ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පිවිසුමක්


21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී තිබෙන යෝජනා පිළිබඳව සාකච්ඡා කර යළි එය අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට නියමිතය. මේ ව්‍යවස්ථා සංශෝධනය රටට ඉතාමත් තීරණාත්මක බව මගේ අදහසයි. රට මේ වන විට මුහුණ දී සිටින්නේ දරුණු ආර්ථික අර්බුදයකටය. ඊට අදාළ විසඳුම් ගැට ගැසී තිබෙන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ සමගය. එබැවින් පවතින ආර්ථික අර්බුදය විසඳීමෙහිලා ද මෙම ව්‍යවස්ථා සංශෝධනය වැදගත් වන බව කිව යුතුය. යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනෙන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණවල පළමු පියවර වශයෙනි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට රටේ ප්‍රබල ජනමතයක් තිබේ. ඒ, පවතින අර්බුදයටත් එම ධුරය හේතුවක් වී ඇති නිසාය. ප්‍රායෝගිකව ජනාධිපති ධුරය ඉවත් කිරීම ඉක්මනින් කළ නොහැකිය. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර ප්‍රජාවේ කෙටි කාලීන ආධාර ලබා ගැනීම අවැසිය. ඒ අරබයා පළමුව දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගිය යුතුය යන්න පොදුවේ පිළිගැනෙන මතය වේ. එබැවින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම අත්‍යවශ්‍යය. එය අර්ථවත් වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි හරය යෝජිත 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළහොත් පමණි. එහෙත් එය කවර මට්ටමකින් සිදුවේද යන්න ගැන අපට නිශ්චිතව පැවසිය නොහැකිය.

1977 මහා මැතිවරණයෙන් බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළේ විධායක ජනාධිපති ධුරය පිහිටුවමිනි. එම අවස්ථාවේ ආචාර්ය එන්.එම්. පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පෙන්වා දුන්නේ එය අතිශය භයංකර බවය. එහෙත් ජයවර්ධන ආණ්ඩුව එම විවේචන නොතකමින් ජනාධිපති ධුරය පිහිටුවූයේය. ඉන්පසු ලංකාව විශාල වශයෙන් පිරිහීමට ලක් විය. 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් කරන අවස්ථාව වන විට දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ.) නොමේරූ අවධියේ පසු විය. කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් පසු එම සංවිධානය ද කෙමෙන් බලවත් විය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්තවාදී කටයුතු මර්දනය කිරීමට ද ජනාධිපති ධුරය අසමත් විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1994 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. ඇය ඒ සඳහා උත්සාහ ගත්ත ද අනවශ්‍ය කල්මැරීමක් සිදු වූ බව මගේ නිරීක්ෂණයයි. විවිධ පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2000 වර්ෂයේ දීය. එහෙත් එක්සත් ජාතික පක්ෂය එම කෙටුම්පතට විරුද්ධ විය. පාර්ලිමේන්තුවේ දී එයට ගිනි තැබීය.

2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා තරග කළේ ද ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමිනි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට තුඩු දෙන විධිවිධාන මගහරිමින් සම්මත කළ නිසා ඔහුගේ ධුර කාලයේ දී එම ධුරය අහෝසි කිරීමට අදාළ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට හැකි වුණේ අර්ධ වශයෙනි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රමයේ ව්‍යුහයට අදාළව ඇති කළ මූලික සංශෝධන මගින් බල කේන්ද්‍ර දෙකක් ඇති කළේය. ඒ ජනාධිපති සහ අගමැති වශයෙනි. යහපාලන ආණ්ඩුව දුර්වල වීමට ජනාධිපති සහ අගමැතිගේ ප්‍රතිපත්ති අතර තිබූ ඝට්ටනය ද හේතුවක් විය.

ජනාධිපති ධුරයක් සහ අගමැති ධුරයක් වශයෙන් ද්විත්ව විධායකයක් පවත්වා ගෙන යෑම සුදුසු නොවන බව මගේ අදහසයි. ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය. එහෙත් මේ අවස්ථාවේ එය සිදුවන්නේ පියවර දෙකකිනි. පළමුවැන්න නම්, ඉහතදී ද සඳහන් කළ පරිදි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුය. කෙසේ වෙතත්, රටේ පවතින අර්බුදය හමුවේ මැතිවරණ පැවැත්වීම සුදුසු නැති බැවින් මේ අවස්ථාවේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතුය යන්න දේශපාලන පක්ෂවල ස්ථාවරය වී තිබේ. එමගින් දේශපාලන සහ ආර්ථික අංශවල ස්ථාවරත්වයක් ඇති කර ගත් පසු දෙවැනි පියවරට එනම්, ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ විය යුතුය යන අවධාරණය ද එහි ඇත. එබැවින් යෝජිත 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පමණක් නතර නොවිය යුතුය.

