ආහාර අහේනියක අනතුර


කුරිරු කුසගින්නක ප්‍රතිවිපාක ඉතාමත් අමිහිරි මෙන්ම පීඩාකාරීය. අද අප රට මුහුණ දී ඇති දේශපාලන, සමාජීය හා ආර්ථික අර්බුදයේ එක් ප්‍රතිඵලයක් හැටියට  කුරිරු කුසගින්නක් 2022 වසරේ අවසාන මාස දෙකේදී මෙන්ම 2023 වසරේ පළමු මසත් ඇතුළුව මාස තුනක පමණ කාලයකදී ඇතිවීමට ඇති ප්‍රවණතාව ඉතාමත් අධිකය. එක්සත් ජාතීන්ගේ සංගමයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ වර්ගීකරණය අනුව රටක සාගතයක් ඇතැයි සැලකීමට නම් සෑම කුටුම්භ 5කින් එකක ජීවත්වන්නන් හා ජනගහනයෙන් සියයට 30 ක් පමණ අන්ත කුසගින්නෙන් මෙන්ම ක්ෂයවීමේ රෝගයෙන් පෙළෙන අතර දිනකට සෑම 10,000කින් දෙදෙනකු මිය යා යුතුය.

අද රටේ ස්වභාවය අනුව ඉහත සඳහන් තත්ත්වයේ පළමු අවස්ථා දෙක ඇතිවීමට ඇති ඉඩකඩ බොහෝ සේ ප්‍රමාණවත්ය. සාගතයක මූලික කරුණ වනුයේ ආහාර සුරක්ෂිතභාවය නැතිවීමයි. එනම් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද හා ඛනිජ ලවන වර්ග අඩංගු සමබල ආහාර වේලක් කෙනකුට අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගැනීමට ඇති හැකියාව ගිලිහී ගිය විට ආහාර සුරක්ෂිතභාවය නොමැති වේ. මෙයින් පැහැදිලි වන්නේ මෙම කටුක තත්ත්වයට මුහුණදීමට සිදුවනුයේ සමාජයේ එක්තරා කොටසකට පමණක් බවයි.

2021 වර්ෂයේ අපගේ ඒකපුද්ගල ආදායම වූයේ ඇ.ඩො. 3682 කි. මෙම 2022 වර්ෂයේදී අපගේ ආර්ථිකය අවම වශයෙන් සියයට 7 කින්වත් සංකෝචනය වන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. මෙයට වඩා වැඩි ප්‍රතිශතයකින් සංකෝචනය වීමටද ඉඩ නැතුවා නොවේ. සියයට 7ක  ප්‍රතිශතයකින් සංකෝචනය වුවහොත් පහළ ආදායම් ලබන සියයට 20 ක ජනතාවගේ ඒක පුද්ගල ආදායම ලෝක බැංකු නිර්නායකය වන ඇ.ඩො. 3.20 ක දෛනික ආදායමෙන් පහළ අගයක් ගන්නා නිසා එම ජනතාව දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටේ. මෙරට දළදේශීය නිෂ්පාදිතයෙන් පහළම ආදායම් ලබන සියයට 20 අතරේ බෙදාහැරෙන්නේ සියයට 5 ක් පමණය. මේ අනුව පහළම ආදායම්  ලබන ජන කොටසේ ඒක පුද්ගල ආදායම වනුයේ ඇ.ඩො. 856 කි. එනම් දිනකට ඇ.ඩො. 2.35 කි. මේ අනුව පහළම ආදායම් ලබන සියයට 20 කොටසින් ඊළඟට ඉහළින් සිටින සියයට 20 ජන කොටසින් සියයට 50 ක් පමණද දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටෙන බව නොඅනුමානය. ඒ අනුව ජනගහනයෙන් සියයට 30 ක් නැතහොත් 6,570,000ක් පමණ දරිද්‍රතාවෙන් පෙළෙයි. කුරිරු කුසගින්නකට මුහුණදීමට සිදුවනුයේ මෙම ජන කොටසටයි.

