පුද්ගල ආදායම් බදු අය කෙරෙන ආදායම් සීමාව මින් පෙර පැවතියේ මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාරක සිට වැඩි වන පරිදිය. එනම්, වාර්ෂික ආදායම රුපියල් මිලියන 3 ඉක්ම වූ අය මෙම බද්දට යටත් කෙරිණි. පිරිසක් බදු ලිපිගොනු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර බදු ගෙවති.
තවත් පිරිසක් උපයන ආදායමෙන් බදු ගෙවති. වාර්ෂික ආදායම රුපියල් මිලියන 3 ට වැඩි හෝ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙකහමාරට වැඩි අය එම බද්දට යටත් කෙරිණි. ඒ පෙර පැවැති තත්ත්වයයි. එහෙත් ඉකුත්දා පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා ලද නව පුද්ගල ආදායම් බදු සංශෝධනවලට අනුව මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් උපයන සියලු දෙනාම බදු ගෙවිය යුතුය. ඒ යටතේ යම් අයකුගේ මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩි නම්, එසේ ලක්ෂයට වැඩි වන ප්‍රමාණය මත බදු ගෙවිය යුතු වේ. සියයට 6, 12, 18, 24 සහ 36 යනාදී වශයෙන් බදු අනුපාත පනවා තිබේ.
ඒ අනුව, මාසිකව රුපියල් ලක්ෂයට වැඩි ආදායමක් උපයන්නන් බද්දට යටත් වන්නේ පහත ආකාරයටය.
ආදායම වැඩි පිරිසට ඉහළ බදු අනුපාතයක් අදාළ වන ආකාරයට මෙම බදු සංශෝධනය සිදු කර තිබේ. පවතින සන්දර්භය ඇතුළත රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් උපයන පිරිස් ආදායම් බද්දකට යටත් කිරීම කොතරම් දුරට සාධාරණ ද යන ප්‍රශ්නය බොහෝ අය මතු කරති. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ආහාර උද්ධමනය සියයට 90 දක්වාත් සමස්ත උද්ධමනය සියයට 70 දක්වාත් ඉහළ ගියේය. එහි අර්ථය නම්, පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගොස් ඇති බවය. උද්ධමනය ඉහළ ගියද ආදායම් වැඩි වීමක් සිදු නොවුණි. ඒ වෙනුවට සිදු වූයේ ආදායම් පහළ යෑමකි. මේ පසුබිමේ මාසිකව රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මුදලක් හෝ උපයන පුද්ගලයකු ආදායම් බද්දකට යටත් කළ හැකිද යන්න ප්‍රශ්න සහගතය.
2018 වනවිට පුද්ගල ආදායම් බදු සීමාව පැවතියේ රුපියල් ලක්ෂ එකහමාරක් වශයෙනි. 2019 දී ක්‍රියාත්මක කළ බදු සහන යටතේ එම ආදායම් සීමාව රුපියල් ලක්ෂ දෙකහමාර දක්වා ඉහළ නංවන ලදී. මේ වනවිට එය රුපියල් ලක්ෂය දක්වා අඩු කර ඇති අතර 2023 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට බලාත්මක කෙරේ.
මෙම නව බදු සංශෝධන හරහා ඉහළ සහ පහළ යන උභය කාණ්ඩවල මධ්‍යම පාන්තිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව විශාල වශයෙන් පහළ වැටෙනු ඇත. දුප්පත් අයට සාපේක්ෂව මධ්‍යම පාන්තිකයන් ඉහළ ආදායම් ලබන නිසා මෙම බද්ද ඔවුන්ට දරාගත හැකි බව යමෙකුට කීමට පිළිවන. එහෙත් මේ කාරණය ගැඹුරට විමසුවහොත් මධ්‍යම පාන්තිකයන් ලබන ආදායමෙන් පාරිභෝජනයට වැය කරන මුදලට අමතරව යම් මුදල් ප්‍රමාණයක් නිවසක් තැනීමට හෝ ව්‍යාපාරයක් කිරීමට හෝ භාණ්ඩ මිලදී ගැනීමට හෝ යොදවනු ලබයි. මේ නව බදු සීමා නිසා එම සියලු කටයුතු කඩාවැටීම හෝ අඩපණ වීම හෝ සිදු වේ. එවිට සිදු වන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ වැය කිරීම් මත යැපෙන පහළ ආදායම් ලබන්නන්ද දැඩි පීඩාවකට පත් වීමය. ඔවුන්ගේ ආදායම් මාර්ග ඇහිරීම මෙන්ම රැකියා අනාරක්ෂිතභාවයට පත්වීමද සිදු වේ.
එබැවින් පෙර පැවති තත්ත්වය යටතේ මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාර ඉක්මවා ආදායම් උපයන්නන් ඉහළ බදු අනුපාත යටතේ පුද්ගල ආදායම් බද්දට යටත් කළේ නම්, එය සාධාරණීකරණය කළ හැකිව තිබිණි.
