ආණ්ඩුවට මහ බැංකුවට වැරැදුණු තැන


අවසානයේ සැබෑ අධිපතිවරයෙක් මහ බැංකුවට ආවේය

 

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු අවධියේ කිසි කලෙක නොවූ විරූ තරමේ ආර්ථික සමාජය හා දේශපාලන වියවුලකට ඇද වැටුණු මෙම අවස්ථාවේ මහ බැංකුවේ යෂ්ඨිය අතට ගන්නට ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙරට පැමිණ සිටී. ළබැඳියාවෙන් යුතුව නන්දලාල් යනුවෙන් හඳුන්වන ඔහු මා හා එක්ව කටයුතු කළ මිතුරු සගයෙකි. ඔහු සමග මගේ තවත් පැරණි සගයකු වූ, මේ වනවිට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය හොබවන මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ රාජකාරි භාරගෙන ඇත.

මේ දෙදෙනාම ඉදිරියේ දී මූල්‍ය මණ්ඩලයේ කටයුතු කිරීමට නියමිතය. එහිදී නන්දලාල් එහි සභාපතිවරයා ලෙසත්, මහින්ද රුපියලේ ඉරණම තීරණය කරන නිල සාමාජිකයා ලෙසත් කටයුතු කරනු ඇත. තම කාර්ය බැරෑරුම් ලෙස භාරගෙන ඇති බව, පසුගියදා තම පළමු මූල්‍ය මණ්ඩල රැස්වීමේදී නන්දලාල් පෙන්නුම් කළේය. උද්ධමන අනුපාතය නිල වශයෙන් සියයට 19 කට ඉහළ ගිය බව පෙන්නුම් කළ ද, ස්වාධීන ආර්ථික විශේෂඥයන් පවසන ආකාරයට එය සියයට 70 පමණ වැඩිවී තිබේ. එම උද්ධමන වේගය දමනය කර ගැනීමටත්, ඇමරිකානු ඩොලරයේ කළුකඩය මර්දනය කරනු පිණිසත් මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය සීයට 7 ක පමණ දැවැන්ත ප්‍රතිශතයකින් වැඩි කොට සියයට 13.5 හා සීයට 14.5 බවට දැන් පත්කොට තිබේ. අනෙකුත් සියලු පොලී අනුපාතික බමන්නේ එකී ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය වටාය. මෙකී ක්‍ෂණික ප්‍රතිකර්මය සමග, මහ බැංකුවේ ප්‍රතිපත්ති තුළ වෙළඳපොළ තුළිත භාවයට පත් වෙන්නට පටන් ගනිතැයි විශ්වාස කෙරේ. එහි ප්‍රතිඵලය කෙටි කලක් තුළ දැකගත හැකිවනු ඇත.

මෙය යම් තරමක ආචාරශීලී වර්ධනයකි. එහෙත් ගැටලුවේ ඇති බැරෑරුම් තත්ත්වය නිසාම නන්දලාල් හට එක රැයෙන් ප්‍රශ්නය විසඳෙන තරමේ ප්‍රාතිහාර්යයක් සිදුවෙතැයි අපේක්‍ෂා කළ නොහැකිය. ඔහුට යම් කාලයක් දෙමින් රටේ ජනතාව ඔහුගේ කාර්යය බියකින් තොරව අපක්‍ෂපාතී ලෙස ඉටු කිරීමට සහයෝගය දිය යුතුය.

 

මූල්‍ය මණ්ඩලයට දෑත් සෝදා අප අත වරද නැතැයි කිව නොහැකිය

සාමාන්‍ය ජනතාව දන්නේ රට පුරා පැතිර ගිය ආර්ථික ව්‍යසනය ගැන පමණකි. එහෙත් මහ බැංකුව තුළ තත්ත්වය ඊට වඩා බොහෝ සෙයින් දරුණු වූයේ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය රටේ මූල්‍ය කළමනාකරණය නිසි පරිදි පවත්වා ගැනීමේ වගකීම දරන මූල්‍ය මණ්ඩලයට මෑතකදී, තම නිල පුවත් නිවේදනයෙන් දැඩි අනතුරු හැඟවීමක් කළ නිසාවෙනි. ඒ වෙත තම සාමාජිකයන් විසින් විවිධ පත්‍රිකා ඔස්සේ දෙනලද උපදේශවලට මූල්‍ය මණ්ඩලය ඇහුම්කන් නොදුන් බවට එයින් දොස් නගා තිබේ.

