2023 අයවැය සැබැවින්ම ආර්ථිකමය සාධකවලට එහා ගියා ප්‍රජාතන්ත්‍රවා දී පිළිබිඹුවකි. ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි. දින සිය ගණනක් කොළඹට ඒකරාශී වූ අරගල රැල්ල රාජ්‍ය ආයතන, ආර්ථික මර්මස්ථාන, අත්පත් කර ගනිමින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වන තැනට වැඩ සලසමින් අවසාන ඉලක්කය ලෙස ළඟාවීමට සූදානම් වූයේ පාර්ලිමේන්තුව වෙතය.
එය එසේ වූවා නම් අයවැය ඉදිරිපත් කරන්නේ කවුද? කොහේද? ක්‍රමවේදය මොකක් ද යැයි හිතා ගන්නත් බැරි ය. එක් මන්ත්‍රීවරයකු මහත් ධෛර්යයෙන් ඉදිරිපත් වී නායකත්වය දෙමින් එය වළකා ගත්තේය. ඒ නිසා අපි අද 2023 සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව යෝජිත රජයේ අය සහ වැය ගැන කතා කරමින් සිටිමු. ඊට පෙර 2022 ඉතිරි ටිකට අතුරු අයවැයක් ද ආවේ ය. එහි අභියෝගත් එසේ ම ය. එක් ප්‍රධාන කරුණක් නම් ඉතිහාසයේ ආර්ථික උපකල්පනවලට බලපාන වැඩිම බාධා සිදු වූ වර්ෂයයි. දෙවැන්න ඊට නොදෙවැනි වූ දේශපාලන අර්බුදවලින් පිරුණු වර්ෂයයි. ඒ ගෙනා අයවැය සම්මත කර ගැනීම ද ගැටලුවක් යැයි බොහෝ අය කීහ. එහෙත් ඡන්ද 120කින් එය සම්මත විය. එහි යෝජිත කරුණු බොහෝ ඒවා මැද කාලීන සහ දීර්ඝ කාලීන ය. සුවිශේෂී අණපනත් කිහිපයක් ද ඒ අතර වෙයි. ඒවා යථාවත් කර ගැනීමට 2023 වර්ෂය සේම ඊටත් එහා යාමට සිදු වනු ඇත.
අපේ රටේ අයවැය සමගම දේශපාලන ඉතිහාසය වසර 77ක් ආපස්සට ගොස් බැලිය හැකිය. ආර්ථික ක්‍රමවේද සරලව ආවෘත සහ විවෘත යැයි බෙදා ගැනීමට ද හැකිය. අලුත් අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මේ ක්‍රමවේද දෙකම අදට නොගැළපෙන බව මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. අවශ්‍ය වෙතොත් දෙපසට බෙදී මේ පිළිබඳ වර්ෂ ගණනාවක් තර්ක කළ හැක. අද විය යුත්තේ එය නොවේ. අලුතෙන් සිතා අලුත් සංකල්ප මත මෙතෙක් ගෙනා අත්දැකීම් සියල්ල ප්‍රයෝජනයට ගෙන මේ අසීරුතම අවස්ථාව ගොඩ ගැනීමට සැලසුම් කිරීම යැයි බොහෝ අය කියති. අයවැය ඉතිහාසයේ 77 වැනි අවස්ථාවටම ආපසු ගියහොත් අවස්ථා කිහිපයක දී මුදල් ඇමැතිවරුනට සාමාන්‍ය තත්ත්වයෙන් තොරව අභියෝගාත්මකව ඊළඟ වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමට සිදු විය.
