කළ යුත්ත නොකළ යුත්ත නොතේරීම


වර්ෂ 2021 දී මෙරටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ගැන සමාලෝචනය කිරීමේදී අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු විය යුතුය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය හා සංවර්ධන අරමුණු කරා ළඟා වීම යන මූලික ප්‍රස්තුත දෙක මත අපට එම සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකිය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලිව දැකගත හැකි තත්ත්වය වූයේ පැවති මුදල් හිඟය හේතුවෙන් ආර්ථික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා මහ බැංකුවට මැදිහත්වීමට සිදු වූ බවය. ඒ මුදල් අච්චු ගැසීම හරහාය. එය එක්තරා දුරකට සිදු කළ හැකි වුවත් අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකිය. මන්ද එහි ඇති අහිතකර ප්‍රතිවිපාක මතු වෙන විට ඊට වඩා භයංකර තත්ත්වයක් උදා විය හැකි බැවිනි. එසේ නොකර පැවති ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගත හැකි තත්ත්වයක්ද නොවිණි. එම අර්බුදයට බලපෑ එක් සාධකයක් වූයේ කොවිඩ් ය.

එම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ධනවත් රටවලට ඒවායෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් දක්වා මුදල් වියදම් කිරීමට හැකි විය. දියුණු වෙමින් පවතින රටවලට ද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකත් තුනත් අතර මුදල් ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමට පිළිවන් විය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ දත්තවලට අනුව ලංකාවට ඒ අරබයා වෙන් කිරීමට හැකි වී තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.7 ක මුදල් ප්‍රමාණයකි. එයින් ගම්‍ය වන්නේ මේ සුවිශේෂ වසංගත තත්ත්වය වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වියදම් කළ තරමට හෝ මුදල් වැය කිරීමට ලංකාව අසමත් වී ඇති බවය.

සාර්ව ආර්ථික කළමනාකරණය අතින් ලංකාව මොනතරම් අසීරු තත්ත්වයක සිටියේද යන්න එයින් තවදුරටත් පැහැදිලි වෙයි.

දෙවැනි ප්‍රස්තුතය එනම් සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම කෙරෙහි මීළඟට අවධානය යොමු කළ හැකිය. එය තරමක පුළුල් තලයක සාකච්ඡා වෙන ප්‍රශ්නයකි. කෙසේ වෙතත් සරලව අර්ථ දක්වන්නේ නම් සියයට 08ක පමණ වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් වසර දහයත් විස්සත් වැනි දිගු කාලයක් තිස්සේ පවත්වා ගැනීම අවශ්‍ය වෙයි. එය තවදුරටත් පැහැදිලි කර ගන්නේ නම් ආර්ථිකයේ මතු විය හැකි අඩාළ වීම් හමුවේ වුව අඛණ්ඩ ආර්ථික වර්ධන වේගයක් දීර්ඝ කාලීනව පවත්වා ගෙන යා යුතු බවය.

අපේ ඉතිහාසය ඇතුළත එවැන්නක් කෙදිනකවත් සිදු වී නැත. මෙනයින් බලන කල 2021 වසරාවසානය වෙන විට සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම අතින් ද ලංකාව දුර්වල තත්ත්වයක පසු විය.

ආර්ථික වර්ධන වේගය ඉහළ අගයකට ගෙන ඒම කෙසේ වෙතත් සියයට 5ත් සියයට 6ත් තරම් සෑහීමකට පත් විය හැකි අගයක එය පවත්වා ගැනීමටවත් අපි අපොහොසත් වූයෙමු.

ඒත් සමගම මතු වූ දෙවැනි ප්‍රශ්නය නම් ආර්ථික වර්ධන වේගය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරන්නේ මන්ද යන්නය. රටේ දුප්පත්කම නැති වන්නේත් ජනතාවගේ ආදායම් ඉහළ යන්නේත් සහ රැකියා උත්පාදනය වන්නේත් ආර්ථික වර්ධන වේගය ඉහළ යන්නේ නම් පමණි.

මේ මූලික ආර්ථික ප්‍රශ්න දෙකත් සමග ඇති වූ අවශේෂ ප්‍රශ්න ගණනාවක් ද තිබේ. ඒ අතර උද්ධමනය ඉහළ යෑම පෙරමුණේ පසු විය. උද්ධමනය පිළිබඳ ප්‍රශ්නය ඕනෑම කෙනකුට දැනෙන හා ආර්ථික මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේදීත් සංවාදාත්මක ලෙස පැන නගින කාරණයකි. දිගින් දිගටම මුදල් අච්චු ගසන්නේ නම් එහි ප්‍රතිඵලය වන්නේ උද්ධමන තත්ත්වයක් හට ගැනීමය. මුදල් නිකුත් කිරීම කළ යුත්තේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අනුරූපවය. නිෂ්පාදනය පහත වැටී ඇති අවස්ථාවක මුදල් නිකුත් කිරීමෙන් සිදු වෙන්නේ රටේ පවතින සැපයුම් ප්‍රමාණයට සාපේක්ෂව මුදල් ප්‍රමාණය ඉහළ අගයක් ගැනීමය.

