මේ වන විට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගන්නා දිනය අගෝස්තු 15 වැනි දින ලෙසත් ඡන්ද දිනය සැප්තැම්බර 21 වැනි දින ලෙසත් ප්‍රකාශයට පත් කරනු ලැබ හමාරය.
මෙය ලියන මොහොත වන විට ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශකර ඇති ප්‍රධාන ධාරාවේ පක්ෂ හා සන්ධාන තුනකි. ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද දැන් ස්වාධීන අපේක්ෂකයෙකි. අවුරුදු 73 ක පක්ෂ ඉතිහාසයේ 2020 මැතිවරණයෙන් අන්ත පරාජයක් ලත් එ.ජා.පයේ වසර 30 ක් නායකයා වන හුදකලා ජාතික ලැයිස්තු මන්ත්‍රී වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දීමත් විස්මයජනක කතාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති විසින් අගමැති ලෙස පත් කරනු ලැබන්නේ පාර්ලිමේන්තුවෙහි බහුතරයකගේ සහාය ඇතැයි විශ්වාස කෙරෙන මන්ත්‍රීවරයෙකි. එනිසා තෝරා ගත යුතු වූයේ ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) ප්‍රධාන ඇමතිවරයකු හෝ මන්ත්‍රීවරයකුය. එහෙත් අගමැති ලෙස තෝරා ගැනෙන්නේ අවුරුදු 02 ට පෙර මැතිවරණයෙන් අතු ගෑවී ගිය ජා.ජ.බයේ ඡන්ද ප්‍රතිශතයෙන් අඩකට මඳක් වැඩි වූ ඡන්ද සියයට 02.2 ක් ලැබුණ එ.ජා.පයේ නායකයා වන හුදකලා මන්ත්‍රී වික්‍රමසිංහය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය අතහැර ගිය පසු ඔහු ජනාධිපති ලෙස තෝරා ගනු ලබන්නේ ඒ වනවිට දේශපාලනිකව අතරමංව සිටි පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් 134 කගේ ඡන්දයෙනි.
“හතර බිහිරි කතාවක්” වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම දැන් සාධාරණය කෙරෙන්නේ, අත පල්ලෙන් වැටුණු රට බේරා ගත්තේ ඔහු යැයි කීමෙනි. ඔහු නැවත ජනාධිපති වන්නට ඡන්දය ඉල්ලන්නේ ද එය කීමෙනි. විවෘත වෙළඳපොළකට විදේශ ආයෝජකයන් සොයන්නට ගිය ඒ අවුරුදු 45 ක ඉතිහාසයේ අප යෝධ ණය කන්දකට යටවී මහා ආර්ථික අගාධයකට වැටීමේ වගකීමෙන් පස් වරක් අගමැතිව සිටි, හැම එ.ජා.ප ආණ්ඩුවකම වැදගත් ඇමති ධූර ගණනාවක් භාර වූ සහ විටෙක මුදල් ඇමති වූද රනිල් වික්‍රමසිංහ ද වගකිව යුතු බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඒ ආණ්ඩු සමහරක ඔබද සිටි බව අමතක නොවන්නකි. වගකීම් බාර ගැනීම මග හැරියාට මේ ජනාධිපතිවරණයෙහි ප්‍රමුඛ පෙළ අපේක්ෂකයකු වන ඔබ ද තවමත් කතා කරන්නේ බංකොලොත් වූ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙන් රට ගොඩ දැමීම සඳහාය.
එබැවින් මම ඔබගෙන් මෙසේ අසමි. “ඔබ අනාගත ශ්‍රී ලංකාව දකින්නේ මොන වගේ ශ්‍රී ලංකාවක් ලෙස ද?” මා අසන්නේ “ආසියාවේ තාක්ෂණ කේන්ද්‍රය” හෝ “දකුණු ආසියාවේ ආනයන-අපනයන මධ්‍යස්ථානය” වැනි හිස් සන්නාහ නාම සම්බන්ධව නොවේ. මා අසන්නේ මේ රටේ උතුරේ හා දකුණේ ජනතාවගේ ජීවන රටා හා ජීවන තත්වය ඔවුන්ගේ ආදායම් මාර්ග පාරිසරික තුලනය හා සුරක්ෂාව සම්බන්ධයෙන් ඔබ දකින ශ්‍රී ලංකාව මොන වගේ ශ්‍රී ලංකාවක් ද යන්නය.
මෙතෙක් ඉතිහාසයේ කිසිදු මැතිවරණයකට පෙර උතුරේ හා දකුණේ කිසිදු ඡන්දදායකයකු එම ප්‍රශ්නය ඔබගෙන් හා ඔබගේ පක්ෂයෙන් අසා නැත. එවැන්නක් ඇසීමට සාමාන්‍ය ඡන්දදායකයන් තබා නාගරික සමාජයේ උගතුන් වෘත්තිකයන් හෝ නැති හෙයින්, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් තෝරා පත් කෙරෙන්නේ අනාගත ශ්‍රී ලංකාවක් ගැන දැක්මක් අදහසක් ඇති මන්ත්‍රීවරුන් ලෙස නොවේ.