1972 වර්ෂයේ 71 අප්‍රේල් කැරැල්ලෙන් ඇරැඹුණු ආර්ථික සහ දේශපාලන පසුබෑම් හමුවේ ආචාර්ය එන්. ඇම්. පෙරේරාට ඉදිරිපත් කිරීමට සිදු වූයේ එවැනි අයවැයකි. 83 එතෙක් නොවූ විරූ ජාතිවාදී කෝලහල සමග රොනී ද මෙල් මුදල් ඇමැතිවරයා ද 84ට අයවැය හැදුවේ අසීරු පසුබිමකය. 88 වර්ෂයේ කෙටි කාලයකට මුදල් ඇමැති වූ එම්.එච්.එම්. නයින මරික්කාර් මහතාට ද දකුණේ සහ උතුරේ උච්ඡ තැනට ආ කැරැලි කෝලහල සමග 89 අයවැය සකස් කරන්නට සිදු විය. 2004 සුනාමි ආවේ ය. 2005 සඳහා සකස් කළ අයවැය ලේඛනය ව්‍යසනයට සාපේක්ෂව එවකට සිටි මුදල් ඇමැතිවරයා වූ අමුණුගම මහතාට අප සියලු දෙනා සමග එක්ව දැවැන්ත වෙනස් කම් කිරීමට සිදු විය. එවකට නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා වූ මගේ මතකයට එන්නේ මුදල් අමාත්‍යාංශය මාසයකට මදක් වැඩි කාලයක් තුළ සුනාමියෙන් ගොඩ ඒම සඳහා සකස් කළ ලොවම පිළිගත් දැවැන්ත වැඩපිළිවෙළයි. එවැනි අභියෝග අඩු වැඩි වශයෙන් පැන නැගුණු අතර 2009 මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ද තුන් බියක් සමනය කරමින් අයවැය ලේඛනයක් සකස් කළේ ය. එවකට ද නියෝජ්‍ය ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය ආදායම් ඇමැතිවරයා වූ මගේ මතකයට එන්නේ ලෝක ආර්ථික අවපාතය, එල්.ටී.ටී. ත්‍රස්තවාදයේ උච්ඡතම අවස්ථාව සහ ඊටත් එහා ගිය බැරලයක් ඩොලර් 130 ඉක්මවා ගිය තෙල් මිලයි. මෙවැනි අභියෝගවලට අඩුවැඩි වශයෙන් මේ රටේ මුදල් ඇමැතිවරු, ආණ්ඩු මුහුණ දී ඇත.
අද අප හමුවේ කතාබහට ලක් වන 77 වැනි අයවැය ලේඛනය මේ සියලු අවස්ථා අබිබවා ගිය මහා අභියෝග මැද ඉදිරි වසර සඳහා සකස් කරන්නකි. ඉදිරි වර්ෂය සඳහා අය සහ වැය පුරෝකතන කරන්නේ මේ වර්ෂයේ ආර්ථික පදනම මත සිට ය. එහෙත් එහි පදනම දෙදරා ගොස් ය. වසර පුරා සියයට 8.3ක ඍණ ආර්ථිකයකි. ඊළග වසරේත් සියයට 3ක් වේයැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. සාමාන්‍ය උද්ධමනය සියයට 70ක ආසන්නයේ ය. ආහාර උද්ධමනය සියයට90ක ආසන්නයේ ය. බැංකු පොලිය සියයට30ට ආසන්නව පාලනය කිරීමට සිදුවී ඇත. තාවකාලිකව ලෝකයට ණය නොගෙවන බව ප්‍රකාශ කර මාස හතකි. විදේශ විනිමය සංචිත ප්‍රමාණය අඩුම අගයකය. රටේ ආනයන සීමා කිරීම්වලට එහා ගොස් තහනමකට ලක් කිරීමට සිදුව ඇත. එදිනෙදා අත්‍යාවශ්‍ය දේ රැසක් මේ සියල්ල යටතේ ආනයනය කරන්නට සිදුව තිබේ. සීනි සියයට 90ක්, පිටි සියයට 100ක්, ඉන්ධන සියයට 100ක්, ගෑස් සියයට100ක්, ඖෂධ සියයට 90ක්, පොහොර සියයට100කි. මිනිසුන් මැරී වැටුණු තෙල් හා ගෑස් පෝලිම් ඉවර වුණා පමණි. ඉදිරිය ගැන උපකල්පනය කරන්නට වන්නේ මෙවැනි තත්ත්වයක් මත සිට ය. එහෙත් මුදල් ඇමැතිවරයා සුපුරුදු ධෛර්යයෙන් යුතුව ඊට මුහුණ දුන්නේ ය. 2022 සඳහා රජයේ වියදම වූ රුපියල් බිලියන 6100 - 7885ක් දක්වා සියයට29ක් වැඩි කිරීමට ඔහුට සිදු විය. ඒ සුබසාධනයට ප්‍රධාන තැන දෙමින් ආරක්ෂාව මෙන්ම සංවර්ධනය ගැන ද යමක් සිතීමට ඔහු කල්පනා කළ නිසා ය. එහෙත් මෙතෙක් 76 වසරක්ම අයවැයෙන් රාජ්‍ය නායකයන් බලාපොරොත්තු වූ ජනප්‍රියභාවය ඔහු බලාපොරොත්තු වන බවක් පෙනෙන්නේ නැත. එය පැහැදිලිව අයවැය කතාවෙන්ම ඔහු ප්‍රකාශ කළේය.
