කොවිඩ් වයිරස ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාව ද නරක තැනකට දෛනිකව තල්ලු වෙමින් තිබේ. නිදසුනකට ජනගහණයට සාපේක්ෂව විමසා බැලුවොත් මෙරට දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉන්දියාවේ මෙන් දෙගුණයකි. ඊට ප්‍රමුඛ විසඳුමක් හැටියට සැලකෙන එන්නත්කරණයෙන් ද අපේක්ෂිත ඉලක්ක කරා යන්නට තවම අපට හැකි වී නැත. සැබැවින්ම ගෝලීය වශයෙන් ගත්තත් එන්නත්කරණය ප්‍රශස්ත ලෙස කළ රටවල් හා නොකළ රටවල් ලෙස කාණ්ඩ දෙකක් දැකිය හැකිය.
අවාසනාවන්ත ලෙස අප මේ වනවිට අයත්වන්නේ දෙවැනි කාණ්ඩයටය. උදාහරණයක් හැටියට ගතහොත් මාත්‍රා එකක් 10% කට තරමක් වැඩි පිරිසකට එන්නත් කරද්දී මාත්‍රා දෙකම එන්නත් කරගත හැකිව තිබෙන්නේ තවමත් 5%කට අඩු පිරිසකටය.
එන්නත්කරණයේ මූලික අරමුණ විය යුත්තේ කොවිඩ් වයිරස ව්‍යාප්තියත් මරණ සංඛ්‍යාවත් අවම කරගැනීමය. එහෙත් අපේ රටේ අවාසනාව වන්නේ කවර විපතකදී වුව විසඳුම් සමග යටි අරමුණු ගැටගැසීමය. එය මේ ආණ්ඩුවට පමණක් අනන්‍ය ලක්ෂණයක් නොව පක්ෂ භේදයකින් තොරව හටගෙන ඇති අගතියකි. එන්නත් නිපදවන සමාගම්වලින් තොග ඇණවුම් කිරීම පමාවීම අපේ රටේදී සිදු වූ පළමු වරදය.
එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් තීන්දු ගත යුතු තැන්වල සිටි පිරිස්වල පුද්ගලයන් කීප දෙනකු හැරුණු විට සෙස්සන් කණ්ඩායමක් ලෙස තීරණ නොගැනීම ඊට බලපෑවේය. මේ නිසා එන්නත් සම්බන්ධයෙන් ඇති විය යුතුව තිබූ සමාජ සංවාදය ද යටගිය අතර ඒ කාලයේදී අප දුටුවේ වෙනත් ආදේශක පසුපස හඹා යන තත්ත්වයකි. එහි ප්‍රතිඵලය වූයේ එන්නත්කරණය ආරම්භවීම පමා වීම පමණක් නොවේ. එන්නත්කරණය ආරම්භ වූ පසු එය ලබාගැනීමට රට තුළ අනවශ්‍ය කලබලයක් ද නිර්මාණය වීමය.
එන්නත්කරණය සම්බන්ධයෙන් ගත්විට කොවිෂීල්ඩ් එන්නත අප අනුමත කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කිරීමට පෙරය. ස්පුට්නික් එන්නත මාර්තු 04 වැනිදා අනුමත කළේ ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතියට පෙරය. හැකිතරම් එන්නත් ලබාගැනීම එයින් අපේක්ෂා කළ නමුත් ස්පුට්නික් එන්නත ගෙන්වාගැනීමට හැකිවුණේ තීරණයෙන් මාස එකහමාරකට පසු අප්‍රේල් මස අගදීය. ඒ සමයේ ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටු සාමාජිකයකු හැටියට මම ද කටයුතු කළෙමි.
මගේ නම නොකීවත් ඇතැම් පාර්ශ්ව සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් මා හට අනියම් ලෙස චෝදනා කළ අතර වගකිව යුතු පාර්ශ්ව පවා වැරැදි ප්‍රකාශ කළහ. මම එන්නත් සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීම සඳහා පත්කළ අට දෙනකුගෙන් යුත් විද්වත් කමිටුවේ එක් සාමාජිකයකු පමණි. එන්නත්කරණය කඩිනම් කිරීම සඳහා අපට පොදු අරමුණක් තිබුණත් ඊට අදාළ තුන් වැනි අදියරේ දත්ත අපට ලැබී තිබුණේ නැත. එනිසා අනුමැතිය දීමට අදාළ දත්ත ලබාදෙන්නැයි මාර්තු 17 වැනිදා අපි ඉල්ලීමක් කළෙමු. ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ ඒ වෙනුවට අලුතින් විද්වත් කමිටුවක් පත්කරගැනීමය. එහෙත් ඒ නව කමිටුව පවා සයිනොෆාම් එන්නත අනුමත කළේ නැත. අවශ්‍ය නම් ඖෂධ නියාමන අධිකාරියට මේ විද්වත් කමිටු පසෙකලා දේශපාලන තීරණයක් ගැනීමට ද අවස්ථාව තිබිණ.