මැතිවරණ සඳහා ඉදිරිපත්වන දකුණේ අපේක්ෂකයන්ගේ දේශපාලනය තේරුම් ගත හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ ජනාධිපතිවරණයේ දී තීන්දු ගන්නා අයුරින්ය. පොහොට්ටු පක්ෂයෙන් කල් තබා ඉවත් වූ කණ්ඩායම් අලුත් පෙරමුණු හදා ගත්තේත් අනුන්ගේ පෙරමුණුවලට ගාව ගත්තේත් ඒවායින් තරග කරන විට 2019 ජනාධිපතිවරණයෙන් පසු කඩා වැටුණා යැයි කියන රටේ ආර්ථිකය බංකොලොත්වීමේ වගකීම් අත හැර ඒ සියලු වගකීම් රාජපක්ෂලාට බාර කර නිදහස්වීමෙන් “රාජපක්ෂ විරෝධය” මත ඡන්ද ලබා ගත හැකි යැයි සිතීමෙනි. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයි නැතිනම් තරග කරනවා නම් පොහොට්ටුවේ සහාය ඇතිව තරග කරනු ඇතැයි සිතා සිටි පොහොට්ටුවේ තවත් මන්ත්‍රී කණ්ඩායමක් රනිල් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ඇප බැන්දාට පසු සහ පොහොට්ටු නායකයන් ඔහුට සහාය නොදෙන්නේ යැයි තීන්දු කළ විට පක්ෂයේ තීන්දුව කුමක් වූවත් ඔවුහු රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රසිද්ධියේ කියන්නාහ. “රට බේරා ගත් ජනාධිපති රනිල් රට ඉදිරියට ගෙන යාමට නැවත ජනාධිපති කිරීම සඳහා” පෙනී සිටීමෙන් ලබන වාරයේ ඔවුන්ට පාර්ලිමේන්තු එන්නට හැකි වෙතැයි ඔවුහු ගණන් හදති. අවසන් වශයෙන් මේ සියලු කණ්ඩායම් ගණන් බලන්නේ ඊළග මැතිවරණයෙන් ඔවුන්ට පාර්ලිමේන්තුවට එන්නට හැකි වඩා ආකර්ශනීය විසඳුම කුමක්ද යන්නය.
ඔවුන් ගණන් නොහදන කාරණාව වන්නේ ඡන්දදායකයා තම ඡන්දයදීම තීන්දු කරන්නේ කවර කාරණවක් හෝ කරණා මතද යන්නය. එය නාගරික හා අර්ධ නාගරික සමාජයේත් ග්‍රාමීය සමාජයේත් එකම කාරණා නොවේ. නාගරික මැද පන්තික කාන්තාවන් හා ග්‍රාමීය සමාජයේ තරුණ හා වැඩිමහල් කාන්තාවන් අතර එය වෙනස්ය. “රාජපක්ෂ විරෝධය” ගමට බලපාන්නේ නගරයේ මැදපාන්තිකයන්ගේ අර්ථකතන අනුව නොවේ. දකුණේ ග්‍රාමීය සමාජයට එය සැසඳෙන්නේ “සිංහල-බෞද්ධකම” සමගය. ආර්ථික කඩා වැටීම හා රට ගොඩ දැමීමත් නගරයේ එක කතාවකි. ගමේ වෙන කතාවකි. රටේ ආර්ථිකය කඩා වැටීම නගරයට අර්ථ ගැන්වෙන්නේ විදුලිය කප්පාදු, ඉන්ධන පෝලිම්, ගෑස් හිඟවීම සහ පාසල් ප්‍රවාහන සේවා වාහන නොපැමිණීම වැනි කාරණා නිසා ඔවුන්ගේ සුපුරුදු සුව පහසු දෛනික ජීවිතය අඩාළ වීම මතය. ගමට එය අර්ථකතනය වූයේ වගාවට වතුර පොම්පකර ගැනීම, අස්වනු කැපීමට යන්ත්‍ර නොමැතිවීම, අස්වනු එකතුකරන පුරුදු අතරමැදියාගේ වාහනය නොපැමිණීම වැනි කාරණා නිසා ඔවුන්ගේ ආදායම් අහිමිවීම හේතුවෙනි. මාස කිහිපයක ආදායම් අහිමිවීම නගරයට මෙන් ඉන්ධන ලැබුණු පමණින් සුව වන්නක් නොවේ.