2020/21මහ කන්නයේ වී අස්වැන්න ටොන් මිලියන 3.197 ක් වූ අතර 2021 යල කන්නයේ අස්වැන්න ටොන් මිලියන 1.840 ක් විය. එහෙත් රසායනික පොහොර හා කෘත්‍රිම පලිබෝධනාශක භාවිතය තහනම් කිරීම නිසා 2021/22 මහ කන්නයේ වී අස්වනු සියයට 50 ක ප්‍රමාණයකින් අඩුවන බව ගොවි ජනතාවගේ විශ්වාසයයි. එමෙන්ම තහනම ඉවත්කළත් 2022 යල කන්නයේ වී අස්වැන්නද සියයට 50 කින් පමණ අඩුවනුයේ අවශ්‍ය තරම් රසායනික පොහොර හා කෘත්‍රිම පලිබෝධනාශක නොමැතිවීමෙනි. මේ අනුව මෙම වසරේ මුළු වී අස්වනු ප්‍රමාණය විය හැක්කේ ටොන් මිලියන 2.5180 ක් වන අතර එය 2021 වසරේ ලබාගත් මුළු වී අස්වැන්නෙන් ටොන් මිලියන 5.037 න් සියයට 50 කි. මේ වසරේ බලාපොරොත්තු වන අස්වනු ප්‍රමාණය වන ටොන් මිලියන 2.5180 න් නිපදවිය හැකි සහල් ප්‍රමාණය ටොන් මිලියන 1.71කි. වසරකට අවශ්‍ය ඒක පුද්ගල සහල් ප්‍රමාණ වනුයේ කි.ග්‍රෑ. 104 ක් පමණ වන අතර මේ වසරේ ජනගහනය වන මිලියන 21.90 පමණකට අවශ්‍ය සහල් ප්‍රමාණය ටොන් මිලියන 2.28 ක් පමණ වේ. එවිට ටොන් 570,000ක හිඟයක් ඇත. මෙම ප්‍රමාණය මාස තුනක සහල් අවශ්‍යතාව වේ.

මෙම හිඟය පියවීමට නම් සහල් ආනයනය කළ යුතුය. දැනට ලෝක වෙළඳපොළේ අඩුම සහල් මිල ගණන් වන ඇ.ඩො. 527 ක් ටොන් එකක් සඳහා වියදම් කළ යුතුය. එවිට කි.ග්‍රෑ. 1 ක් විකිණීමට හැකි වන්නේ රු. 300.00 ක ආසන්න මුදලකටය. දේශීයව නිපදවන සහල් මිලද වසර අවසානය වන විට කි.ග්‍රෑ.1 ක් රු. 300.00 මට්ටමට ළඟාවිය හැක. පොහොර සහනාධාරය පසුගිය මහ කන්නයටත් මෙම යල කන්නයටත් නොලැබෙන නිසාත් ඛනිජ තෙල් මිල ඉහළයාම නිසාත් පොහොර හා පලිබෝධනාශකවල මිල ගණන් රුපියල අවප්‍රමාණය වීම හමුවේ ඉහළයාමත් එම ද්‍රව්‍යවල හිඟය නිසා මිල වැඩිවීම් සිදුව ඇති අතර, වී වල නිෂ්පාදන මිල කි.ග්‍රෑ.1 ට රු. 108.00 ක් පමණ වී ඇත. තවද අස්වනු අඩුවීම නිසා ඇතිවන හිඟයෙන් ඇතිවන උද්දමනකාරී තත්ත්වය නිසාද සහල් කි.ග්‍රෑ. 1ක් රු. 300.00 පමණ වීමට බොහෝ සේ ඉඩ ඇත.

