අලුත් දැක්මක නව යුගයක ආරම්භය


නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත් සැප්තැම්බර් විසි එක් වැනි දා පැවැති නව වැනි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම සමග ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේය. මුල් වකවානුවේ වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් කඳවුරු දෙකක් අතර ආණ්ඩුකරණය සඳහා තරගයක් තිබිණ.

තුන්වැනි බලවේගයකට හිස ඔසවන ඉඩක් තිබුණේම නැත. රතු බලවේගය දම් පැහැයට හැරුණු අතර නිර්ධන පාක්ෂිකයන් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී සහ තද ලිබරල් අදහස් ඇති දෙකොට්ඨාසයක් මුහුවීම මෙහි විශේෂත්වයයි. එනිසා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අනුගමනය කළ පිළිවෙළ ජනතාව ප්‍රතික්ෂේප කළේය. ආර්ථික අර්බුදය සමග ඇති කරන ලද දුෂ්කරතා මෙම ප්‍රතික්ෂේපවීම තවත් දරුණු ස්වභාවයකට පත් වූ බව පෙනේ. ඡන්ද දායකයන් අතරින් බහුතරයක් ජාතික ජනබලවේගයට බලය පවරන සහ එමගින් දූෂිත පාලකයන්ට පාඩමක් උගන්වන තීරණයක පිහිටා කටයුතු කළේය.

පාර්ලිමේන්තු මැතිවරණය මෙම ප්‍රතිඵලයට අනුරූප විය හැකිය. විශාල බලයක් නොවන නමුත් ආණ්ඩුව කරගෙන යන්නට ඉඩ දෙන බව සැකයක් නැත. ධනවාදී කඳවුර නියෝජනය කරන සහ ප්‍රතිපත්ති වෙනුවට පුද්ගල චරිත අනුව පක්ෂ වශයෙන් ක්‍රියාත්මක වන අනෙක් සියලුම දේශපාලන පක්ෂවලට ස්වකීය ගමන් මග සම්බන්ධයෙන් තියුණු සමාලෝචනයකට යන්නට සිදුවනු ඇත.

 

සංදර්ශන පමණක් ප්‍රමාණවත් ද?

ජනාධිපතිවරණයෙන් පසු මහජනතාව හමුවේ තබන ලද ඇතැම් සිද්ධිවල මුහුණත සංදර්ශනාත්මකය. වැඩභාර ගැනීමේ අවස්ථාවල දී වියදම් අඩුකරන තීන්දු ජනතාව අපේක්ෂා කළේය. රජයේ වාහන භාවිතාව ගැන දක්වන ලද තත්වය අපේක්ෂා කළ එකක් නොවේ. මෙයට ඉහත බලයට පත් ආණ්ඩු පවා වාහන පෙළ ගස්සවන ලද අතර ඒවා වෙන්දේසි කර ආදායම මහා භාණ්ඩාගාරයට යවන ලද බව ද මතක් කළ යුතුය. දරුණු ආර්ථික අර්බුදයක පසුවන අවස්ථාවක රජයේ වියදම් අඩු කර මහජනතාවට ආදර්ශයක් දිය යුතුව තිබුණි. පසුගිය ආණ්ඩුවල සිටි මිලින්ද මොරගොඩ, කරු ජයසූරිය වැනි මහත්වරු ඉන්දියාවේ නිෂ්පාදිත එම්බසිඩර් වර්ගයේ වාහන භාවිත කළහ. පැවැත්මෙන් ධනවත් වූ ඔවුන්ට ඉතා සුඛෝපභෝගී වාහන තිබිණ. එහෙත් ජනතාව ඉදිරියේ මහජන මුදලින් යැපෙන්නට සූදානම් වූයේ නැත. එවැනි මහත්මා දේශපාලනයක නිරත පිරිස් පරාජය කොට බලයට පත්වීමෙන් පසු රජයේ මුදලින් ජීවත්වන දේශපාලනඥයන් ඉහළට එසැවුණු අතර අද මුහුණ පා ඇති ඉරණම රටට හොඳ පාඩමකි. දේශපාලනඥයන් පමණක් නොව ඔවුන් වටා සිටි උපදේශකයන් සහ නිලධාරීන් ද මෙයට වගකිව යුතුය.