එහෙත් එවැන්නක් පවා නොකොට ඒ වෙනුවට කෙරුණේ විද්වත් කමිටුව දෝෂදර්ශනයට ලක්කිරීමය. එයින් වූයේ කාලය නාස්තිවීම පමණි. සයිනොෆාම් එන්නතට අවසානයේදී අනුමැතිය ලැබුණේ මැයි 8 වැනිදාය. අවශ්‍ය දත්ත ලබා දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණේ මැයි 6 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා මීට අදාළ දත්ත ලබාදුන්නේ පමාවීය. නිදසුනක් හැටියට සයිනොෆාම් සඳහා අනුමැතිය දෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වෙබ් අඩවියේ මාර්තු මුල සඳහන් කළත් ඊට අනුමැතිය ලැබුණේ මැයි මාසයේය. විද්වත් කමිටු අනුමැතිය ලැබුණා නම් එන්නත් ලක්ෂ හැටක් ප්‍රදානයක් ලෙස රටට ලැබෙන්නට තිබූ බවට විවිධ ව්‍යාජ ප්‍රකාශ පවා පළ වූ අතර ඒවාට ඉහළ ප්‍රසිද්ධියක් ද ලැබුණේ මේ කාලයේය.
එන්නත් ගෙන්වාගැනීමට අවංක කැපවීමක් තිබූ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවා එක් අවස්ථාවක දේශපාලකයකු සේ පැවැසුවේ සිය ගබඩාවේ තිබූ එන්නත් භාවිත කර සිංහල අවුරුද්දට පෙර වයිරස ව්‍යාප්තිය වළක්වාගැනීමට තිබූ බවය. එය ඉතාම වගකීම් රහිත ව්‍යාජ ප්‍රකාශයක් විය. මන්දයත් මෙරටට එම සයිනොෆාම් එන්නත් තොගය ලැබුණු මාර්තු 20 වැනිදා සිට බැලුවත් ප්‍රතිශක්තිය ලැබීමට සති හයක කාලයක් ගතවන බැවිනි. මෙවැනි නොමඟ යවන සුළු ප්‍රකාශ කරමින් මේ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසියාකාරව කළ හැක්කක් නොවේ. මන්දයත් මෙවැනි ප්‍රකාශ කළ පසු ඒවායේ අවිද්‍යාත්මකභාවය පැහැදිලි කිරීමට ඒ හා සමාන අවස්ථාවක් ජනමාධ්‍යයෙන් ද නොලැබෙන බැවිනි.
කෙසේ වෙතත් දැන් විමසිය යුත්තේ මෙතැන් සිට ඉදිරියට කළයුත්තේ කුමක්ද කියාය. ලංකාවට වැඩියෙන්ම දැනට ලැබී ඇත්තේ සයිනොෆාම් එන්නතයි. නිදසුනකට දින 10කට වතාවක් අපට සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 බැගින් ලැබෙන්නේ යැයි සිතමු. සයිනොෆාම් එන්නතින් ප්‍රතිශක්තිය ලැබීමට අනිවාර් යෙන්ම මාත්‍රා දෙකක් ලබාදීම අත්‍යවශ්‍යය. දැනට මෙරට වැඩිම වශයෙන් එන්නත් ලබා දී ඇත්තේ දිනකට 65,000 කි. අවශ්‍ය නම් එය ලක්ෂයක් දක්වා ඉහළ දැමීමේ හැකියාව අපට තිබේ. අප එසේ දිනකට එන්නත් මිලියන ලක්ෂයක් ලබාදෙන්නේ යැයි උපකල්පනය කළහොත් පුද්ගලයන් ලක්ෂ 30කට එන්නත්කරණයට මාස දෙකක කාලයක් ගත වේ. අවුරුදු 18ට වැඩි පිරිස ගත්තොත් එන්නත්කරණයට ලක්ෂ 130 - 140 ක් අතර පිරිසක් වෙති. ලක්ෂ 30 ක් යනු මේ පිරිසෙන් 20%ක් වැනි අගයකි. එවිට දිනකට ලක්ෂයකට එන්නත් අඛණ්ඩව ලබාදුන්නත් මේ ජන කොටසින් සියයට 20 කට එන්නත්කරණයට මාස දෙකක කාලයක් ගත වේ. එන්නත්කරණයට කෙතරම් බරක් දැමිය යුතුදැයි වැටහෙන්නේ මෙසේ ගණන් දැක් වූ විටය.
