තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද්ධිය දක්වා පරාසයක තොරතුරු විකාශය විචාරයකට ලක් කරන ප්‍රකට ලේඛක යූආල් හරාරි ගේ ‘නෙක්සස්’ මෙම අදහස පෙන්වා දෙයි.
තොරතුරු ගැන දක්වන මෙම වචන කිහිපය තුළ අප සියලු දෙනා මුහුණ පා සිටින යථාර්ථය ඇත. සෑම මොහොතකම තොරතුරු ප්‍රමාණයක් අපට ලැබේ. තොරතුරු ලැබෙන මාර්ග ද පුළුල් වී ඇත. සමාජ මාධ්‍ය, කෘත්‍රිම බුද්ධිය හා වර්චුවල් රියැලිටි තාක්ෂණ ක්‍රමවේද ද එකතු වී තිබේ. නවීන තාක්ෂණික ක්‍රමවේද හේතු කොටගෙන විශ්වාස කළ හැකි මවාපෑමකට ගමන් කර ඇත. දේශ සීමා, සමාජ ප්‍රවණතා සහ සම්ප්‍රදායික ලක්ෂණ අභියෝගයට ලක් කරන්නට සමත් වී ඇති බව දැක්විය හැකිය.
තොරතුරු අතරින් ඇත්ත තොරතුර තෝරා බේරා ගන්නේ කෙසේද? සත්‍ය බව පෙනෙන නමුත් ව්‍යාජ, අසත්‍ය කරුණු ගැබ්ව ඇත. ඇත්ත හඳුනාගත නොහැකිවීම ගැටලුවකි. තොරතුරු සහ සත්‍ය අතර දැනට පවතින මෙම පරස්පරතා සහිත ස්වභාවය හේතු කොටගෙන සැලකිය යුතු සමාජ කැළඹීමක් හටගෙන තිබේ. එය දේශපාලනය, ආණ්ඩුකරණය කරා ආක්‍රමණය කර ඇත. පැතිරෙන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව නොදන්නා ජන සමාජයේ තීරණ හේතු කොටගෙන පැවැත්ම අස්ථාවර කොට තිබේ. පාලන ක්‍රමවේද අර්බුදයකට පත් කොට ඇත. ආණ්ඩු පත් කරන්නටත්, පත් කරන ආණ්ඩු පිරිහී ඉක්මනින් බිඳ වැටෙන්නටත් ප්‍රචාරය වන තොරතුරු හේතු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය දේශපාලනය වශයෙන් සිතන තරමට ආක්‍රමණයක් සිදු වී තිබේ. සමානව, නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය වේ. දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය බව සිතන තරමට විකෘතියක් ඇති කර ඇත.
අවිශ්වාසයෙන් ඇති වන පීඩනය
තොරතුරු සහ සත්‍ය අතර ගැටුම හේතු කොටගෙන පාලන ක්‍රම අර්බුදයකය. ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලනය අතර සංකීර්ණතා එය තවත් උග්‍රකර ඇත. පසුගිය දා අවසන් වූ ජපානයේ මැතිවරණ ප්‍රතිඵලය එයින් උදාහරණයකි. එරට ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය පදනමක් රහිත තොරතුරුවල බලපෑමෙන් පරාජයට පත් වූ බව සැලකේ. මැතිවරණ ප්‍රචාරක කාලසීමාවේ දී සන්නිවේදනය වූ සත්‍ය නොවන තොරතුරු එයට බලපා ඇත. කිසිම පක්ෂයකට බහුතරයක් නැත. තොරතුරුවලින් කැළඹුණ ජපානය ව්‍යාකූල තත්වයට පත් කර ඇත. බ්‍රිතාන්‍යයේ ද මෙම ස්වභාවය තිබේ. ඉකුත් වසර පහ තුළ අගමැතිවරු හතරදෙනෙක් බලයට පැමිණියෝය. අද පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්වය ද එයට සමානය. විශේෂයෙන් ආසියානු සහ යුරෝපා රටවල ආණ්ඩුකරණය අස්ථාවර කරන්නට නුතන තොරතුරු සන්නිවේදනයට හැකි වී තිබේ. ආණ්ඩුවල පැවැත්ම ගැන අභියෝග මෙහි ප්‍රතිඵලයක. අස්ථාවරත්වය ඉහළටම පැමිණ ඇත.
ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයාගැනීමෙන් පසු අද පවතින නවීන තොරතුරු තාක්ෂණය හා සමාන තත්වයක් ඇති වී තිබේ. බයිබලය හැරුණුකොට වැඩිපුරම මුද්‍රණය කරන්නේ වගකීමක් රහිත “කැලෑ පත්තර” බව දැක්වේ. පාඨකයන් විශ්වාස කරන පුවත් පත් හා ග්‍රන්ථ ප්‍රකාශනය ඇරඹෙන්නට වසර දෙසියක කාලයක් ගත වී තිබේ. නවීන සමාජ මාධ්‍ය ද දැනට එවැනි යුගයකය. මෙහි මුල් අවධියේ පසුවේ. කිසිම ආකාරයක පාලනයක් නැත. අතට හසුවන ඕනෑම තොරතුරක් පළ කෙරේ. මූලාශ්‍රය හෝ එහි සත්‍ය අසත්‍ය බව තකන්නේ නැත.
සමාජ මාධ්‍ය වගකීමක් සහිත තැනකට පත් කරන අතර ඒවා නිවැරදි කරන ක්‍රමෝපාය ඇති කළහොත් තොරතුරු-දැන ගැනීමේ නිදහසට බාධා ඇති කරන බවට විරෝධතා පැන නැගේ. එහෙත් සමාජ මාධ්‍යවලින් එන තොරතුරු හේතු කොටගෙන සෑම අංශයක්ම බිඳ දමා ඇත. නායකයන් කෙරෙහි විශ්වාසය පහත වැටී තිබේ. ක්‍රමය කෙරෙහි සැක කරන තොරතුරු ප්‍රවාහයක් ජනගත වේ. සැකය හා අවිශ්වාසය සහිත පසුබිම තුළ ස්ථාවරයක් ගොඩනැගෙන්නේ නැත. දේශපාලන, ආගමික හෝ සමාජ ඇතුළු සෑම ක්ෂේත්‍රයකම නරක පමණක් ප්‍රකාශවීම සුදුසු තත්වයක් නොවේ. අයහපත් පැති වෙනුවට යහපත් පැත්ත ගැන අවධානය යොමු කරන තොරතුරු සංස්කෘතියක් අවශ්‍යය.
දරුවා කොරහත් සමග විසි කිරීම
දරුවා ස්නානය කරවීමෙන් පසු අපවිත්‍ර ජලය දරුවාත් සමග විසි කිරීම ගැන උපමාවක් ඇත. අපවිත්‍ර ජලය ගැන පමණක් අවධානය කරන අතර පිරිසුදුවූ වටිනා යමක් කොරහ තුළ ඇති බව අමතක වේ. සෑම සිද්ධියකම දෙපැත්තක් ඇත. නරක පමණක් බලන සංස්කෘතියක් වෙනුවට සිද්ධි දෙස ගැඹුරින් අවධානය යොමු කරන අතර ප්‍රශ්නයක විවිධ පැති සාකච්ඡා කරන පරිණත සමාජයක් බිහිකරගත යුතුය. පරමාදර්ශී චරිත නායකත්වයට ඇතුළු විය යුතු අතර නායකයන්ට ගරු කරන පුළුල් සමාජ වටපිටාවක් කරා යා යුතුය. කොවිඩ් වසංගත තත්ත්වය සමග ඇති කරන ලද ආර්ථික පීඩනය ඇතැම් ජන කොටස් සඳහා තවමත් බලපා ඇති අතර එහි පීඩනය සමාජය තුළ පවතී.
ලෝකයේ දැනට පවතින ස්වභාවය හඳුනාගෙන එයින් ශ්‍රී ලාංකේය ජන සමාජය සාධාරණ තැනකට පත් කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අප ඉදිරියෙහි ඇත. වගකීමක් සහිත තීරණ ගත යුතුව තිබේ. අධිරාජ්‍යවාදීන්ගේ නශ්ඨාවශේෂ සහිත රදල පාලන ක්‍රම තුරන් කරන වුවමනාවක් බහුතරයක් තුළ තිබුණි. තොරතුරු භාවිත කර ක්‍රමය විනාශ කිරීමෙන් පසු නැවත ගොඩනැගිය හැකි ආකාරය ගැන එකඟතාවක් නැත. රට ගොඩනගන්නට වචන පමණක් ප්‍රමාණවත් නැත. වැඩපිළිවෙළක් අවශ්‍යය. මාවෝ සේතුං ගේ විප්ලවය නැගිටින්නට හේතුවක් වූ බව චීන ජාතිකයෝ විශ්වාස කරති. ඩෙන් ෂියාවෝ පෙන්ග් චීනය පොහොසත් කළේය. වත්මන් නායක ෂී ජින්ග් පින්ග් ජාත්‍යන්තරය ඉදිරියේ චීනය ශක්තිමක්භාවය දක්වයි. සමාජයක් වශයෙන් අවදිවෙන්නට ශ්‍රී ලංකාව සමත්ව ඇත. පොහොසත් විය යුතුය. ඊළඟ පරම්පරාව අපගේ ශක්තිමත්භාවය ලෝකය ඉදිරියේ තබනු ඇත.