එළවළු සහ අනෙකුත් බෝග නිෂ්පාදන මිලද ඉහත ආකාරයට වැඩිවනු ඇත. රුපියල අවප්‍රමාණය වීම නිසාත් ආනයනය කරන ලද ආහාරවල මිල ගණන් ශීඝ්‍රයෙන් වැඩිවේ. තවද විදේශ විනිමය හිඟකමේ අර්බුදයද ඉක්මනින් විසඳාගත නොහැකි නිසා අමුද්‍රව්‍ය ආනයනය කිරීම ඉතාමත් අහිතකර ලෙස අඩපණ වී ඇත. මේ නිසා සමහර ආයතන වසා දැමීමට සිදුවීමෙන් රැකියා අහිමිවීම්ද වැඩිවීමට ඇති ප්‍රවණතාවද ඉතාමත් වැඩිය. දෛනික රැකියාවල යෙදී සිටින අයට එවැනි රැකියා අවස්ථාද බොහෝ සේ අඩුවේ. මෙම සියලු ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය වනුයේ පහළ ආදායම් ලබන ජන කොටසේ මිලදී ගැනීමේ හැකියාව ශීඝ්‍ර ලෙස පහළ යාමයි.

කුටුම්භයක අත්‍යවශ්‍ය සේවා වන විදුලි හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය වන අතර ඖෂධ සඳහා වන වියදම්ද දැරිය යුතුය. ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වන වියදම්ද අනිවාර්යයෙන් දැරිය යුතුය. ඔවුන්ගේ ආහාර අවශ්‍යතාද හැකි පමණ ලබාදිය යුතු වන අතර මුදල්වල අගහිඟකම් පිරිමසා ගත හැකි එකම ක්‍රමය වන්නේ පවුලේ වැඩිහිටියන් නිරාහාරව සිටීමයි.

සෑම 10,000 කටම දෙදෙනෙක් දිනකට මිය නොගියත් මෙම තත්ත්වයේදී 6,570,000 ක් පමණ වන අඩු ආදායම් ලබන ජනතාව කුරිරු කුසගින්න නිසා ඉමහත් පීඩාවකට ලක්වන බව නොඅනුමානය. මෙම නිසා ඇතිවන මන්දපෝෂණය හේතුවෙන් ඔවුන්ගෙන් සමහරක්  දුබලවීමෙන් වළක්වාගත නොහැක. බඩඉරිඟු හා ඉන්ධන මිල ඉහළ යාමෙන් කුකුල් මස් කි.ග්‍රෑ. 1 මිල රු. 1000.00 සීමාවට වැඩිවිය. ඉන්ධන හිඟය නිසා මාළු මිලද අධිකය.

මුහුණදීමට වන අහිතකර බලපෑම් අවම කිරීමට නම් සතියකට වරක් මෙම ජනකොටසට අයත් සෑම කුටුම්භයකටම පෝෂණ මල්ලක් නොමිලේ  ලබාදිය යුතුය. මෙය කල්වේලා ඇතුව සැලසුම් කර කාර්යක්‍ෂම ආකාරයට බෙදාහැරීම කළ යුතුය. මේ සඳහා දෙස් විදෙස් ආධාර ලබාගත යුතු අතර රජයද සක්‍රීයව දායක විය යුතුය.

මෙවැනි ආහාර හිඟයක් නැවතත් නුදුරු අනාගතයේ ඇතිවිය හැකිද? මෙය තීරණය වන්නේ ලබන 2022/23 මහ කන්නයේ වගා සාර්ථක වේද යන්න මතයි. යම් හෙයකින් ලබන මහ කන්නය අසාර්ථක වුවහොත් 2023 මැයි, ජූනි, ජූලි මාසවලදී නැවතත් ආහාර හිඟයකට මුහුණදීමට සිදුවනු ඇත.

කන්න පාළුවීම නිසා ගොවිජනතාවගේ ආදායම් ඉතාමත් කනගාටුදායක ආකාරයට අඩු වී ඇත. එම නිසා ලබන මහ කන්නය සාර්ථක කර ගැනීමට නම් වගාකිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගැනීමට මුදල් අවශ්‍යය. ණයට මුදල් දීමට පෞද්ගලික ආයතන ඉදිරිපත් වන්නේ නැත. එම නිසා කන්නය ඇරඹීමට පෙර සහනදායී ලෙසට ණය මුදලක් ලබාදීම ඉතාමත් වැදගත්ය.