මූල්‍ය මණ්ඩලය මෙම ව්‍යසනය ගැන අවධියෙන් පසුවී නිසි වේලාවට එහි ගමන් මග වෙනස් කළ යුතුව තිබූ බවට බැංකුව තුළ ප්‍රවීණ ආර්ථික විශේෂඥයන් සහ අනෙකුත් තාක්ෂණික විශේෂඥයන් කල්තියා දුටු බව එයින් අදහස් වේ. එම නිසා මගේ මතය අනුව, දැනට බැංකුවේ ඉහළ තනතුරු දරන මා හා කටයුතු කළ සගයන් දැනට පවතින ව්‍යසනයට වගකිවයුත්තෝ නොවෙති. මූල්‍ය මණ්ඩලයට නායකත්වය දුන් ඩබ්ලිව්.ඩී. ලක්‍ෂමන් සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහ බැංකු අධිපතිවරුන් දෙදෙනාම මෙම දෝෂාරෝපණ භාරගත යුත්තෝය.

 

මහ බැංකුව තුළ අනතුරුදායක තතත්වය

බැංකුව තුළ ඇවිලුණු මෙකී අනතුරුදායක තත්ත්වය ගැන මහජනයා සහ රටේ දේශපාලන නායකත්වය නොදැන සිටියෝද? මහ බැංකුව පිළිබඳ කියවා ගන්නට යමක් මහ ජනතාවට නැති නිසා ඔවුන්ට මෙහිදී සමාවට කීමට කරුණු ඇත. දේශපාලන නායකත්වය මෙය දැනගන්නේ ඒ ගැන ඔවුන් දැනුවත් කළ විට පමණකි. ඔවුන් දැනුවත් කළ යුත්තේ කවුරුන් විසින්ද? මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මුදල්වල ආරක්‍ෂකයාගේ කාර්යභාරය ඉටුකරන පුද්ගලයන්ගෙන් සමන්විත මූල්‍ය මණ්ඩලය මහ බැංකුව වෙනුවෙන් දේශපාලන නායකත්වය දැනුවත් කළ යුතුය. දේශපාලන නායකත්වය ඊට කන්දෙන්නට අසමත් වේ නම්, හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දිවංගත එන්.යූ. ජයවර්ධන පැවසූ ආකාරයට, මූල්‍ය මණ්ඩලය, රාජ්‍ය නායකයන්ට කන්කෙඳිරි ගාමින්, ගෙදර යනතුරුම ඥානාන්විත උපදේශන දෙමින් කරදර කළ යුතුය.

එම නිසා දේශපාලන නායකත්වයට මෙය කී මුත් නෑසුවේ යයි කියා අත සෝදාගෙන දෝෂාරෝපණයෙන් ගැලවෙන්නට මූල්‍ය මණ්ඩලයට නොහැකිය.

 

ලක්‍ෂමන්ගේ ව්‍යසනකාරී පිළියම්

ඩබ්ලිව්.ඩී. ලක්‍ෂමන් 2019 දෙසැම්බරයේ දී මහබැංකු අධිපතිවරයා බවට පත්වන විට මහ බැංකුවේ, ඩොලර් බිලියන 7.6 ක් තරම් වටිනා සංචිතයක් තිබිණි. ඔහුගේ පළමු ඇමතුමේදී ඔහුව මෙම තනතුරට පත්කිරීම පිළිබඳව ඔහු ස්තූති කළ අය අතර, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ද සිටියේය. ඔහු එසේ කී සැනින්, ඔහුගේ පක්‍ෂපාතී බව පවතින්නේ බැංකුව වෙත හෝ එහි වැදගත්කම වෙත හෝ මූල්‍ය නීති පනත කෙරෙහි නොව වෙනත් බාහිර පාර්ශවයක් වෙත වග වෙළෙඳපොළ දැනගත්තේය. ඉන්පසු ඔහුගේ පාලනය යටතේ 2020 පෙබරවාරියේ දී මූල්‍ය මණ්ඩලය එහි ටොන් 19 ක රන් සංචිතවලින් ටොන් 13 ක් විකුණා දැමුවේය. ඒ වෙනත් රටවල මහ බැංකු රත්‍රන් මිල දී ගන්නා කාලයක් විනා විකුණා දමන කාලයක් නොවූයේය.