නායකයන් ඉහළින්ම පත්කරගෙන පහතටම ඇද දැමීම
රට ගොඩනැගීම සඳහා කැපවීම වැදගත්ය. කැපවිය හැකි සීමාවක් තිබේ. සාමාන්‍ය ආර්ථික පසුබිමක් සහිත අපේක්ෂකයකු ජයගැනීමෙන් පසු ඔහු හෝ ඇය අඩු වැටුපකට, වරප්‍රසාද රහිතව සේවය කළ යුතු බව ප්‍රකාශ වේ. කාර්යයට ගෙවීමක් හෝ බලය වෙනුවෙන් ආවරණයක් හෝ රහිත තත්වයක් ඉදිරියේ නායකයන් ජීවත්වෙන්නේ කෙසේ ද? සංවර්ධනය හා සමාජ ප්‍රගමනය අරමුණු කරගෙන තීරණ ගැනීමෙන් පසු අවසානයේ දී බලයෙන් පහ වූ පසු හිර ගෙදරට යවන අරමුණ ඇති සමාජයකට අනාගතයක් තිබේ ද? ශ්‍රී ලංකාව නායකයන් ඉහළින්ම පත් කර පසුව පහතටම ඇද දමන ලද රටකි. තොරතුරු තුළ තිබුණ අසත්‍ය කරුණු එහිලා බලපාන ලද බව මධ්‍යස්ථව සොයාබලන පසු පෙනේ.
ව්‍යවස්ථාදායකය හෝ විධායකයේ හෝ ගන්නා තීරණවලට නෛතික ආවරණයක් නොලැබෙන පසුබිම තුළ තීරණ ගැනෙන්නේ නැත. ජීවත්වෙන්නට සරිලන දීමනාවක් හෝ පහසුකම් නොලැබුණහොත් ඡන්දයකට වියදම් කළ හැකි පෙළැන්තියකට පමණක් බලය ලැබෙනතැනට ආකෘතිය නැවත හැරවෙන අවදානමක් තිබේ. රට දියුණු කරන්නට තීරණ ගත යුතු අතර තීරණ ගැනීම සඳහා ස්ථාවරත්වයක් සකස් කිරීම සුදුසුය.
සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ ප්‍රකාශ කළ පරිදි රට කජු විසි කළහොත් වඳුරන් ලැබේ. අනෙක් අතට දේශපාලනයට එන නායකයන් එදිනෙදා ජීවිතය සඳහා වෙනස් ආකෘතියකට අනුව දූෂණයකට ගොදුරුවුවහොත් එය උචිත තත්වයක් නොවේ. ලී ක්වාන් යූ මහතා ප්‍රකාශ කළ පරිදි ඔහු වැඩිම වැටුප් ලැබූ අගමැතිවරුන් අතින් කෙනෙකි. එහෙත් ඔහු ලෝකයේ දුප්පත්ම පුද්ගලයකු බව කියා සිටියේය. වැටුප හැරෙන්නට දූෂිත මාර්ගවලින් යැපෙන ක්‍රමයක් අනුගමනය කළේ නැත.
අභියෝග සහිත පසුබිමක අලුත් පැති
ලෝකයේ රටවල් අතර අනපේක්ෂිත තත්ව ඇත. රුසියාව සහ යුක්රේනය අතර අවුරුද්දක පමණ කාලයක් තිස්සේ යුද්ධයක් තිබේ. ඉරානය සහ ඊශ්‍රායලය දරුණු යුද ගැටුමකය. ඉන්දියාව හා චීනය අතර ආවේගශීලී පසුබිමක් ඇත. ඇමරිකාව, යුරෝපා රටවල් සහ ජපානය එක කඳවුරක පසුවන අතර චීනය කොන් කිරීමේ වෑයමකය. මෙම සිද්ධි සමග රටවල භූ දේශපාලනය දිනපතා වෙනස් වෙමින් පවතී.