සමස්ත ඉල්ලුමට ඇති වෙන ඉහළ ඉල්ලුම උද්ධමනයට හේතු වෙයි. අඛණ්ඩව මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනයට බලපෑමක් වූ බව මගේ විශ්වාසයයි. එහෙත් සාස්තරකරුවකු මෙන් උද්ධමනයට බලපෑ එකම හේතුව එය යැයි කිව නොහැකිය. මන්ද උද්ධමනයට බලපෑ තව හේතු දෙකක් තිබෙන නිසාය. තෙල් හා ආහාර මිල ගණන්වල ඉහළ යෑම ඇතුළුව ලෝක ආර්ථිකයේ ඇති වූ වෙනස්කම්ය.

එවැනි සන්දර්භයක දේශීය වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම අපේක්ෂා කළ හැකි දෙයකි. දෙවැන්න නම් රට අභ්‍යන්තරයේ මතු වූ ප්‍රශ්න ය. පොහොර ප්‍රශ්නය, පාලන මිල පිළිබඳ ප්‍රශ්නය වැනි ආණ්ඩුව විසින් නිර්මාණය කර ගනු ලැබූ ඇතැම් ප්‍රශ්න ද භාණ්ඩ මිල ඉහළ යෑම කෙරෙහි බලපෑවේය.

භාණ්ඩ හිඟය, භාණ්ඩ මිල ඉහළ යෑම, අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ඇති නොහැකියාව සහ අවශ්‍ය භාණ්ඩ දේශීය වශයෙන් නිපදවා ගැනීමට ඇති නොහැකියාව යන ප්‍රශ්න රැසකට මැදිව 2021 වසර අර්බුදකාරීව අවසන් කිරීමට අපට සිදු විය.

උද්ධමනය නිසා වැඩි බලපෑම් එල්ල වෙන්නේ අඩු ආදායම්ලාභී ජනතාවටය. කෘෂි හා අවිධිමත් අංශ මතු නොව පහළ මැදි ආදායම් ලබන්නන්ද එයින් දැඩි පීඩනයකට පත්ව සිටින බවක් දිස්වෙයි. උද්ධමනය හේතුවෙන් සාර්ව ආර්ථික වශයෙන් මතු වෙන ප්‍රශ්නයක් ද ඇත. එනම් අපේ අපනයනවල තරගකාරීත්වය අඩු වීමය. ලංකාවට වඩා හොඳින් උද්ධමනය කළමනාකරණය කර ගන්නා රටවල් සමග ලෝක වෙළෙඳපොළේදී තරග කිරීමට අපට ඇති හැකියාව දුර්වල වීම එයින් සිදු වෙයි. ආයාත සමග අපේ දේශීය නිෂ්පාදනවලට තරගකාරී වීමටද නොහැකි වෙයි.

කාබනික වගාව සියයට සියයක් ක්‍රියාත්මක කරන කිසිදු රටක් ලෝකයේ නැත. රසායනික පොහොර භාවිතය එක්වරම තහනම් කළ විට කෘෂි ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකිය. එවැනි පියවරකට යෑමට අවශ්‍ය කාලය ලබා දීම කළ යුතුව තිබිණ.

ලංකාවේ දිළින්දන්ගෙන් සියයට 92 ක් නියෝජනය කරන්නේ ග්‍රාමීය කෘෂි අංශයයි. කෘෂිකර්මය හා දුප්පත්කම එකට සම්බන්ධ බව එයින් පැහැදිලි වෙයි. එවැනි සන්දර්භයක පොහොර අර්බුදය හේතුවෙන් දිළිඳු ජනතාවට තවත් දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබේ. 2021 වසරේ අවසාන භාගයේදී එම තත්ත්වය හොඳින් දැක ගන්නට පුළුවන් විය.