වත්මන් ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රතිපත්තිමය හේතු කාරණා තිබුණ ද ප්‍රධාන වශයෙන්ම ඊට ඉවහල් වූයේ ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට ගත් ක්‍රියාමාර්ගයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 69 ලක්ෂයක ජනවරමින් බලයට පත් විය. 2020 වසරේ පැවැති මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් ද ඔහු පිහිටුවූයේය. ඉන්පසු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ජනාධිපති ධුරයෙහි බලතල වැඩි කරගත්තේය. මගේ නිරීක්ෂණය අනුව එවැනි බලයක් සහිත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නොතිබිණි.

කෙසේ වෙතත්, 20 වැනි සංශෝධනය පැනවීමෙන් පසු සංවරණ හා තුලන තවදුරටත් ක්‍රියාත්මක නොවිණි. ඒ වෙනුවට ජනාධිපති ධුරය වටා බලතල අසීමිත ලෙස කේන්ද්‍රගත විය. අසීමිත බලයක් තිබුණ ද ජනාධිපතිවරයාට නිවැරදි තීන්දු ගත නොහැකි විය. ඒ, එවැනි බලයක් තනි පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ ඔරොත්තු නොදෙන නිසාය. තමා අතින් වැරදි කිහිපයක් සිදු වූ බව ජනාධිපතිවරයා විසින්ම පිළිගනු ලැබීමෙන් මේ බව මනාව පැහැදිලි වේ. 2019 වසරාවසානයේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණය, රසායනික පොහොර භාවිතය සහ ගෙන්වීම තහනම් කිරීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත වේලාසනින් නොයෑම යනාදිය තමා ගත් වැරදි තීරණ බව ඔහු ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

මැයි 9 වැනි දින ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය මම කිසිලෙසකවත් අනුමත නොකරමි. සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයත් ඊට එරෙහිව දියත් වූ ප්‍රතිප්‍රචණ්ඩත්වයත් අනුමත නොකරමි. අදාළ ප්‍රතිප්‍රචණ්ඩත්වයේ දී වැඩිමනත් හානි සිදු වූයේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ නිවාස සහ දේපොළවලටය. එම අවස්ථාවේ දී පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පැමිණිලි කළහ. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ, පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් වැඩි පිරිසක් පත් කර තිබුණේ දේශපාලන පත්වීම් හැටියට බවය. පොලිස් ස්ථාන 180 කින් 120ක් සඳහා ස්ථානාධිපතිවරුන් පත්කර තිබුණේ පළාතේ දේශපාලන අධිකාරියට අවශ්‍ය අයුරින් යැයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබිණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පැවතියේ නම්, එලෙස දේශපාලන අධිකාරියේ වුවමනාව අනුව පොලිසියේ ඉහළ තනතුරුවලට බඳවා ගැනීම් කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. පොලිස් සේවයේ පත් කිරීම් මාරු කිරීම් සහ උසස් කිරීම් ජාතික පොලිස් කොමිසම මගින් සිදු කළ යුතු වූ බැවිනි. මගේ අදහස අනුව 19 වැනි සංශෝධනය බලාත්මකව පැවතියේ නම්, මැයි 9 වැනි දින ප්‍රචණ්ඩත්වය ඇති නොවන්නට ද ඉඩ තිබිණි. එම සන්දර්භයේ 19 වැනි සංශෝධනය අහෝසි කරමින් ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දී මන්ත්‍රීවරුන් ඔවුන්ටම හානි කරගෙන තිබේ.

ජනතාව මේ තත්ත්වය තේරුම් ගත යුතුය. ස්වාධීන රාජ්‍ය සේවයක් පොලිසියක් පවතින්නේ නම්, සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු වේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආර්ථික අර්බුදයේත් මැයි 9 වැනි දින ප්‍රචණ්ඩත්වයේත් මූලයයි. එම තත්ත්වය මත 20 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරත් යම් එකඟත්වයක් තිබේ.

යෝජිත 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා යළි ප්‍රතිස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර අගය කළ යුතුය. කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් යෝජනා කර තිබේ. එය හොඳ තත්ත්වයකි. මාධ්‍යවල පළව ඇති තොරතුරුවලට අනුව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය දේශපාලන පක්ෂවල නියෝජිතයන් හත් දෙනකු සහ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනකු වන පරිදි නිර්මාණය කර ඇත. එය සුදුසු නොවන බව මගේ අදහසයි. ඒ, දේශපාලන බලපෑම් අවම කිරීම මෙවැනි සභාවක් පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන නිසාය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය සකස් කර තිබුණේ දේශපාලනඥයන් තිදෙනකු සහ සිවිල් සමාජ නියෝජිතයන් හත් දෙනකු වශයෙනි. එහෙත් එවක ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණු නිසා දේශපාලනඥයන් හත්දෙනකු සහ සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනකු ලෙස එම සංයුතිය වෙනස් කිරීමට සිදු විය.

මගේ යෝජනාව වන්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇති ව්‍යවස්ථා සභාවේ සංයුතිය දේශපාලනඥයන් තිදෙනකු සහ සිවිල් සමාජයෙන් හත් දෙනකු වශයෙන් සංශෝධනය විය යුතු බවය. එය කළ නොහැකි නම්, පාර්ශව දෙකටම සම සාමාජිකත්වයක් ලැබිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවීමේ අරමුණ සැබෑ ලෙසම අර්ථවත් වන්නේ එවිටය.