මීළඟට විමසිය යුතු වැදගත් කාරණය නම්, මෙම නව බදු සංශෝධන යටතේ මාසිකව රුපියල් ලක්ෂයට වඩා උපයන්නන් ආදායම් බද්දට යටත් කළද, සත්‍ය වශයෙන්ම බදු ගෙවිය යුතු පුද්ගලයන් බදු දැලට හසු කර ගැනීම වෙනුවෙන් රජයට වැඩපිළිවෙළක් තිබෙන්නේ ද යන්නය. ස්වයං රැකියා හෝ වෙනත් අවිධිමත් රැකියාවල නියුතුවන්නන් අතර මාසිකව රුපියල් ලක්ෂ තුනට වඩා උපයන්නෝ ද සිටිති. එහෙත් ඔවුන්ගේ ආදායම් නිසි පරිදි හඳුනා ගැනීමක් සිදු නොවේ. එබැවින් එවැනි පිරිස් බදු ගෙවීමකට යටත් වන්නේ ද නැත. එම පිරිස් බදු දැලට හසු කර ගැනීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවට සැමදා බදු ගෙවීමට යටත්වෙන ඉහළ වැටුප් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් සහ සෙසු පුද්ගල ආදායම් බදු ගෙවන අය මත පමණක් බදු අය කිරීම සාධාරණ නැත. මෙහි ඇති බරපතළම ගැටලුවද එයයි.
අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් වෙනුවෙන් රාජ්‍ය ආදායම් වැඩි විය යුතුය යන්න පිළිබඳ විවාදයක් නැත. රාජ්‍ය ආදායම් ඉහළ නොගියහොත් මුදල් මුද්‍රණය කිරීම ඔස්සේ අවශ්‍ය මුදල් ලබා ගැනීමට සිදුවන අතර එමගින් උද්ධමනය ඉහළ ගොස් නරක ප්‍රතිඵල ආර්ථිකයේ ඇති විය හැකිය. මෙම සන්දර්භයේ බදු ආදායම් වැඩි කළ යුතුය යන්න අප පිළිගත යුතුය. එසේ එකතු කරන බදු මුදල් කොතෙක් දුරට අරපරෙස්සමෙන් භාවිත කරන්නේද යන්න ප්‍රශ්නසහගතය. රාජ්‍ය මූල්‍යයට අදාළව විනයක් පවත්වාගෙන යෑමට රජය සමත්ව සිටින්නේ ද යන්න එහි අර්ථයයි. රටේ ආර්ථිකය මේසා දැවැන්ත පරිහාණියකට පත්ව තිබියදීත් රාජ්‍ය මූල්‍ය විනයක් ඇතිව හසුරුවන සංස්කෘතියක් බිහිව නොමැත. නාස්තිකාර වියදම් තවදුරටත් පවත්වාගෙන යෑම, අමාත්‍යවරුන්ට ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ආරක්ෂක අංශවල සාමාජිකයන්ට විවිධ වරප්‍රසාද පිරිනැමීම වැනි දේවල් වෙනුවෙන් අසීරුවෙන් එකතු කරන බදු මුදල් කිසිදු පාලනයකින් තොරව යොදවන ආකාරයක් දැකිය හැකිය. නාස්තිය අවම කරමින් ඵලදායී අංශවල පමණක් යොදවමින් බදු මුදල් වැය කිරීමට රජය ක්‍රියා කරන්නේ නම් පුරවැසියන් ආර්ථික අපහසුතා මධ්‍යයේ වුව බදු ගෙවීමට සූදානම්ය. එහෙත් රජය මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැත. තවදුරටත් ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් අයවැයෙන් වෙන් කෙරේ. ලබාදෙන වරප්‍රසාදවල සීමා කිරීමක්වත් සිදු කර නොමැත. රටේ ආර්ථික අර්බුදය ඔඩුදුවා ඇති පසුබිමක තවදුරටත් මෙසේ ඉහළ වරප්‍රසාද ලබා දීම සහ වැඩි වශයෙන් මුදල් වෙන් කිරීම යුක්ති යුක්ත නොවේ. පහළ ආදායම් ලබන්නන් සූරාකෑමකට ලක්වන ආකාරයේ බදු ව්‍යුහයක් මෙරට පවතින්නේය යන නිගමනයට එයින් පැමිණිය හැකිය.