පසුගිය දසකයක කාලයේදී ඇතැම් අවස්ථාවල මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7ත් 8ත් දක්වා මට්ටමකට ඉහළ ගියේය. 2021 වසරේ අගභාගය වෙන විට එය ඩොලර් බිලියන 1.6 දක්වා පහළ වැටුණි. දැන් යළිත් ඩොලර් බිලියන 3.1 දක්වා වැඩි වී ඇත. සංචිතවල සෑම අවස්ථාවකම අන්තර්ගත වී තිබුණේ අප ඉපැයූ විදේශ විනිමයට වඩා ණයට ගත් මුදල්ය. අප ඉපැයූ විදේශ විනිමය සෑම විටෙකදීම ආනයන වියදම් පියවා ගැනීම සඳහා වැය කිරීමට සිදු විය. ණයට ගත් මුදල්වලින් සංචිත ඉහළ මට්ටමකට ගෙන ඒමේ ක්‍රමවේදයක් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙයි. එය සාර්ථක ක්‍රමෝපායයක් නොවේ. මන්ද මුදල් අච්චු ගැසීම මෙන්ම ණයට ගැනීමද කළ හැකි සීමාවක් තිබෙන නිසාය.

2007 හා 2008 වසරවලදී අමනෝඥ ආර්ථික තීන්දු කීපයක් අපි ගත්තෙමු. ආණ්ඩුවේ සුරැකුම්පත් වෙළඳපොළේ විවෘත කිරීම එකකි. වාණිජ ණය ලබා ගැනීමට දොරටු විවර කිරීම තව එකකි. එම පියවර දෙකෙන්ම රටට ලැබෙන්නේ කොන්දේසි විරහිත ණය වන අතර ඩොලර් ප්‍රශ්නය කල්දමා ගැනීමට ද හැකිය. එහෙත් දිගුකාලීන ආයෝජන සඳහා ඒවා මගින් හිතකර වාතාවරණයක් සැලසෙන්නේ නැත. ලබාගත් වාණිජ ණය යොදා ගනිමින් මෙගා ව්‍යාපෘති සිදු කිරීම ඵලදායක වීද යන ප්‍රශ්නයද බොහෝදෙනා මතු කරති. මෙගා ව්‍යාපෘති රටකට අවශ්‍යය. එහෙත් ඒවායෙහි ආයෝජන ප්‍රතිලාභ සමාජයට ලැබෙන්නේ අවුරුදු පහළොවක් විස්සක් පමණ ගිය පසුය. එවැනි ව්‍යාපෘති ආරම්භ කළද අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දේවල් මගහැර ණය ආර්ථිකයක් පුළුල් කරගැනීමේ ප්‍රතිවිපාක අපි අද විඳිමින් සිටිමු.

ලෝකයේ ඕනෑම රටකට විදේශ විනිමය ඉපයීම සඳහා තිබෙන්නේ ප්‍රධාන ප්‍රවේශ දෙකකි. ඒවා නම් අපනයන ඉහළ නංවා ගැනීම හා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමය. දෙවැන්න එනම් විදේශ ආයෝජන වැඩි කර ගත යුත්තේ ආයෝජකයන් රටට පැමිණෙන විට ඩොලර් ගෙන එන නිසාම නොවේ. ඔවුන් රටට එන විට ඩොලර් රැගෙන පැමිණෙන බවත් එයින් රටට යම් ඩොලර් ආදායමක් ලැබෙන බවත් සැබෑය. කෙසේ වෙතත් විදේශ ආයෝජන වැඩි කර ගැනීම ගැන අප සිතිය යුත්තේ විදෙස් ආයෝජකයන් ඍජුව හෝ වක්‍රව හෝ අපනයන ප්‍රවර්ධනයට විශාල දායකත්වයක් දක්වන නිසාය.

විදේශ විනිමයෙහි උද්ගත වෙන ප්‍රශ්නය විසඳිය හැක්කේ යට කී ප්‍රවේශ දෙකෙන් පමණි. එසේ වුවත් 1900 ගණන්වල සිටම අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් හා එවක බලයේ සිටි ආණ්ඩු අදාළ ප්‍රවේශ අත්හැර දමා තිබුණි. ඒ වෙනුවට ඩොලර් සෙවීමට අප යොමු වූයේ ආණ්ඩුවේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විවෘත කිරීම හා වාණිජ ණය ලබා ගැනීම යන ක්‍රමවේද ඔස්සේය.

ආදායම් ඉපයීම වෙනුවට අපි අඛණ්ඩව කෙටිකාලීනව ණය ගත්තෙමු. මතුව ඇති විදේශ විනිමය හිඟයට පිළිතුරු සෙවීම සඳහා හුවමාරු ණය පහසුකම් ලබා ගැනීම විවිධ රටවලට ගොස් ණය ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ආදී කවර ක්‍රියාමාර්ග ගත්තද ඒ සියල්ලෙන් අපට ලැබෙන්නේ ණය ය. ඒවා නැවත ගෙවිය යුතුය. ඒවා දිගුකාලීන විසඳුම් නොවේ. පෙරද කී පරිදි මේ ඩොලර් හිඟය විසඳීම සඳහා ඇති දිගුකාලීන විසඳුම වන්නේ අපනයන හා විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීමය. ඒ අරබයා වත්මන් ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මොනවාද යන ප්‍රශ්නය අපි ඇසිය යුතු වෙමු.

ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර කීපයේදී පහළ ගියේය. ඉකුත් දිනෙක නිකුත් වූ ෆිච් රේටින්ස් ආයතනයේ වාර්තාවෙන්ද ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහතට හෙළා තිබුණි. ඒවාට අවශ්‍ය දත්ත ලැබෙන්නේ අපේ රටේ ආර්ථිකය පිළිබිඹු කරන දත්තවලිනි. යම් රාජ්‍යයක් ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ ශ්‍රේණියක් දක්වා ඇද වැටුණු විට එම රටට ණය ලබා දීම සුදුසුද යන ප්‍රශ්නය මතු වෙයි. ලංකාවට ණය ගැනීමේදී පමණක් නොව විදේශීය ඍජු ආයෝජකයන් රටට ආකර්ෂණය කර ගැනීමේදී ද මේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට හෙළා තිබීම අහිතකර ලෙස බලපායි. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් එළිදක්වන මෙවැනි වාර්තා සම්බන්ධයෙන් අපට තර්ක විතර්ක ගෙන ආ හැකි නමුත් එය අප දැන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට විසඳුමක් වන්නේ නැත.

මෙරටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් පවතින ආර්ථික අර්බුදය ගැන අවධානය යොමු කරමින් කටයුතු කරන්නේ නම් ප්‍රතිපත්තිමය වශයෙන් හා ප්‍රතිසංස්කරණ අතින් අපට මීට වඩා සෑහෙන දුරකට ගමන් කිරීමට හැකියාව තිබුණි. එවැන්නක් සිදු නොවී තිබීමෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ අපේ අරමුණුවල ඇති පරස්පරභාවයයි. ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අරමුණ රට දැන් ඇද වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමද නැත්නම් වෙනත් එකක්ද යන ප්‍රශ්නය මතු කළ යුතුය. අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ පිළියම් නොයෙදූ හෙයින් අපේ රටේ ව්‍යුහාත්මක ප්‍රශ්න මේ වෙන විට ඔඩුදුවා ඇත. ප්‍රතිපත්තිවල ඇති අසංගතභාවය නිසා බොහෝ දේවල් අවුල්සහගත තත්ත්වයට පත්ව ඇති බවක්ද නිරීක්ෂණය කළ හැකිය. ක්‍රමානුකූල නිශ්චිත අරමුණක් සහිත සහ සමස්තයම ආවරණය වෙන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ අප අමතක කර දමා ඇත. ඒ වෙනුවට එදිනෙදා මට්ටමෙන් ගත් තීරණ නිසා තිබුණු ව්‍යාපාරික පරිසරයද අවුල් කර තිබේ. 2022 වසරේදී ආර්ථිකය ගොඩ ගැනීමට කුමක්ද කළ යුත්තේ කියන ප්‍රස්තුතය ගැන අපට සාකච්ඡා කිරීමට සිදු ව තිබෙන්නේ මෙවැනි සන්දර්භයකය. එය වෙනස් කිරීමට නම් එදිනෙදා ප්‍රතිපත්ති සකස් කිරීම වෙනස් කර ඒ වෙනුවට ස්ථිර ප්‍රතිපත්ති සකස් කළ යුතුය.

ඒවා මගින් රටේ ජනතාවට ව්‍යාපාරිකයන්ට ආයෝජකයන්ට රට ගෙන යන දිශාව ගැන පැහැදිලි දැක්මක් ඉදිරිපත් කළ යුතුය. එහිදී අනුගමනය කරන ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති කවරේද යන්න පිළිබඳවත් නිරවුල් පැහැදිලි කිරීමක් කළ යුතුය. එහිදී ආයෝජන හා අපනයනවල ඇති වැදගත්කම ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම අවැසිය.

ලංකාවට ආයෝජකයන් නොඑන්නේත් අපනයන වැඩි නොවන්නේත් ඇයිද යන ප්‍රශ්න ද්වයටම ආමන්ත්‍රණය කිරීමට හැකි වුවහොත් මේ ආර්ථික අර්බුදයෙන් රට මුද‌ාගෙන ඉදිරි අවුරුදු කීපයේදී රට වෙනස් කළ හැකි වනු ඇත.

නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමද ඉතා වැදගත් වෙන නමුත් එමගින් ඉලක්ක කළ යුත්තේ ලංකාවේ වෙළෙඳපොළ පමණක් නොව ලෝක වෙළෙඳපොළ ද ඉලක්ක කළ යුතුය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)