ජනාධිපති වික්‍රමසිංහ පැමිණ ආර්ථිකය ගොඩ දැම්මා යැයි කියන්නේ විදේශ ණය ආපසු ගෙවීමේ ආර්ථිකයක් තහවුරු කෙරුවා යැයි කීමක් නොවේ. ණය සඳහා වූ පොලී කපා හැරියා යැයි කීමක් නොවේ. මින් මතු අලුතින් ණය නොගන්නා ආර්ථිකයක් හැදුවා යැයි කීමක් ද නොවේ. රට ගොඩ දැම්මා යැයි කියන්නේ කඩා වැටුණු නාගරික මැදපන්තික ජීවිත වෙනුවෙන් ඉන්ධන හා ගෑස් හිඟය පියවා ගැනීමට, ඇමෙරිකානු සහාය ඇතිව අලුතින් ණය ගැනීමේ අවකාශයක් හදා ගැනීම පමණි. තේරෙන භාෂාවෙන් කියනවා නම්, රට ගොඩ දැම්මා යැයි කියන්නේ නාගරික මැදපන්තියට නැවත ඔවුන්ගේ සුපුරුදු සුව පහසු දෛනික ජීවිතය හදා දුන්නා යැයි කීමකි.
එහෙත් ආර්ථික අර්බුදය වූයේ නාගරික මැද පන්තියේ කතාව නොවේ. අවුරුදු 45 ක විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි වර්ධනය වූ අර්බුදය වන්නේ, අපගේ ආනයන වියදම පියවීම සඳහා අපනයන ආදායම ප්‍රමාණවත් නොවීමත් “සංවර්ධනය” යැයි ලේබල් ගැසූ යෝධ ව්‍යාපෘති වෙනුවෙන් ආණ්ඩු විසින් විදේශ ණය ගැනීමත්ය. ජයවර්ධන ජනාධිපති ආර්ථිකය ලිහා දමන්නට පෙර 1977 දී වෙළෙඳ ශේෂය වූයේ ඩොලර බිලියන 0.2 කි. එය 1980 සිට 2000 දක්වා ඩොලර බිලියන 0.9 සිට 01.7 අතර දෝලනය විය. 2008 වන විට එය ඩොලර බිලියන 05.7 දක්වා ඉහළ ගියේය. පසුගිය වසර කිහිපයේ වෙළෙඳ හිඟය දළ වශයෙන් ඩොලර බිලියන 05 ත් 06.5 ත් අතර විය. ඒ සමස්ත විදේශ ණය ප්‍රමාණය නොවේ. ඒ විදේශ වෙළඳ ශේෂය ඉතිරි වූයේ සාම්ප්‍රදායික අපනයන වන තේ, පොල්, රබර් වලට අමතරව, අතුරු බෝග, සංක්‍රමණික ශ්‍රමික සහ තොරතුරු තාක්ෂණික සේවා ඉපැයීම්වලට අමතරව බදු සහන බදු විරාම ඇතුළු විවිධ වරප්‍රසාද වරදාන ලබා දෙමින් කැඳවා ගත් විදේශ ආයෝජකයන්ගේ අපනයන ආදායම ද එකතු වූ පසුවය.
ජනාධිපති වික්‍රමසිංහ මේ අර්බුදයෙන් රට ගොඩ දැම්මේ යැයි කීවත් සිදුව ඇත්තේ අලුතින් තාර පාරක් වත් නොහදා තව ණය වීම පමණි. වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්ව සය මසක් ගිය පසු 2023 පළමු කාර්තුවේ ඩොලර බිලියන 50.9 ක් වූ විදේශ ණය, ඒ වසරේ අවසන් කාර්තුවේ ඩොලර බිලියන 54.8 දක්වා ඉහළ ගොස් මේ වසරේ (2024) පළමු කාර්තුව වනවිට ඩොලර බිලියන 55.4 දක්වා ඉහළ ගොස් ඇත.
රට ගොඩ යාමට නම්, ණය වැඩි වන්නට නොව අඩු වන්නට සැළසුම් තිබිය යුතුය. ඒ වගේම මේ විවෘත වෙළෙඳපොළ සමග ගෙවුණු අවුරුදු 45 ක කාලයේ බරපතළ ලෙස කඩා වැටුණු සමාජ පැවැත්ම, සමාජයේ හර පද්ධතී හා වටිනාකම් කියා පාන,
දහස් ගණනින් දෛනිකව මෙන් සිදුවන ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය, ලිංගික ළමා අපචාර, ළමා හිංසන, කැලෑ කැපීම්, අනවසර ලෙස ඉඩම් අල්ලා ගැනීම්, ඉඩම් ගොඩ කිරීම හා ගොඩනැගිලි ඉදි කිරීම් මේ කාරණා හේතුවෙන් නිරන්තර නාය යෑම් වෙරළ ඛාදනය ඇතුළු පරිසර විනාශ හා දේශගුණික විපරියාස,
කප්පම් ගැනීම්, මත් ද්‍රව්‍ය ජාවාරම්, කොන්තරාත් මිනී මැරීම්, ඔරොත්තු නොදෙන තරමට වර්ධනය වන බන්ධනාගාර තද බදය, නොවිසඳුණු නඩු සංඛ්‍යාව දස ලක්ෂයක් ඉක්ම යාම සහ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි, රෝහල් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවේ සහ දුම්රිය සමග පොදු මගී ප්‍රවාහනයෙහි ඇති ශීඝ්‍ර ගරා වැටීම සඳහා ස්ථාවර විසඳුම් තිබිය යුතුය. ඒ කිසිත් ගැන කතා නොකර, රට ගොඩ දැමීම ගැන හේතු දැක්වීම් නැති කතා කීම බරපතළ වංචාවකි.