මෙය මා පෙන්වා දුන්විට මහ බැංකුව කියා සිටියේ එය කරන ලද්දේ බැංකුව සතු ආයෝජන යළි සකස් කිරීමක් (ප්‍රතිසමායෝග කිරීමක්) උදෙසා බවයි. එය අඩු ඉපැයුම් සහිත රත්‍රන් අඩු කොට, ඉහළ ඉපැයුම් ලබන සුරැකුම් වැඩි කිරීමේ ක්‍රමෝපායක් බව මහ බැංකුව කියා සිටියේය. අවාසනාවකට රත්‍රන් තොග අලෙවි කළ සැණෙකින් රත්‍රන් මිල ඉහළ යන්නට ගත්තේය. එම නිසා බැංකුවට එහි රන් සංචිත නැවත පුරවා ගන්නට නොහැකි වූයේය. 2021 දෙසැම්බරයේත්, 2022 මාර්තු මාසයේදීත් තවදුරටත්, රත්‍රන් තොග විකුණා දැමීමෙන් පසුව යළිත් ඉතිරි වී ඇත්තේ රත්‍රන් ටොන් භාගයක පමණ කොටසකි. ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස අවදානම් සහගත තත්ත්වයක පසුවන මේ අවස්ථාවේ එම රන් ටොන් භාගයේ වටිනාකම ඩොලර් මිලියන 29 ක් පමණි. මෙහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ස්වාධීන බැඳුම්කරවල වෙළඳ පොළ මිල ගණන් හිටි හැටියේ කඩා වැටී ඒවා කල්පිරීමේදී ගෙවන මිල ගණන් ඉහළ ගොස් ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම ශ්‍රී ලංකාවේ බැදුම්කර ණය ශ්‍රේණිවලින් පහත හෙළීමය. අලුතෙන් ණය වෙළඳ පොළෙන් මුදල් ණයට ගන්නට නොහැකි වී රටේ විදේශ සංචිත ක්ෂය වී ගොස් මේ වනවිට ඩොලර් මිලියන 200 දක්වා පහත වැටී තිබේ.

වඩාත්ම අහිතකර වර්ධනය වන්නේ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ තත්ත්වයකට වැටීමයි. ඉන් පෙනී ගියේ 2021 මැයි වනවිට රටේ විදේශ ණය ප්‍රමාණය එහි වත්කම්වලට වඩා බොහෝ සෙයින් වැඩි බවයි. එම සෘණාත්මක තත්ත්වය මාසයෙන් මාසයට තව තවත් වැඩි වූයේය. 2021 වසරේ අග වනවිට එම සෘණ අගය ඇ. ඩොලර් මිලියන 1.9 ට වැඩිවී 2022 ජනවාරි වන විට එම ඍණ අගය ඇ.ඩො. බිලියන 3.2 දක්වා වැඩිවූයේය. පෙබරවාරි අග වනවිට එය ඇ.ඩො. බිලියන ඍණ 3.6 දක්වා වැටී තිබිණි. එම නිසා මාසයෙන් මාසය රුපියල පහත වැටෙන විට ශුද්ධ විදේශ වත්කම්වල ඍණ අගය තවත් වැඩිවිය. මෙය මගහැර යා නොහැකි අනතුරුද‌ායක තත්ත්වයකි.