අමාත්‍යවරුන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් එකතු වී රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි කිරීම නිතර සිදු වේ. එය සංස්කෘතියක් බවට පත්ව ඇත. එමගින් ඉහළ ආදායම් ලබන නිලධාරීන් සහ ආයතන වැඩි ලාබ උපයන බවද අප අමතක නොකළ යුතුය. එවැනි ක්‍රියා වැළැක්වීමට අදාළ ක්‍රියාමාර්ග කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවක් පෙනෙන්නට නැත. මේ පසුබිමේ පහළ ආදායම් ලබන මධ්‍යම පාන්තිකයන් මත මේ බදු සංශෝධන හරහා විසල් තෙරපුමක් ඇති කර තිබේ. වක්‍ර බදු හරහා සමාජයේ පහළ ආදායම් ලබන්නන් ද පුද්ගල ආදායම් බදු හරහා පහළ ආදායම් ලබන මධ්‍යම පාන්තිකයන් ද දැඩි පීඩාවකට හසුව ඇත. බදු අනුපාත වෙනස් කරමින් ඉහළ ආදායම් ලබන්නන් ප්‍රතිලාභ ලබන වටාපිටාවක් නිර්මාණය වී තිබේ. එම ඉහළ ආදායම් ලබන්නන් අතර ව්‍යාපාරිකයෝද ඉහළ රාජ්‍ය නිලධාරීහුද දේශපාලනඥයෝ ද සිටිති.
මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාරට වැඩියෙන් උපයන පිරිස් බද්දට යටත් කර ඊට පහළ ආදායම් ලබන්නන් එයින් නිදහස් කිරීම හෝ සියයට 1 ක් වැනි අවම බද්දක් පැනවීම හෝ කළ යුතුව තිබූ බව මගේ අදහසයි. ආර්ථිකයේ උද්ගතව තිබෙන උද්ධමනය නිසා මෙම බදු සංශෝධනවලින් ආර්ථිකය තවදුරටත් හැකිළෙනු ඇත. එසේම විශාල පිරිසක් රැකියා වියුක්තිකයන් බවට පත් වනු ඇත. එහි සැබෑ ප්‍රතිඵල ලබන වසරේ මැදභාගය වනවිට දැකගත හැකි වනු ඇත. මෙවැනි බදු අය කිරීම් මගින් ආර්ථිකයට ඇති විය හැකි බලපෑම් ගැන අධ්‍යයනයක් සිදු කර තීන්දු තීරණ ගෙන තිබෙන්නේ ද යන ප්‍රශ්නය රජයට යොමු කළ යුතුය. මෙවැනි බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ආයතන විසින් යෝජනා කරනු ලැබීමට ඉඩ ඇතත් එවැන්නක් ක්‍රියාත්මක කිරීමෙන් ඇති වෙන බලපෑම් කවරේද යන්න ගැන අප මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබිණි. එවැනි විශ්ලේෂණයකින් තොරව ක්‍රියාත්මක කරන මේ ආකාරයේ බදු සංශෝධන නිසා ලබන වසරේ පෙබරවාරි මාර්තු වනවිට විශාල සමාජ කැළඹීමක් වුව ඇති විය හැකිය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ වෘත්තිකයන් රට හැර යන ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. බදු ප්‍රතිපත්තිය ද ඇතුළත්ව ආර්ථිකය සම්බන්ධයෙන් නිසි විමසීමකින් තොරව අත්තනෝමතික ලෙස ගන්නා තීන්දු තීරණ නිසා මහජනයා කලකිරීමට පත් වේ. එම කලකිරීම පුද්ගලයන් රට හැර යෑම වැඩි වීමට හේතු වී තිබේ. එක් පිරිසක් පමණක් ඉලක්ක කරගනිමින් පුද්ගල ආදායම් බදු පැනවීමත් එසේ එකතු කර ගන්නා බදු මුදල් නිසි විනයකින් තොරව හිතූමනාපෙට වැය කිරීම නිසා වෘත්තිකයන් අතර ගොඩනැගෙන කලකිරීම වෘත්තිකයන් රට හැර යෑමට පොළඹවන තවත් එක් සාධකයක් බවට පත් වේ.
ලාභාංශ මත අය කරන බදු මීට පෙර පැවතියේ සියයට 14ක මට්ටමේය. එමගින් අපනයනකරුවන්ට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහ තවත් අංශ ගණනාවකට සහන ලබා දෙන ලදී. එහෙත් මෙම බදු සංශෝධන හරහා එම අගය සියයට 30 දක්වා වැඩි කර තිබේ. අපනයන අංශයට අදාළව කල්පනා කළහොත් අපනයනකරුවන්ගෙන් බදු අය නොකළ යුතු යැයි මම නොකියමි. එහෙත් වඩාත් වැදගත් වන්නේ මෙම බදු ඉහළ නැංවීම කෙටි කාලයක් සඳහා පමණක් බලපවත්වන්නේය යන කාරණය ව්‍යාපාරික ප්‍රජාව වෙත සන්නිවේදනය කිරීමය. ආර්ථික වර්ධනය සඳහා අපනයන ප්‍රවර්ධනය කළ යුතුය. ඒ වෙනුවට අපනයන දුර්වල වන ආකාරයට බදු පැනවීම යෝග්‍ය නොවේ. අපනයනකරුවන් ඔවුන්ගේ ආදායම් නිසි පරිදි වාර්තා නොකිරීමට මෙම බදු ඉහළ නැංවීම තවත් හේතුවක් විය හැකිද යන්න ගැනත් අප අවධානයෙන් පසු විය යුතුය.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)