එහෙත් දිවයිනේ දිස්ත්‍රික් හා ප්‍රදේශ මට්ටමින් සිදුවන එන්නත්කරණයේ ගණන් හිලව් නිසියාකාරව සකස් කරගැනීමට අසමත් වූ බව අප පිළිගත යුතුය. මේ නිසා සිදු වූ අගතීන් නැතුවා නොවේ. නිදසුනක් හැටියට මේ වනවිට වයස අවුරුදු 60 ට වැඩි කොරෝනා මරණ ප්‍රතිශතයක් හැටියට ගත්විට එංගලන්තයට වඩා ලංකාවේ වැඩිය.
ඊට හේතුව නම් එන්නත්කරණයේදී එංගලන්තය සිය අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට ප්‍රමුඛතාව දීමය. ඇත්ත වශයෙන්ම සමාජයේ වැඩිපුර ගැවසෙන කණ්ඩායම් වේ නම් ඔවුන් කලාකරුවන්, මාධ්‍යවේදීන් හෝ කවර සමාජ කණ්ඩායමක් නියෝජනය කළ ද ඔවුන්ට එන්නත ලබාදෙනවාට මම පුද්ගලිකව විරුද්ධ නැත. මා කියන්නේ ඉදිරිපෙළට සහ මේ කියන පිරිසට එන්නත ලබාදෙන අතරේම වුව ප්‍රමුඛතාව වැඩිහිටියන්ට දුන්නේ නම් එන්නත්වලින් 80-90% ක් පමණ අවුරුදු 60 ට වැඩි පිරිසට භාවිතවීමට ඉඩ තිබිණ. ඉන්පසු භාවිත කරන්නට තිබුණේ නිධන්ගත රෝගාබාධයෙන් පෙළෙන පිරිසටය. එසේ වී නම් සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් අඩු කරගන්නට අපට හැකියාව තිබිණ. එහෙත් එන්නත්කරණය එවැනි පාරදෘෂ්‍යභාවයකින් යුතු වැඩපිළිවෙළක් නොවීය. මෙයට ඍජුවම වසංගත රෝග අංශය වගකිවයුතු බව පැහැදිලිය. එහෙත් එය දැනගත් පසු ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමය. දැන් ප්‍රශ්නය ඇත්තේ ඒ සම්බන්ධයෙන් පියවරක් නොගැනීමය.
කොවිඩ් මර්දනයේදී අනුගමනය කළ වැරැදි පිළිවෙත් රැසක්ම වන අතර ඊට එක් ප්‍රසිද්ධ උදාහරණයක් කොවිෂීල්ඩ් එන්නත උපරිම ලෙස භාවිත කරගැනීමට තාක්ෂණිකව නිර්ණය කරගැනීමට තිබූ නොහැකියාවය. සයිනොෆාම් එන්නත් කුප්පියක ඇත්තේ මාත්‍රා දෙකකි. එහෙත් කොවිෂීල්ඩ් එන්නත් කුප්පියක මාත්‍රා 10කි. එහි මාත්‍රාවක් මිලි ලීටර් 0.5ක් වන අතර එක් කුප්පියක මිලි ලීටර් 6.5ක් අන්තර්ගත වේ. ඒ අනුව එක් කුප්පියකින් අඩුම තරමින් මාත්‍රා 12ක් හෝ 11ක් භාවිතයට ගතහැකිය. එහෙත් ආරම්භයේදී එයින් භාවිත කළේ මාත්‍රා 10කි. මෙයට කෙළින්ම වගකිවයුත්තේ වසංගත රෝග විද්‍යා අංශයයි.