 

ආර්ථික අර්බුදයේ මුල් ගැඹුරට විහිදී තිබේ

දැනට පවතින ආර්ථික අර්බුදයේ මූලයන් පාරිභෝගික ආර්ථිකය පදනම් කරගත් ආර්ථික ප්‍රතිපත්තිය කරා මුල් ඇද ගත්තකි. එය 2005 පටන් අනුගමනය කරන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලනය විසිනි. මෙම ප්‍රතිපත්තියේ සාවද්‍ය භාවය මම 2012 වර්ෂයේ ජුනි මාසයේ ලියූ ලිපියක හුවා දැක්වූයෙමි.

2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව එය වෙනස් කිරීමට ප්‍රතිඥා දුන් නමුත් ඒ උදෙසා වූ අරමුණු කරා ළඟා වීමට කිසිවක් කළේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම අපනයන පහත වැටුණු බැවින් දළ දේශීය නිෂ්පාදිතයන් 2005 දී සියයට 26 ක්ව පැවති අපනයන ආදායම 2010 දී සියයට 15 බවට පත්වී 2019 දී සියයට 12 ක ප්‍රතිශතයකට වැටුණේය.

2020 වසරේ මුල් භාගයේ දී කෝවිඩ් ව්‍යසනය පැතිරයාමට ගත් බැවින් අපනයන පහත වැටුණු මුත් දළ දේශීය නිෂ්පාදිතය ද පහත වැටුණු බැවින් එම අනුපාතය 2020 දක්වාම එම වට්ටමේ පැවතුණේය. ශ්‍රී ලංකාවේ බාහිර අංශයේ අර්බුදයේ මූලය වූයේ එයයි. දේශීය ආර්ථිකයට මෙහෙයුම්වලට අවශ්‍ය පරිමාණය සම්පාදනය කරගන්නට නොහැකි වූ බැවින් ආර්ථික වර්ධනය පහළ වැටෙන්නට පටන් ගත්තේය. 2019 වන විට සියයට 2.3 කින් පහත තිබුණු වර්ධනය 2012 දී සියයට 9 වැඩි ප්‍රතිශතයකින් ඉහළ වර්ධනයක් අත්කරගෙන තිබිණි. ආර්ථිකයට වසංගතයෙන් පහර වැදීමත් සමග 2020 දී අත්කර ගත්තේ සියයට 2.6 ක ඍණාත්මක වර්ධනයකි. 2021 වන විට එය සියයට 3.7 කින් වර්ධනය වී යාම්තමින් යථා තත්ත්වයට ළං වූයේය. ඉන් පෙනී ගියේ 2020 සහ 2021 කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය ශුන්‍යයට (0- බිංදුවට) සමීප වූ බවකි.

 

නොඉල්ලූ බදු සහන පිරිනමා රජය එම වර්ධනය අඩපණ කර දැමුවේය

ගෝඨාභය රාජපක්ෂ පාලනයේ ප්‍රතිපත්ති කිහිපයක සදොස් බව නිසා අර්බුදය තව තවත් උත්සන්න වූයේය. පළමුවැන්න එම පාලනය, නොඉල්ලූ මහා බදු සහනයක් ආද‌ායම් බදු හා එකතු කළ අගය සහිත බදු ගෙවන්නන්ට පිරිනැමීමයි. එසේ කරන ලද්දේ මහජනයාගේ පැත්තෙන් ඒකරාශී වන ඉල්ලුම්පත් සහ ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් ඒකරාශි වන සැපයුමකුත් වර්ධනය වීමෙන් ආර්ථිකය උත්තේජනයට ලක් කරන ප්‍රයත්නයක් දැරීමේ මුවාවෙනි. මෙම බදු සහනය නිවේදනය කළ විට 2019 දෙසැම්බර් මාසයේ මම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අනතුරු අඟවමින් එය ශ්‍රී ලංකාව තුළ සාර්ථක නොවන බව කියා සිටියෙමි. ආර්ථිකයේ ව්‍යූහාත්මක ගැටලු නිසාත් ඒ මගින් රජයට රු. බිලියන 600 ක ඇස්තමේන්තු ගත ආද‌ායමකුත් අහිමිවන බවත් රජයට රටේ කටයුතු පවත්වා ගැනීමේ හැකියාව සීමා වෙන බවත් ඒ අනුව මම ලියා තැබුවෙමි. (මෙය ඊට අදාළ වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකිවේ)