වඩා හොඳ අස්වැන්නක් වී වගාවෙන් ලබාගැනීමට නම් ප්‍රශස්ථ මට්ටමකට බිම් සැකසීම කර ගත යුතුය. කලට වේලාවට පොහොර හා පලිබෝධනාශක වල් මර්දනය හා අනෙකුත් පලිබෝධ මර්දනයට ලබාගත හැකි බව තහවුරු කළ යුතුය.

2022/23 මහ කන්නයේ වී වගාව සඳහා ඉලක්කගත ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 800,000 කි. මේ සඳහා බිම් සකස් කිරීමේදී ට්‍රැක්ටර් දෙවරක් භාවිතා කළ යුතුය. මේ සඳහා ඩීසල් මෙ.ටොන් 16,000 – 20,000 ක් පමණ අවශ්‍ය වේ. අස්වනු නෙළීමටද ඩීසල් මෙ.ටොන් 16,000 –18,000 ක් පමණ අවශ්‍ය වේ. එමෙන්ම ලබන මහ කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීමට නම් ඩීසල් මෙ.ටොන් 32,000 – 36,000 ක් පමණ අවශ්‍යය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා ප්‍රකාශ කරන ආකාරයට විදේශ විනිමය හිඟය නිසා ඉන්ධන සැපයීම අවිනිශ්චිතය. ප්‍රමුඛතාව දී මෙම ප්‍රමාණ ආනයනය කළත් ක්‍රමානුකූලව කාර්යක්ෂම බෙදාහැරීමේ වැඩපිළිවෙළක් හරහා ගොවි ජනතාවට ඉන්ධන නියමිත වේලාවට ලබාගැනීමට සැලැස්විය යුතුය.

වැඩිවන ඉන්ධන මිල නිසා බිම් සැකසීම සඳහා වියදම් ශීඝ්‍ර ලෙස ඉහළ ගොසිනි. බිම් සැකසීමට යන වියදම අඩුකර ගැනීමටත් එහි කාර්යක්ෂම බව වැඩිකිරීමටත් තහනම් කරන ලද ග්ලයිෆොසේට් වල්නාශකය නැවත ගොවිජනතාවට ලබාදීමට කටයුතු කළහොත් නිෂ්පාදන වියදම අඩුකර ගත හැකිය. කාලයද ඉතිරි කරගත හැක. මෙම වල්නාශකය තහනම් කරන ලද්දේ එය හඳුනානොගත් නිදන්ගත වකුගඩු රෝගය වැළඳීමට හේතුව මෙය බව කියමිනි. එහෙත් විද්‍යාත්මකව එය තහවුරු කර නැති අතර එයට හේතුව වශයෙන් සලකන්නේ විජලනය වීම හා කඨින ජලය බීමට ගැනීමයි.

සාර්ථක අස්වැන්නක් සඳහා ගුණාත්මයෙන් උසස් බිත්තර වී සැපයීම අත්‍යවශ්‍යය. පසුගිය මාස් කන්නයේත් මෙම යල කන්නයේත් අසාර්ථක බව නිසා ගුණාත්මයෙන් උසස් බිත්තර වී වල හිඟතාවක් ඇතිවීම වැළැක්විය නොහැක.