ආහාර හා බලශක්ති අංශයේ විශාල පරිවර්තන සිදුවෙමින් තිබේ. කෘෂිකර්මය හා සත්ව පාලන අංශවලට තාක්ෂණය එකතු වී ඇත. ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම වුවමනාව බව පෙනේ. ඛනිජ තෙල් මත යැපෙන රාමුව වෙනස් වී ඇති අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට උනන්දුව ඉහළ ගොස් තිබේ. ප්‍රවාහන ක්ෂේත්‍රය නොසිතූ පැතිවලට ඇතුළු වී ඇත. විදුලිය වාහන, රියැදුරන් නැති වාහන නුදුරු කාලයේ දී බහුල විය හැකිය. සාගර සම්පත්, අභ්‍යවකාශය භාවිත කිරීම වර්ධනය වනු ඇත. තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය ඔස්සේ කාර්ය පහසු කෙරෙන අතර වෙළෙඳපොළ සංකීර්ණතා ඇති කරයි. කාර්යක්ෂමතාව ඉහළ යාමෙන් රටවල් අතර තරගකාරීත්වය වැඩිවේ. අනුගත විය නොහැකි රටවල් පෝලිමේ අවසානය කරා ක්‍රමයෙන් සමීප වනු ඇත. ශ්‍රී ලංකාව නිදහස ලබන විට විදේශ සම්පත් සහිත, අපනයනයට නැඹුරු වූ ස්වභාවයක තිබුණි. අලුත් පැතිවලට පසුගිය කාලය තුළ ඇතුළු වූයේ නැත. ත්‍රස්තවාදය, සමාජ නොසන්සුන්තා, ආර්ථිකය බෙලහීන කළේය. පසුගිය දශක කිහිපයක අමිහිරි තැන් මඟහැරෙන වේගවත් ගමනක් රටට අවශ්‍යය. අසතුටුදායක වුවහොත් ඇතිවන අතෘප්තිය සමාජ නොසන්සුන්තාවකින් කෙළවර විය හැකිය.
සිස්ටම් වෙනස් කළ යුතු නමුත් එය කරගත හැකි ආකාරයක් තිබේ. අත්දැකීම් ලබාගන්නා කාලය තුළ මහජනතාවගේ අපේක්ෂා බිඳ වැටෙන්නට ඉඩදි දිය යුතු නැත. සම්පූර්ණයෙන්ම වෙනස් සමාජ හදන්නට ගිය රටවල් ලෝකයේ ඇත. සංස්කෘතිය වෙනස් කරන අතර සිරිත් විරිත්, භාෂාව, ඇඳුම පමණක් නොව ආගම පවා පාලනය කිරීමෙන් අලුත් යුගයකට ඇතුළුවීමට උත්සාහ කර තිබේ. ඒවායේ ගමන අවසන් වූ ආකාරය ගැන උදාහරණ ඇත. පාඩම් ඉගෙන ගත් රටවල් නැවතත් අනපේක්ෂිත අවසානයක් කරා ගමන් කොට තිබේ. ලෝකයේ සිදුවීම්වලින් ඉවත් විය නොහැකි අතර පවතින යථාර්ථයෙන් ඈත්වීම පහසු නැත. අවබෝධය, සංවාදය හා ජනතාවගේ වුවමනා සාක්ෂාත් කරන හදිසි පියවර වෙනුවෙන් නැගෙන හඬට සවන් දිය යුතුව තිබේ. බලපතළම ආර්ථික අර්බුදයට පසු ස්ථාවර වී ඇති අවස්ථාවේ දී එයින් උත්පාදනය ඇති කරගැනීම සඳහා යාන්ත්‍රණය සකස් කිරීමේ දී තොරතුරු ප්‍රමාණය සහ ඒවායේ සත්‍ය පමණක් නොව ලෝකයේ පවතින ව්‍යාකූලත්වය ද මැදහත්ව පරීක්ෂා කරන්නට අවශ්‍යය. නවෝත්පාදනය, තාක්ෂණය හා නවතම ඉලක්ක රටට අවශ්‍ය කෙරේ. ඒ සඳහා අවශ්‍ය රාමුව ගැන සංවාදයක් ඇති කිරීම ප්‍රමුඛ කාර්යය වී ඇත.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.
(***)