මෙම අනතුරු හැඟවීමට ඇහුම්කන් දීමක් සිදු නොවූ අතර 2020 සහ 2021 යන දෙවසරේ රුපියල් බිලියන 1000 ක ආදායමක් රජයට අහිමි වූයේය. එය ඒ ඒ වසරවල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 පමණ ප්‍රතිශතයකට ළංවිය. රජයේ අවාසනාවට මෙම පාඩුව ඉදිරි අනාගතයේ ආදායමට ද සිදු වීමට නියමිතය. ඒ අතරවාරයේ බාහිර වියදම් වැඩිවීම හේතුකොට ගෙන රජයේ වියදම් බොහෝ සෙයින් වැඩි වූයේය. බලාපොරොත්තු නොවූ ලෙස කොවිඩ් වසංගතය වර්ධනය උදෙසා ද එම වියදම් දරන්නට සිදු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අයවැය හිඟය සියයට 11 ක ඉතිහාසගත මට්ටමකට ඉහළ ගොස් රජයේ සමස්ත මූල්‍ය අංශය කඩාවැටීමකට ලක්වූයේය. මෙම අනතරුද‌ායක තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට නතුවී එහි කාර්යමණ්ඩල වාර්තාවේ Article IV හි උපදේශනවල වාර්තාකොට තිබිණි.

එම වාර්තාවෙන් කියා තිබුණේ ශ්‍රී ලංකාව ආද‌ායම් බදු හා එකතු කළ අගය සහිත බදු ආදායම් අයවැය හිඟය සමනය කිරීම සඳහා වැඩි කළ යුතු බවයි. ඒ සමගම ගුණාත්මක නොවූ සහ චිරස්ථායි නොවූ ආද‌ායම් ඉපයීම කෙරේ විශ්වාසය තැබීමට එරෙහිව එයින් අනතුරු හඟවා තිබිණි. එයින් මතුකොට කී කාරණය වන්නේ ශ්‍රී ලංකාව 2019 ට පෙර පැවති බදු ක්‍රමයට යළි පිවිසිය යුතු බව සහ ඒ වනවිට පාර්ලිමේන්තුවෙන් අනුමත කර තිබූ තෝරාගත් අංශවලින් අධිභාර අය කිරීම් වැනි බදු ක්‍රමවලින් වැළකී සිටිය යුතු බවයි. මගේ මතයේ හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශවලින් බැහැරව යාම නන්දලාල් මගින්ද දේපළ ණය පහසුකම් ලබා ගැනීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලට තීරණාත්මක ලෙස බලපාන ගැටලුවක් වනු ඇත.

 

උමතු අයුරින් කාබනික වගාවට යොමුවීම

ශ්‍රී ලංකාවාසීන්ට විෂ රහිත ආහාර සැපයීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය එක රැයින් කාබනික වගාවට පරිවර්තනය කිරීම දෙවැනි ප්‍රතිපත්තිමය වරදයි. කාබනික වගාවට යොමු වීම සඳහා රසායනික පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කරනු ලැබුවේය. එසේ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක ප්‍රජාවගේ බුද්ධිමත් උපදෙස්වලට සහමුලින් පිටුපාමිනි. එහි ප්‍රතිඵලය වූයේ ආහාර නිෂ්පාදනය දරුණු අයුරින් සැණෙකින් පහත වැටී ගොවියා තවත් දුගී තත්ත්වයට පත්වීමය. 2021 නොවැම්බරයේ තහනම ඉවත් කළ ද ඒ වනවිට හානිය සිදුවී හමාරය. මේ වෙනවිට ශ්‍රී ලංකාවට රසායනික පොහොර පැමිණෙමින් පවතින මුත් යූරියා කි.ග්‍රෑ. 50 මල්ලක් රු. 42000 ක් තරම් දරා ගත නොහැකි තරම් මිල ඉහළ යාමකට ලක්ව තිබේ.

 

(2022/4/11 Daily FT පත්‍රයේ පළවූ
Welcome Nandalal and Mahinda
But you both have Herculean task ahead)
(*** ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප  ලියනගේ)