ඔහු සිය වැඩපිළිවෙළ නම් කළේ, නැතහොත් ඉදිරි ආර්ථික යෝජනා නම් කළේ “සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක්” ලෙසය. ඒ රජයේ වගකීම ප්‍රථමයෙන් මූලික ජීවිත්වීමේ අවශ්‍යතා සපුරා ගත නොහැකි ජනතාව ජීවත් කරමින් අපහසුවට පත් පහළ මධ්‍යම පන්තිය රැක ගනිමින් 2023 වසර කඩා වැටුණු ආර්ථිකය ස්ථාවර කරමින් ඉදිරියට යාම ලෙස තේරුම් ගත් නිසා විය යුතුය. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ දී ප්‍රධාන කරුණු තුනක් ගැන අවධාරණය කර ඇත.
01.අපනයනය මූලික කර ගත් තරගකාරී ආර්ථිකයක්
(තරගකාරී යන්න මෙහි දී වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතු ය.)
02. පරිසර හිතාකාමී නීල ආර්ථිකයක්
03. ඩිජිටල් ආර්ථිකයක්
මෙහි දී ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවිධානවල වැදගත්කම පළමුවත්, ආර්ථික නවීකරණයේ වැදගත්කම දෙවනුවත් පෙන්වා දී ඇත. යෝජනා කරන්නේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවයි. රටේ සමස්ත විභව්‍යතාව විවෘත කර ගැනීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත. අපි අපේ විභව්‍යතාව හරි හැටි හඳුනා නොගත් අවස්ථාවක එය ඉතා වැදගත් ප්‍රකාශයකි. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික, සහ සමුද්‍රික සම්පත්, කර්මාන්ත, වෙළෙඳ ආයෝජන, ජාතික ආරක්ෂාව, විදෙස් සම්බන්ධතා ආදී සියල්ල නවීකරණය කිරීමට බලාපොරොත්තු වන සෙයක් සටහන්ව ඇත. ගෝලීය තත්ත්වය සහ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් මෙම පරිවර්තනයට යොමු විය යුතු බව ද තව දුරටත් කියැවේ. මෙසේ හඳුන්වා දෙන සමාජ ආරක්ෂණ විවෘත ආර්ථිකය තුළ පැහැදිලි ඉලක්ක ගණනාවක් හඳුනාගෙන ඇත.
01. සියයට7ක සියයට8 ක තරම් ආර්ථික වර්ධනයක්
01. ජාත්‍යන්තර වෙළෙඳාම හා දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස සියයට100කට වඩා ඉහළ නංවා ගැනීම.