පොහොර සහනාධාරය වැඩි කරන ලද අතර ධීවරයන්ට ද පහසුකම් සැපැයිණ. ඉන්ධන අඩු කරන්නට සැලැසුම් කර ඇති බව දක්වයි. අනෙක් අතට විදුලිය ගාස්තු අඩු කරන්නට හැකි ද යන්න සොයාබලන බව අනාවරණය වේ. බිත්තර එළවළු මිල ද අඩු වී තිබේ. අලුත් පාලනයක් බලයට පත් වූ වහාම මෙවැනි දෙය මගින් පසුගිය පාලනයේ දුබලතා වැඩිපුර හුවා දක්වන්නට වෑයම් කරන බව උපකල්පනය කළ හැකිය. මහ මැතිවරණයක් නියමිත හෙයින් ළඟා කරගත නොහැකි වූ ජන කොටස් සමීප කරගැනීමට මෙවැනි පියවර මාර්ගයෙන් උත්සාහ කරන බව පෙනේ.

පැවැති ආණ්ඩුවල නුගුණ ඉහළින් දක්වා අප්‍රසාදයට පත් කිරීම පලක් නැත. ව්‍යාපෘති ඉටු නොකර ධනය නාස්ති කිරීම ගැන තොරතුරු ප්‍රචාරය තාවකාලික තෘප්තියක් පමණකි. බලයේ සිටි ආණ්ඩුවලට කරගන්නට නොහැකි වූ බව දන්නා ජනතාව කරන බවට බලාපාරොත්තු තබා ඇති අලුත් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුවේ. දින ඉක්මනින් ගෙවී යන අතර ජනතාව අපේක්ෂා කළ කාර්යය භාරය මුහුණුවල වෙනස පමණක් නොවේ.

 

සමාන අවස්ථා සහිත සමාජ පැවැත්මක්

බලය ඇති ආණ්ඩුවේ අනුගාමිකයන්ට පමණක් අවස්ථා තිබුණි. එය පසුගිය ආණ්ඩුවල යටිපෙළ විය. රජයේ සැපයුම්, කොන්ත්‍රාත්, සේවා සියලුම දේ බලයේ සිටින දේශපාලනඥයන් ගේ අනුදැනුම අනුව තීන්දු විය. නිලධාරීන් තීරණ නොගත් අතර ප්‍රමාදය හේතු කොටගෙන ජනතාව අසරණ විය. සුළු කටයුත්තකට පවා ඇමැති, කැබිනට් මණ්ඩලය හා ජනාධිපති දක්වා අත පොවන්නට සිදුවූ අතර නොඑසේනම් යමක් සිදුවූයේ නැත. සමාජ අසමානතා ඉවසාගත නොහැකි වූ තරුණු පිරිස් මහත්සේ කළකිරුණු ස්වභාවයක පසුවිය. ඔවුහු අවස්ථා නොලැබීම හේතු කොටගෙන වෙනත් රටවලට සංක්‍රමණයවීම සඳහා උපරිම වශයෙන් උත්සාහ කළහ. පාස්පෝට් හිඟය, තානාපති කාර්යාල අසල වීසා පෝලිම සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් ලාංකිකයන්ට දෙන කෝටා සීමා කිරීම එම ප්‍රවණතාවයෙන් ඇති වූ නරක තත්වයයි. රැකියා ලබා ගැනීම, ණයක් ඇයැදුම් කිරීම, ඉඩමක් ලබාගැනීම පමණක් නොව ඉතාම දුප්පත් ජනතාවට දෙන ආධාරවලට පවා දේශපාලන පසුබිම වැදගත් සේ සැලකිණ.

ජනතාව මිල දී ගන්නා ලොතරැයියකින් ගොඩනැගෙන ජනාධිපති අරමුදලෙන් ආධාර ගැනීමේ දී අහිංසක දුප්පත් රෝගීන්ට සීමා පනවා තිබූ අතර වරප්‍රසාද ලත් පැලැන්තියේ පිරිසට ඒවායේ සහන නොවලහා සැපයු බව රහසක් නොවේ. ඡන්දයෙන් පත් වූ මැති ඇමැතිවරුන්ට කොළඹින් නිවාස සපයන ලද අතර එසේ නොහැකි වූ පසු රුපියල් ලක්ෂයක් ගෙවන පසුබිමක වැර වෑයමෙන් නිවසක් තනාගන්නට උත්සාහ කරන අයට බදු ලිපිගොනුවක් ආරම්භකර එහි අංකය සහිතව නිවාස සැලසුම අනුමත කරගන්නට සිදුවීම ද විශාල අකටයුත්තකි. සාමාන්‍ය දරුවන්ට ළඟම ඇති පාසල හොඳ වූ අතර ශිෂ්‍යත්වයකින් ජාතික පාසලක අවස්ථා ලැබුණි. එහෙත් මැති ඇමැතිවරුන්ගේ ලිපිවලට හෝ අත යටින් හුවමාරු වන ධනයට උසස් පාසල්වල දොරටු බොහෝවිට විවෘත වූ බව නොදන්නෝ නොවෙති.