මහ කන්නයේ වී වගාව සඳහා පොහොර මෙ.ටොන් 180,000 ක් පමණ අවශ්‍යය. අනෙකුත් බෝග සඳහා මෙ.ටොන් 150,000 ක් පමණ අවශ්‍යය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ යූරියා මෙ.ටොන් 60,000ක් ලැබෙන අතර එය මෙම යල කන්නයට ප්‍රමාද වී ලැබෙන නිසා එම ප්‍රමාණය ලබන මහ කන්නය සඳහා ලබාදිය හැකිය. ලෝක බැංකු ණය ආධාර යටතේ ලැබීමට නියමිත ණය මුදලින් වී වගාව සඳහා මහ කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කළ හැක. එහෙත් අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර මෙ.ටොන් 150,000 ආනයනය කිරීමට විදේශ විනිමය අවශ්‍යය. දැනට ලෝක වෙළෙඳපොළේ යූරියා මෙ.ටොන් 1 ක් ඇ.ඩො. 775 ක් පමණ වේ. ඒ සඳහා ඇ.ඩො.මිලියන 116 ක් පමණ අවශ්‍යය. ලබන මහ කන්නය සඳහා පලිබෝධනාශක ආනයනය කිරීමට ඇ.ඩො.මිලියන 35-40 ක් පමණ අවශ්‍යය. එමෙන්ම ආනයනය කළ යුතු එළවළු බීජ වර්ග හා බඩඉරිඟු සඳහා ඇ.ඩො. මිලියන 25ක් පමණ අවශ්‍යය. මහ කන්නය සඳහා ඉහත සඳහන් යෙදවුම් ආනයනයට ඇ.ඩො. මිලියන180 ක් පමණ අවශ්‍ය වනු ඇත. මෙම ප්‍රමාණයෙන් සියයට 60 ක් වත් මේ වන විට බැංකු පද්ධතිය තුළ තිබිය යුතුය. එහෙත් බැංකුවල අවශ්‍යතරම් විදේශ විනිමය නොමැති නිසා මේ යෙදවුම්වල අවශ්‍ය ප්‍රමාණ අවශ්‍ය වේලාවට ආනයනය කිරීම ප්‍රශ්නයක් වී ඇත.

අප මුහුණදී ඇති ආර්ථික අර්බුදය නිසා කෘෂි යෙදවුම් සපයන ඇතැම් විදේශ සමාගම් දේශීය බැංකු මගින් විවෘත කරන ණයවර ලිපි පිළිගන්නේ නැත. එම නිසා භාණ්ඩ සැපයීමට පෙර මුදල් ගෙවිය යුතුය. දැනට පවතින රෙගුලාසි අනුව වරකට සම්ප්‍රේෂණය කළ හැකි මුදල් ප්‍රමාණය ඇ.ඩො. 50,000 කි. පලිබෝධනාශක බීජ වැනි යෙදවුම් ආනයනයේදී ප්‍රශස්ථ මිලක් ලබාගැනීමට නම් අඩුම වශයෙන් අඩි 20 ක බහාලුමකට සරිලන ප්‍රමාණයක් ආනයනය කළ යුතුය. ඒ සඳහා ඇ.ඩො. 50,000 ක් ප්‍රමාණවත් නොවේ. එම නිසා මෙම ප්‍රමාණය ඇ.ඩො. 100,000 ක් දක්වා වැඩිකළ යුතුය.

ඉහත සඳහන් ආකාරයට කෘෂි යෙදවුම්වල හා ඛනිජ තෙල්වල හිඟය ඇතිවීමට ඇති ඉඩකඩ ඇහිරීමට නොහැකිවුවහොත් ලබන මහ කන්නයද සාර්ථක කර ගැනීමට අපහසු වනු ඇත. එසේ වුවහොත් 2023 වසරේ මැයි, ජූනි වැනි කාල පරාසයකදී ඇතිවිය හැකි ආහාර හිඟයක ව්‍යවසනකාරී තත්ත්වය මෙම වසරට වඩා කුරිරු විය හැක. එයට හේතුව නම් ඒ වනවිට නිෂ්පාදන වියදම අදට වඩා වැඩිවන අතර සහල් මිල කි.ග්‍රෑ එකක් රු. 350.00 ට වඩා අධික වීමට ඇති ප්‍රවණතාව ඉතාමත් අධික වීමය. මෙවැනි තත්ත්වයක් නිසා දේශපාලන අස්ථාවර බව තවදුරටත් වැඩිවිය හැක. එම නිසා ලබන මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු වහ වහා කළ යුතුය. ලබන මහ කන්නය අසාර්ථක වුවහොත් ඉතාම දරණු ව්‍යවසනකාරී තත්ත්වයක් ඇතිවිය හැකි අතර රට අරාජික වීමටද එය ප්‍රබල සාධකයක් විය හැක.

(***)