03. 2023 - 2032 දක්වා නව අපනයන මගින් ඩොලර් බිලියන තුනක වාර්ෂික වර්ධනයක්
04. ඊළඟ වසර 10 තුළ වාර්ෂිකව ඩොලර් බිලියන තුනකට වඩා ඍජු විදේශ ආයෝජන
05. ඉහළ කුසලතාවෙන් යුතු ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ශ්‍රම බලකායක් ඉදිරි වසර 10 තුළ නිර්මාණය කර ගැනීම.
මේවා සැලකිය යුතු බැරෑරුම් ඉලක්ක වුවත් ජාතියකට මෙවැනි ඉලක්ක වැදගත්ය. රාජ්‍ය දේපොළ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද ඍජුව කතා කර ඇත. අපි දිගින් දිගටම රජයට සම්බන්ධ ආයතන 450කට වැඩි ගණනක් භාණ්ඩාගාරය විශේෂ කැපවීම් කොට පවත්වාගෙන ආවෙමු. අපි හැම විටම එය දුටුවේ රාජ්‍ය දේපොළ රැක ගැනීමක් ලෙස ය. එහෙත් වර්තමානයට හැරී බලද්දී අපි භෞතික දේපොළ රැක ගනිමින් සැබෑ සම්පත් වූ අපේ දරුවන් නැවත නේන්නටම රට හැර යන මානසිකත්වයක් දක්වා පසු බැස ඇති බව අවබෝධ කර ගත යුතුය.
මෙම යෝජනා තුළ ලාභ උපයනවා යැයි සඳහන් ආයතනවල නම් සඳහන් වීම පිළිබඳ විශේෂ කතාබහක් ගොඩනැගී තියෙන අයුරු දුටුවෙමි. ලාභ හෝ පාඩු ලබමින් රජයක් ව්‍යාපාරවල යෙදෙනවා ද? ව්‍යාපාර වෙනත් අංශවලට භාර දී ජනතාව වෙනුවෙන් එම ආයතන නියාමනය කරනවාද? නියාමන කරමින් රජයට හිමි බදු මුදල් සහ අනෙකුත් ලැබීම් හරි ආකාරයට ලබා ගන්නවාද? යන්නත් වර්තමාන ලෝකයේ ප්‍රායෝගික සංකල්පයක් බවට පත්ව ඇත. ඒ එක් පැත්තකි. තවත් පැත්තක් ඇත. එනම් මේ සමහර ආයතනවල ලාභය සැබෑ ලාභයක් ද යන්නයි. රජයේ අර්ධ ඒකාධීකාරී මෙහෙයුම් මත ඒ ඒ ආයතනවලට ලැබෙන ඍජු ව්‍යාපාරික අයිතිවාසිකම් නිසා උපයා ගත හැකි ලාභය තරගකාරී ලෝකයේ සැබෑ ලාබයක්ද අසන්නෝ සිටිති. එසේම සමහර ආයතනවල පෙන්වා දෙන ලාභය ශේෂ පත්‍රයේ ගැඹුරු අධ්‍යනයක දී සත්‍යම තත්ත්වයක් දැයි ප්‍රශ්න නගන්නෝ ද සිටිති. කෙසේ වෙතත් අපි ආර්ථිකයේ අඩියට වැටී සිටිමු. ප්‍රායෝගිකව අපි අත්විඳින ඉතා පහළ සංචිත ප්‍රමාණය හැකි ඉක්මනින් වර්ධනය කළ යුතුව ඇත. පසුගිය අප්‍රේල් මස දී එතෙක් බැඳගෙන සිටි ඩොලරය ලිහා හැරීමත් සමග සියයට 100කින් රුපියල අබිබවා ගිය ඩොලරය නැවත යථා තත්ත්වයකට පත් කර ගත යුතුය. මේ සියල්ල ගැන කල්පනා කත් එක කරුණක් වැදගත් ය. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ දී පැහැදිලි විනිවිදභාවය, ආයතනයේ සේවක සුරක්ෂිතභාවය සහ සුබසාධනය, ආයතනයෙන් ආයතනය පිළිබඳ සුවිශේෂී විමර්ශනයකින් තීරණ ගැනීම, ජාතික ආරක්ෂාව විශේෂයෙන්ම ජනතාවට ඉන් සැලසුන සේවය වඩාත් හොඳින් ඉටු වීම යන කරුණු මෙහිදී අනිවාර්ය වන බව සැලකිය යුතුය.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේද රැසක් තිබිය හැකි ය. වැදගත්ම දේ අදාළ ආයතනය පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් කොට වඩාත් සුදුසු ක්‍රමය විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමයි.
