විස්ස ඒකාධිපතිත්වයට පාර කැපීමක්


විපක්ෂයේ භූමිකාව, විසි වැනි සංශෝධන විරෝධය, අළුත්ගමගේ ඇමැතිවරයා කළ අභියෝගය, පක්ෂයේ සංවිධාන වැඩ, පරිසර විනාශය ගැන චෝදනා, පාස්කු ප්‍රහාරය ගැන රාවුෆ් හකීම්ගේ අනාවරණය සහ එ.ජා.පක්ෂ සන්ධාන ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතායි.

ප්‍රශ්නය -2015 ජනවාරි 9 වැනිදා සිටම මේ රටේ ජනතාව දුටුවේ දේශපාලනිකව ක්‍රියාකාරී විපක්ෂයක්. සමගි ජනබලවේගය කියන්නේත් එවැනි විපක්ෂක් ද?
පිළිතුර - ඔය ගැන කතා කරන්න නම් මේ ආණ්ඩුව පත් වූ ආකාරය ගැනත් කතා කරන්න ඕනෑ. මේ ආණ්ඩුව බලයට එන්නේම අපේ ආණ්ඩුවේ ප්‍රධාන වැරැදි දෙකක් නිසයි. පළමු වැනි වැරැද්ද තමයි මහබැංකු බැඳුම්කර කොල්ලය. දෙවැන්න අපේ කඹ ඇදිලි නිසා සිදු වූ පාස්කු ප්‍රහාරය සමග ජනසමාජයෙන් විශාල චෝදනාවක් ආවා. මේ අය කැම්පේන් එකක් හදාගත්තේ ඒක ලොකුවට පෙන්නලයි. ඒවා වැරැදි විදියට අපි පිළිගත් නිසා මේ ආණ්ඩුව බලයට පත් වූ පසුව එහි වැරැදිකරුවන්ට දඬුවම් දේවි කියලා අපි බලාගෙන හිටියා. ඒත් ආණ්ඩුව එය පසෙක තබා දැන් කඩිමුඩියේ ලෑස්ති වෙන්නේ විසි වැනි සංශෝධනයටයි. ඉතින් ඒකාධිපති වියරුවකට පාර කපන විසි වැනි සංශෝධනට එරෙහිව සෝභිත හාමුදුරුවන්ගේ පිළිරුව ඉදිරිපිටින් පළමුවෙන්ම විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා. නීතියෙන් වැරැදිකාරයකු කරපු අයෙක් පාර්ලිමේන්තු ගෙනැල්ලා නිවැරැදි මිනිසුන්ට නීති හදන්න උත්සාහ කළ පළමු අවස්ථාවේම අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා. හෙට (15) සිට විසි වැනි සංශෝධනයට එරෙහිව ජනතාව දැනුවත් කරමින් අපි රට වටේ යනවා. සමගි ජනබලවේගය කියන්නේ ශාඛා සමිතියක් නැති සාමාජිකයන් බඳවාගැනීමක්වත් නොකළ මාස හයක ළදරු පක්ෂයක් බවත් අමතක කරන්නෙපා. එහෙමයි කියලා පොහොට්ටුවේ අය එදා කළා වගේ හැම දේටම අපි විරුද්ධ වෙන්නේ නෑ. උදාහරණයකට මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය සම්බන්ධයෙන් අපි ආණ්ඩුවට ප්‍රශංසා කරනවා.

ප්‍රශ්නය - ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයි.එස්.අයි.එස් සංවිධානය සමග සෘජුව සම්බන්ධයක් නොතිබූ බවත් පාස්කු ප්‍රහාරය පසුපස වෙනත් බලවේගයක් සිටි බවත් රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගියදා කොමිසම හමුවේ ප්‍රකාශයක් කළා. යහපාලන ආණ්ඩුවේ හවුල්කරුවකු කළ මේ ප්‍රකාශය ගැන ස.ජ.බලවේගය කොතරම් සංවේදීද?
පිළිතුර - ඕක අහන්න ඕනෑ රාවුෆ් හකීම් මහත්තයාගෙන්ම තමයි. මම මගේ පෞද්ගලික මතය කියන්නම්. මම සිංහල ජනසමාජය එක්ක එකට ජීවත් වෙන පැහැදිලි පිරිසුදු ශ්‍රී ලාංකික මුස්ලිම්වරයකු විදියට මට ඔය අන්තවාදී කල්ලි ගැන කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා ඒකට උත්තරය දෙන්න ඕනෑ එතුමාම තමයි. මට කිසිම හැඟීමක් නෑ ඒ ගැන.

