා දමමින් දේශීය මුදලේ අගය නැවත තීන්දු කිරීම ඒ හමුවේ වෙනිසියුලානු මහ බැංකුව අනුගමනය කළ ක්‍රියාමාර්ගය විය. එය ප්‍රශ්නයට විසඳුමක් නොවීය. එහෙත් එරටෙහි උද්ධමන තත්ත්වයක් නැති බව පෙන්වීමට එයින් හැකි විය. එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ අර්බුදය විසඳීමට වෙනිසියුලාව උත්සාහ ගත්ත ද එය සාර්ථක නොවීය.
ලංකාවේ පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ ඉදිරියේ දී පොලී අනුපාත ඉහළ යනු ඇත. එමගින් උද්ධමනය අඩු වෙතැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකිය. අධිඋද්ධමනකාරී තත්ත්වයකට රට ගමන් කිරීමේ අවදානමක් තිබේ. ප්‍රශ්නය ආරම්භ වූයේ විදේශ විනිමය හිඟය පිළිබඳ අර්බුදයකින් වුවද එය මේ වන විට පුළුල් පරාසයකට විහිද තිබේ. මේ ආර්ථික අර්බුදය හේතුවෙන් දැවෙන සමාජ හා දේශපාලන අර්බුද ද උද්ගතව ඇත. ජනතාව අඛණ්ඩව වීදි බැස ආණ්ඩුවට එරෙහිව දක්වන විරෝධයෙන් ප්‍රකාශ වන්නේ පවතින සමාජ හා දේශපාලන අර්බුදවල ප්‍රබලත්වයයි. පැවතියාට වඩා බරපතළ ලෙස ලංකාව කලාපීය භූ දේශපාලන අර්බුදයකට ද දැන් මැදිව සිටියි. අප මුල දී චීනය සමග වඩාත් සමීපව කටයුතු කළ ද දැන් ඉන්දියාව වඩාත් උනන්දුවෙන් අපට උපකාර කරන බවක් පෙනේ. ලංකාවේ අර්බුදය ඉන්දියාවේ වාසියට හරවා ගැනීමේ මූලෝපායික සැලැස්මක් ඉන්දියාවට තිබෙනවා වන්නට පිළිවන. මෙනයින් පැහැදිලි වන්නේ ලංකාව බහුවිධ අර්බුදයක් කරා ගමන් ගෙන ඇති බවය.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)