01. ගැළපෙන පරිදි ආයතනයේ මුළු ව්‍යුහය කොටස්වලට වෙන් කර පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෙදීම
02. සියයට 49ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් අවසතු කිරීම (පෞද්ගලික අංශය සමග හවුල්)
03. එක සමාන කටයුතුවල යෙදෙන ආයතන ඒකාබද්ධ කිරීම
04. විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මත ආයතනය වෙනත් සමාගමක් හෝ ආයතන වෙත පැවරීම
05. කළමනාකාරීත්වය රජය සතුව තබා ගනිමින්
මෙහෙයුම් පෞද්ගලික අංශයට දීම
06 බදු දීම
07 කළමනාකාරීත්වය පෞද්ගලික අංශයට ලබා දී අනෙකුත් අංශ රජය සතුව තබා ගැනීම
මේ කරුණු අතර මෙම අයවැය යෝජනාවල පෙන්වා දෙන තවත් එක් වැදගත් සංකල්පයක් වනුයේ රජය විසින් ඉටු කරන සේවා වඩාත් සරල සහ පහසු කරවීමයි. විදේශීය ආයෝජන සම්බන්ධයෙන් ද මෙතෙක් පැවැති විවිධ ආයතන ඒකරාශී කොට වඩාත් පහසුකරණය කිරීම පෙන්වා දිය හැකි ය. ඉඩම් බැහැර කිරීමේ යෝජනාව ද එවැන්නකි. අයවැය යෝජනාවේ වැඩියෙන්ම කියැවෙන වචනය බදු ය. ඊළඟට රාජ්‍ය ආදායම ය. අයවැයට බැට දෙන බොහෝ කථිකයෝ පසුගිය කාලයේ රාජ්‍ය ආදායම අඩු කර ගත් බවත්, රාජ්‍ය ආදායම වහා වැඩි කර ගත යුතු බවත් පවසා වාදය ආරම්භ කරති. මැදක් යන විට ඒ ඒ පාර්ශ්ව සිහිපත් වී දෝ අහවල් අහවල් බදු අඩු කිරීම සුදුසු යැයි යෝජනා කරනු ඇසේ. ආරම්භය සහ මැද පරස්පරය. එතැනින් නවතින්නේ ද නැත. කතාව අවසන් වන්නේ අහවල් සහනාධාරය, අහවල් වැටුප, අහවල් ප්‍රතිපාදනය වැඩි කළ යුතු යැයි කියා ය. අග මුල මැද එකිනෙකාට ම වෙනස් වේ. හේතුව අපි සියයට90කට වැඩි රාජ්‍ය ආදායම් ප්‍රතිශතයක් සොයා ගන්නේ බදු මුදල් නිසා ය. එය වර්ධනය කිරීමේ අවශ්‍යතාව අයවැය යෝජනා තුළ පැහැදිලි ව පෙන්වා දී ඇත. අයවැය මෙන් ම එය ද ජනප්‍රිය යෝජනාවක් නොවනු ඇත. එහෙත් අපි එදා වේලෙන් එහාට ගියා ස්ථිරසාර ආර්ථිකයක් ගොඩනගා ගත යුතු මය. කවුරු රට පාලනය කළත් කුමන අන්දමේ තර්ක ඉදිරිපත් කළත් සැබෑ තත්ත්වය එයයි. උගුරට හොරා බෙහෙත් කෑම අතහැර කවුරුන් හෝ රට වෙනුවෙන් අභියෝග භාර ගැනීමට උර දිය යුතුය.
(***)