අප ද ඇතුළුව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැනි වෛද්‍යවරුන් මේ කරුණ තදින්ම සෞඛ්‍ය සේවා ජනරාල්වරයාට අවධාරණය කරද්දීත් ඊට එරෙහි වූයේ වසංගත රෝග විද්‍යා අංශයේ තිදෙනෙකි. එහි ප්‍රතිඵලය වූයේ කොවිෂීල්ඩ් එන්නත්කරණය ආරම්භයේදීම මාත්‍රා 18,000ක් භාවිතයට නොගෙන විසිකරන්නට සිදුවීමය. ගිය හකුරට නාඬන්නේ තිබෙන හකුර රැකගන්නේ යනු අපට හුරු ගැමි පිරුළකි. කොවිඩ් වයිරසයට අදාළව ගත්තත් රට ඇත්තේ එවැනි තත්ත්වයකය.
එහෙත් එවැනි තත්ත්වයක පවා අවාසනාවන්ත ලෙස අප අපේ වගකීම්සහගතභාවය හඳුනාගෙන ඇති බවක් නොපෙනේ. නිදසුනක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හැටියට අප කිසිදු අවස්ථාවක එන්නත් ප්‍රමුඛතාව වෛද්‍යවරුන්ට හෝ විශේෂඥ වෛද්‍යවරුන්ට හෝ ඔවුන්ගේ පවුල්වල උදවියට දෙන්නැයි ඉල්ලීම් කළේ නැත. මේ ප්‍රශ්නය මතුවුණේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාවේ හිඟයක් ඇතිවීමෙනි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 15 කට මුදල් ගෙවූවත් සීරම් ආයතනයෙන් අපට ලැබුණේ එන්නත් ලක්ෂ 5කි. ගැටලුව ආවේ මෙතැනිනි. මේ අර්බුදය කල්තියා දුටු නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මැයි 11 වැනිදා ඉල්ලීමක් කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවෙස්වල පිරිස් ගැන අවධානය යොමු කිරීමටය. එහෙත් ඊට පහුවැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අප මෙන්ම ලිඛිත ඉල්ලීමක් කිරීමකින් නොනැවතී සෞඛ්‍ය ඇමැතිවරිය හමු වී ඉල්ලීමක් කළේය. ඒ වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි ඉතිරිව තිබුණේ දෙදහසකට තරමක් වැඩි සංඛ්‍යාවකි. එයින් අර්ධයක්ම වෙන්කර තිබුණේ සිය පළමු මාත්‍රාව ගත් වකුගඩු හා පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ජනතාවටය.
සෞඛ්‍ය සේවාවේ අනෙක් සියලුම වෘත්තිය සමිතිවලට නැති දේශපාලන බලවත්කමක් තිබූ නිසා ඉතිරි එන්නත් සංඛ්‍යාව සිය පවුල්වල උදවියට භාවිතයට ගන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැකි විය. කවර තර්ක දැන් ඉදිරිපත් කළත් එන්නත් හිඟයක් ඇති අවස්ථාවක සිය සිවිල් බලය භාවිත කරන්නට යෑම ආචාරධාර්මික නැත. එනිසා මෙවැනි ක්‍රියාවලියක් සිදුවන බව දැනගත් විගසම ඊට ඉඩ නොදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් අපි කඩිනමින් දැනුම් දුන්නෙමු. එන්නත්කරණයට බාධා පමුණුවීම මෙන්ම සෞඛ්‍ය සේවාවේ බෙදීම් හටගැනීමටත් මෙම තත්ත්වය තුඩුදෙන බව අපි අවධාරණය කළෙමු. එහෙත් එය වළක්වාගන්නට ආණ්ඩුවට ද බැරි විය. දැන් එපමණටම ඔවුන්ගේ ග්‍රහණය දැඩි වී තිබේ. දීමනා ප්‍රශ්නය ආවේ ඉන්පසුය.
මා දන්නා තරමට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා වැඩිකර නැත. එහෙත් මේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කීමට පොදු කරුණක් මට තිබේ. එනම්, මේ දීමනා ඉල්ලන පිරිසත් ඊට එරෙහිව විරෝධය දක්වන පිරිසත් සටන් කරන්නේ ඊට සුදුසු වටපිටාවක නොවන බවය. මේ කවර මාර්ගයකින් වුව අවදානමේ වැටෙන්නේ රෝගී ජීවිතයි.