ඔබගේ වාසනාව නම්, අවුරුදු 93 ක් පුරා සර්වජන ඡන්දය භාවිත කෙරෙන මේ රටේ ඡන්දය භාවිත කළ යුත්තේ කුමක් සඳහා දැයි තවමත් ඡන්දදායකයා නොදැන සිටීම ය. අපේක්ෂකයන් සිතන්නේ ඔවුන් ඡන්දය ඉල්ලා සිටිය යුත්තේ විරුද්ධවාදීන්ගේ වර්ගය, ජාතිය, ආගම, ඔවුන්ගේ පෞද්ගලික අඩු පාඩු, දොස් පරොස් හෑල්ලු කරමින් යැයි කියා ය. සමාජ ආර්ථික අර්බුදය කුමක්දැයි කීමට නොදන්නා මන්ත්‍රීවරුන්ට විසඳුම් වෙනුවෙන් පෙනී සිටින්නට, කතා කරන්නට වෙනත් මාතෘකා ද නැත.
එනිසාම ඡන්දය සතු “සමාජ වගකීම” සම්බන්ධ වැදගත් සමාජ කථිකාවක් වහා ආරම්භ කළ යුතුව ඇත. එය ඡන්දදායකයා සමග දිග හැර ගැනීමේ පරම වගකීමක් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඔබට ඇත. එනිසා දැන් මා නැවත අසන්නේ ඔබ අපේක්ෂා කරන්නා වූ ශ්‍රී ලංකාවක් තිබේද? ඔබ අපේක්ෂා කරන ශ්‍රී ලංකාවක් තිබේනම් එවැන්නක් සඳහා ඔබගේ සැලසුම් මොනවාද? මැතිවරණයක දී ඡන්දය භාවිත කිරීම සඳහා එවැනි ජාතික “සංවර්ධන” සැලසුමක් සමාජ කථිකාවකට නියත ලෙස බඳුන් විය යුතුය යන්නය. එය හැම මැතිවරණයකටම ඉදිරිපත් කරන “මැතිවරණ ප්‍රකාශනය” යැයි වන පොරොන්දු ලේඛනය නොවේ යැයි ද මම කියමි.
ඡන්දයෙහි ඇති සමාජ වගකීම ඡන්දදායකයාට ඒත්තු ගැන්වීමේ දී
අවම ජාතික මාසික වැටුප සමග පාර්ලිමේන්තුවට වගකිව යුතු “ජාතික වැටුප් හා සේවා ප්‍රතිසංස්කරණ සඳහා වන සභාව” වැනි ත්‍රෛපාර්ශවීය ආයතනයක් පිහිටුවීම සිවිල් හා මූලික අයිතිවාසිකම් ඇතුළත් “ජාතික ශ්‍රම ප්‍රතිපත්තිය” සමග ඡන්දයෙන් පත් කෙරෙන ජනතා නියෝජන සභා සක්‍රීය ප්‍රජාතන්තවාදී ආයතන ලෙස ස්ථාපිත කිරීම ජාතික අධ්‍යාපනය, සෞඛ්‍ය හා පොදු මගී ප්‍රවාහනය දියුණු කිරීම සම්බන්ධ ඔබ පක්ෂයේ යෝජනා ඇතුළත් ධවල පත්‍රිකා පක්ෂයට අනුබද්ධ සියලු සංවිධානවල අනුමැතිය ඇතිව වහා ප්‍රකාශයට පත් කළ යුතු යැයි මම කියමි. වැදගත් සමාජ සාකච්ඡා සමග තමන්ගේ තේරීම වෙනුවෙන් ඡන්දදායකයාට සැළකිය යුතු කාලයක් අවශ්‍ය වන හෙයින්ය.
මෙය ප්‍රමුඛ පෙළ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඔබට කෙරෙන විවෘත ආමන්ත්‍රණයකි.
(***)
කුසල් පෙරේරා