අරගලකරුවන් ඉල්ලා සිටින්නේ ක්‍රමයේ වෙනසකි. එවැන්නක් අපේ සමාජයට අත්‍යවශ්‍යය. එයින් අදහස් වන්නේ දැන් පවතින පුද්ගලයන් මත රඳා පවතින ක්‍රමය වෙනුවට සිස්ටම් එකක් නොහොත් පද්ධතියක් මත රඳා පවතින ක්‍රමයක් ඇති කළ යුතු බවය. එවැන්නක් මගින් ජනතාව බලවත් වීමත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමත් සිදු වේ. ඒ සඳහා දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුය. ලංකාවේ දේශපාලන සංස්කෘතිය දූෂණයට මග පාදන වහල් මානසිකත්වයෙන් පිරි එකකි.

මේ ව්‍යවස්ථා සංශෝධනයේ දී ජනාධිපති ධුරයට අදාළව අවධානය යොමු විය යුතු තවත් විධිවිධාන කිහිපයක් තිබේ. එකක් නම්, ජනාධිපති සමාවයි. ඊට අදාළව ඇති ක්‍රමවේදය වැරදි එකකි. බොහෝ අවස්ථාවල මෙම ජනාධිපති සමාව පිරිනැමෙන්නේ තමන්ගේ දේශපාලන හිතවතුන් ධනවතුන් ආදී පිරිසකට නිසාය. එබැවින් එය නිසි ක්‍රමවේදයකට සිදු විය යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා මාලාවේ ඒ අරබයා හොඳ විකල්පයක් යෝජනා කර ඇත. එනම්, ඒ සම්බන්ධව කටයුතු කිරීමට ස්වාධීන ආයතනයක් පත් කිරීමත් ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී ඒ හරහා ක්‍රියා කිරීමත්ය. එම යෝජනාව සලකා බලා අවශ්‍ය පියවර ගැනීම කළ යුතුය.

ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තමන් යටතේ තබා ගැනීමට හැකියාව ලබා දී තිබීම ගැන ද සාකච්ඡා වෙමින් තිබේ. ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ පවරා ගැනීමට විධිවිධාන සැලසීම මගින් සිදු වන්නේ ඔහුගේ බලය තවත් ශක්තිමත් වීමය. එය සුදුසු තත්ත්වයක් නොවේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ එම බලය ඉවත් කර තිබිණි. එහෙත් එම සංශෝධනය පනවන විට බලයේ සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඔහුගේ ධුර කාලය ඇතුළත පමණක් පරිසර අමාත්‍යාංශය දැරීමේ හැකියාව තිබිණි. කෙසේ වෙතත් ඔහුගෙන් පසු බලයට පත් වන ජනාධිපතිවරුන්ට අමාත්‍ය ධුර දැරීමේ හැකිවක් නොලැබෙන පරිදි එමගින් විධිවිධාන ඇති කර තිබිණි.

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක දී ප්‍රධාන විධායකය වන අගමැතිවරයා ගන්නා වැරදි තීරණ හේතුවෙන් අර්බුද මතුවුවහොත් අගමැති ධුරය දරන පුද්ගලයා ධුරයෙන් පහ කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ හැකිය. එහෙත් ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ හැක්කේ ඔහුට එරෙහිව සම්මත කරන දෝෂාභියෝග යෝජනාවක් මගිනි. එය ඉතා දුෂ්කර විධිවිධාන සහිත ප්‍රායෝගිකව කළ නොහැකි එකකි. ජනාධිපතිවරයා කුමන වැරදි තීරණ ගත්ත ද මහජනයා කවර මට්ටමකින් විරෝධය දැක්වුව ද ජනාධිපතිවරයාට කිසිදු ගැටලුවකින් තොරව සිය ධුරයෙහි කටයුතු කිරීමට අවස්ථාව උදා වේ. එම තත්ත්වය ප්‍රජාතන්ත්‍ර විරෝධීය. එබැවින් ජනාධිපතිවරයා ඉවත් කිරීමට ඇති දෝෂාභියෝග ක්‍රමය අහෝසි කර විශ්වාසභංග යෝජනාවක් මගින් බලයෙන් පහකිරීමේ හැකියාව නීතිගත කළ යුතුය.

එසේම ජනාධිපතිවරයා නිල හෝ පෞද්ගලික හෝ මට්ටමින් කරන වැරදිවලට එරෙහිව කිසිදු අධිකරණයක නඩු පැවරිය නොහැකි බවට වන විධිවිධානය අනීතිකය. එමගින් ජනාධිපති ධුරය නීතියට ඉහළින් ස්ථානගත කර තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන තෙක් එම ධුරය නීතියට යටත් කර තැබීම ගැන ද මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අවධානය යොමු වන්නේ නම් වැදගත්ය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)