මෙම අසාමාන්‍යතා තිබිය දී තමන් බලයට පත් කළ මහජන නියෝජිතයන් මුණ ගැසී කරුණු දක්වන්නට හෝ අවස්ථාවක් පොදු ජනතාවට නොතිබුණ අතර අඩුම තරමින් දුරකථන ඇමැතුමකට හෝ උත්තර ලබාගත නොහැකි විය. සියලු අසාධාරණකම්, අකටයුතුකම් විඳින අතර තොරතුරු දැන ගැනීමේ අයිතියක් ඇති බව දක්වා අණ පණත් සම්මත කිරීමෙන් පමණක් සමාජය තෘප්තිමක් කළ හැකි බව කල්පනා කරන්නට ඇත. මෙම අභ්‍යන්තරය අලුතින් බලයට පත් වූ නායකයන්ගේ දැඩි අවධානයට ලක් විය යුතුවේ. සමාන අවස්ථා සහිත සමාජයක් සමග පැතිරුණ පරිවර්තනයක් ඇති කිරීම අවශ්‍යය.

 

උත්පාදනයකින් තොර තීන්දු

ආණ්ඩු වෙනස් වූ පමණින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් පැත්තට හැරෙන්නනේ නැත. ජාතික ආදායම ප්‍රමාණවත් නොවීම රට තිබුණ මූලික ප්‍රශ්නයකි. රට තුළ නිෂ්පාදනය නොකෙරෙන දේ ආනයනය සඳහා ප්‍රමාණවත් විනිමය නොතිබීම එහි අනෙක් පැත්තය. මෙම ප්‍රධාන අංශ දෙක කෙරෙහි ප්‍රමාණාත්මක අවධානයක් අවශ්‍ය කෙරේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කරන ලද රාමුව අනුව ජාතික ආදායම වැඩි කරගැනීම සඳහා බදු පැනැවීම හැර වෙනත් යමක් හඳුන්වා දී නැත. ජීවත්වීම අපහසු බව කියන ජනතාවගෙන් තවත් බදු අය කරගෙන ආණ්ඩුවේ අයවැය පියවා ගැනීම අනුමත කළ හැකි දෙයක් නොවේ. ජනතාවට බර නොපටවන බව දක්වන ලද ආණ්ඩු ධනපතියන්ට හා සමාගම්වලට බදු බර වැඩි කර ඇත. එහෙත් එම බදු වක්‍රාකාරව ජනතාවටම ගෙවන්නට සිදුවේ.

දුරකතන සමාගම්වලට පනවන බදු හෝ සුපිරි වෙළඳසැල්වලට පනවන බදු අවසානයේ දී පාරිභෝගිකයාට උහුලන්නට සිදු වූ බව අමතක කළ යුතු නැත. කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවල ව්‍යවසායකත්වය වැඩිකර ඒවායෙන් ද ආදායමක් එන තැනට කරුණු හසුරුවා ගැනීම සුදුසුය. ලෝකයේ සෑම දියුණු රටකම මහා පරිමාණ ආයෝජන හා සමානව රට පුරා පැතිරුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ජාලයක් තිබේ. ඒවායේ කටයුතු දියුණුවන විට ආර්ථිකය ප්‍රසාරණය වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන අනුව ආර්ථිකය හකුලා, ඇතැම් භාණ්ඩ හා සේවා ජනතාවට මිල දී ගැනීමට නොහැකි කර අයවැය තුලනය කර ඇත. රට අවශ්‍ය කුඩාවීම නොව ප්‍රසාරණය බව කල්පනා නොකිරීම වරදකි. ප්‍රසාරණයේ දී අවදානමක් ඇති අතර එවැනි අභියෝග නොගෙන මෙතැනින් ඔබ්බට ගමන් කළ නොහැකිය.

අනෙක් අතට විනිමය උපයන අලුත් මාර්ග අවශ්‍යය. තේ, රබර් හෝ පොල් යන සාම්ප්‍රදායික ව්‍යුහය බිඳී ඇත. විදේශගත ශ්‍රමිකයෝ රටට වැඩිම විනිමය ප්‍රමාණයක් එවති. ඇඟලුම් අපනයනය සහ සංචාරක ව්‍යාපාරය ඉදිරියට පැමිණ ඇත. විදේශගත ලාංකිකයන් තවත් අමතර මුදලක් නීත්‍යනුකූලව එවීම නරක අදහසක් නොවේ. එහෙත් රටට අවශ්‍ය තරගකාරීව අපනයන අංශයට ඇතුළුවීමය. ලෝකයේ වැඩිම ජනගහනය සහිත රට ඉතාම ආසන්නයේ ඇත. ඉන්දියාවට අපනයනය කළ හැකි යමක් නිපදවිය යුතුය. චීනය ද ශ්‍රී ලංකාවට හිතවත් රටකි. එහි ජනගහනය ද හොඳ වෙළෙඳපොළකි. මෙම රටවල් දෙකටම මෙරට අපනයනවලින් සියයට පහක් හෝ යැවෙන්නේ නැත.