වෘත්තිකයන්ගේ විශිෂ්ටත්වය මූර්තිමත් කරනු ලැබෙන්නේ වෘත්තිකයන් හැටියට ඉල්ලීම් දිනාගැනීමේදී පවතින සමාජ සන්දර්භය ඊට කෙතරම් ගැලපේදැයි කල්පනා කිරීම විසිනි. ඉතින් මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය සේවාව පිල් බෙදී කල්ලි ගැසීම විසින් ලොකුම අනර්ථය සිදුකරනු ලබන්නේ ජනතාවටය.
කොවිඩ් මර්දනය යනු සාමූහික ප්‍රයත්නයකි. එය සෞඛ්‍ය සේවාවේ කිසිදු වෘත්තිය කණ්ඩායමකට තනිව කළහැක්කක් නොවේ. අනෙක් අතට රෝහල් වාට්ටුවේදී වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා සුළු සේවකයන් අතර ඇත්තේ විශාල මිත්‍රත්වයකි. ඒ මිත්‍රත්වය මේ සාමූහික අරමුණ කරා යෑමට අතිශය වැදගත්ය. ඒ නිසා එකී මිත්‍රත්වය බිඳවැටෙන ආකාරයට තීන්දු නොගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වගබලා ගත යුතුය.
පොදුවේ ගත්කල සියලු පාර්ශ්ව උදා වී ඇත්තේ ජාතික ව්‍යසනයක් බව අමතක නොකළ යුතුය. හැකි පමණින් කැපකිරීම් කරනු විනා බොරදියේ මාළු ඇල්ලීමට සිතන්නේ නම් එය ඉමහත් කනගාටුදායක තත්ත්වයකි. සාකච්ඡාව ආරම්භයේදීම සඳහන් කළාක් මෙන් කොවිඩ් මර්දන සටනේදී මූලිකාරම්මණය විය යුත්තේ කොවිඩ් පරාජයයි. කෙටියෙන් කිවහොත් සමස්ත ජාතියම සිතිය යුත්තේ කොවිඩ් පරාජය කර රටක් හැටියට ඉක්මනින්ම ඔළුව උස්සන්නේ කෙසේද කියාය.
ජනමාධ්‍ය ද සෑම මොහොතකම ක්‍රියා කළ යුත්තේ මේ ඒකීය ධාරණාවෙනි. සාමාන්‍ය කාලපරිච්ඡේදයකදී ගැටුම වෙළෙඳපොළ විකිණුම් සාධකයක් වුව මෙය එවැනි කාලයක් නොවන බව ජනමාධ්‍ය ද තේරුම් ගත යුතුය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සංචරණ සීමා තවදුරටත් පනවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලන අතරේම එම වැඩපිළිවෙළට උදවු කරන්නැයි විපක්ෂයෙන් ද ජනමාධ්‍යයෙන් ද පසුගිය දිනෙක ලිඛිත ඉල්ලීමක් ද කළේ එහෙයිනි. නිදසුනකට එන්නත්කරණය සිදුවන ස්ථාන ගැන ජනතාව දැනුවත් කරමින් සංචරණ සීමා උල්ලංඝනය නොකිරීමේ වැදගත්කම ගැන කියන්නට ජනමාධ්‍යට සිය මාධ්‍ය අවකාශය යොදාගත හැකිය. මේ දිනවල වික්ෂිප්ත වී සිටින ජනතාවට එය අස්වැසිල්ලක් මෙන්ම නිවැරැදිව අවදානම සන්නිවේදනය කිරීමක් ද වේ. වගකිව යුතු අංශ වගකීම් විරහිත වෙද්දී පොදු ජනයා වගකීම් විරහිතවීම අප තේරුම් ගත යුතුය. කෙටියෙන් කිවහොත් දැන්වත් අප හැමදෙනාම මේ මොහොත කුමක්දැයි තේරුම් ගත යුතුය.
ලෝකයේ කොරෝනා ව්‍යාප්තියේ භයානකම රටවල් අතරට ශ්‍රී ලංකාව ද අවතීර්ණ වී තිබේ. සාමූහිකව කැපවෙන අවංක භාවයකින් මිස පංගු පේරු වැඩවලින් එය පරාජය කිරීමට නොහැකි බව දැන්වත් අප වටහාගත යුතුය. එහිදී පක්ෂ භජනයෙන් තොරව ප්‍රාමාණිකයන්ගේ අදහස් පිළිගැනීම බලධාරීන්ගේ වගකීමකි.
(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)