 

තාක්ෂණය හා විද්‍යාවේ වටිනාකම

අලුත් අදහස් ඇති මහා පරිමාණ ව්‍යවසායකයන්ට ඉඩ දිය යුතු ඇයි ? කර්මාන්ත හා ව්‍යාපාර නවීන තාක්ෂණයට නැඹුරු වී ඇත. අලුත් ව්‍යවසායකයෝ බලශක්ති භාවිතාව ගැන වෙනම අදහසක පසුවෙති. ඛනිජ තෙල් වෙනුවට සූර්යතාප විදුලිය නිපදවෙන මෙවලම් උපයෝගී කරගන්නා අතර කෘත්‍රිම බුද්ධිය නිෂ්පාදන කාර්යයට යොදවයි. මෙවැනි උපයෝගීතාවලින් ඒකකයක නිෂ්පාදන මිල පහත වැටේ. ශ්‍රී ලංකාවේ තේ කිලෝවක නිපැයුම් මිල අඩු කළහොත් ඉල්ලුම වැඩිවේ. බංගලාදේශයට හෝ වියට්නාමයට වඩා අඩු මිලකට ඇඟලුම් නිෂ්පාදනය කළ හොත් ගැනුම්කරුවන් මෙහි එනු ඇත. තායිලන්තය හෝ වෙනත් රටකට වඩා අඩු මිලකට එළවළු හා පලතුරු නිපදවන අතර ඒවා හොඳ ප්‍රමිතියකට ඉදිරිපත් කළහොත් ලෝක අවධානය දිනාගත හැකිවේ. මේවා කරන්නට ආණ්ඩුවට ධනය නැත. ක්‍රියාත්මකවීම සඳහා දක්ෂ නිලධාරීන් අඩුය. නිලධාරීන් හෝ ආයෝජනයට ධනය ඇතත් රට තුළ ඇති රජයේ තීරණ හා අනුමැතිය ගැනීමේ ක්‍රියාවලිය කිසිසේත් සුමට පාලනයකට ඉඩ දෙන්නේ නැත. රජයේ අලෙවිසැල් හා පෞද්ගලික අංශයේ තත්වය එයට සාක්ෂියකි. රජයේ දුරකතන සේවා හෝ රක්ෂණ ව්‍යාපාරය පවා පෞද්ගලික අංශය සමග සසඳන කල අකාර්යක්ෂමය. වරාය මෙහෙයුම් ආදියෙහි දී පවා මෙම වෙනස නිරීක්ෂණය කළ හැකිය.

ඉතාම තියුණු නියාමනයක් සහිතව තරගකාරී ආයෝජන සඳහා ඉඩදීමෙන් වෙනස් තත්ව ඇතිවේ. නිෂ්පාදන අපනයනය කළහොත් විනිමය ලැබෙන්නේ රටටය. එම විනිමය මෙරටට ගෙන්වන දේ සඳහා ඉතාම වැදගත් වන අතර දැනට නොගෙවා සිටින විදේශ ණය හා පොලිය ගෙවන්නට භාවිත කළ හැකිවේ. යල් පැන ගිය පැරැණි ආර්ථික රාමුව ගැළපෙන්නේ නැත. කොවිඩ් වසංගත තත්වයට පසු ලෝකයේ තාක්ෂණය දියුණු වී ඇති අතර නැවතත් හදිසි තත්වයක් ඇතිවුවහොත් මුහුණ දෙන ආකාරය අනුව සැපයුම් චක්‍රය පණ ගැන්වෙමින් තිබේ. අලුත් පැති පිළිබඳව අධ්‍යයනය කළ යුතු අතර ඒවායේ ඇති වාසි රටට ලබාගත යුතුවේ. එයින් අවස්ථා ලැබෙන්නේ ජනතාවට වන අතර නිර්භීත තීන්දු ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ඉතාම ප්‍රයෝජනවත් වන බව සඳහන් කළ යුතුය.

 

(*** සාරා කන්දෙගොඩ)