ප්‍රශ්නය:- එහෙත් සාකච්ඡාව ආරම්භයේදි ඔබ ඔබේ ආණ්ඩුවේ කඩාවැටීමට බලපෑ ප්‍රධාන හේතුවක් විදියට පාස්කු ඉරිදා ප්‍රහාරය දැක්වූවා. ඔබේ පක්ෂය ඒ ගැන හොයන්න උනන්දු නැද්ද?
පිළිතුර:- සමගි ජනබලවේගය ඇතුලේ තවම ඒ ගැන සාකච්ඡා වෙලා නෑ. මම මගේ මතය කිව්වේ ඒකයි. පක්ෂ මතය කියන්න වෙන්නේ අභ්‍යන්තර සාකච්ඡාවකින් පසුවයි.

ප්‍රශ්නය:- ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබියදී ස.ජ.බලවේගය විසි වැනි සංශෝධනය පරාජය කරන බව කීම විහිළුවක් නෙවෙයිද?
පිළිතුර:- පිස්සුද? ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙන්නේ කොහෙද? ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ලැබුණේ සියයට 52යි. සමස්ත ඡන්දදායකයන්ගෙන් සීයට 52කුත් නෑ. මොකද ඡන්දය නොදීපු පිරිසකුත් ඉන්නවනෙ. ඒ නිසා ජනාධිපතිවරණයේදි රටේ සමස්ත ඡන්දදායකයන්ගෙන් සියයට පනහ ලැබිලත් නෑ. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදි පොදුජන පෙරමුණට ලැබුණේ සියයට හැටකටත් අඩුවෙන්. එතකොට ඒක තුනෙන් දෙකක් නෙමෙයි. ඒත් මේ සමානුපාතික ක්‍රමය යටතේ දිස්ත්‍රික්කයකට බෝනස් එකක් හා අනුපාත අනුව බෙදා අවසන් කළ පසු කොට කෑලි ඉතිරි වීම නිසා ආසන වැඩිවුණා. ආණ්ඩුවට මුක්කු ගහන අයටත් එහෙමයි. ඩග්ලස් දේවානන්දලාට ආසන දෙකටම සියයට දශම පහයි හයයි. ටී.එම්.වී.පී පක්ෂයට සියයට දශම පහයි දෙකයි එක ආසනේට. ඔක්කොම එකතු කළාම 149යි. කතානායකට ඡන්දය දාන්න බෑනේ. එතකොට තුනෙන් දෙකක් කොයින්ද? වරදාන වරප්‍රසාදවලට කටු සූප්පු කරන්න දෙතුන් දෙනෙක් නොගියොත් ආණ්ඩුවට තුනෙන් දෙකක් නෑ. අනෙක් අතට යුද්ධය දිනපු මහරජාණෝ කියලා හඳුන්වපු මහින්ද මහත්තයාව පියන් කෙනකු කරනවාට ඔහුගේ කණ්ඩායම කැමැති වෙන්නේ නෑ.

ප්‍රශ්නය - ආණ්ඩුවේම හවුල්කාර ඇතැම් ජාතිකවාදී කණ්ඩායම් පවසන්නේ 19 සමග 13 හා 16 සංශෝධනත් එකවර වෙනස් කළ යුතු බවයි. ස.ජ.බලවේගය මේ ගැන හිතන්නේ මොකක්ද?
පිළිතුර - ඔය එක එක්කෙනා කිව්වට පළාත් සභා අහෝසි කිරීම ආණ්ඩුවේ මතය නොවේ යැයි මහින්ද රාජපක්ෂ මහත්තයම කියලා තිබුණා. පළාත් සභා අහෝසිය අපට හිතුමනාපයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 13 වැනි සංශෝධනය සැකසෙන්නේ ඉන්දියාව සමග අස්සන් කළ ගිවිසුමක් හැටියටයි. එතකොට ඉන්දියාවේ කැමැත්තත් එවැන්නකට අවශ්‍යයි. පළාත් සභාවලට අසීමිත විදියට බලයක් දී තිබෙනවා. හැබැයි ඒ පළාත් සභා තිබෙනවා නම් එහි පරිපාලනය පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් මුදල් ලබා දිය යුතුයි. උදාහරණයක් විදියට ලංකාවේ පාසල් දස දහස් ගණනින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබෙන්නේ තුන්සිය ගණනයි. හැබැයි නවදහස් අටසිය ගණනක් පාසල් පවත්වාගෙන යන්න පළාත් සභාවලට මුදල් නෑ. එනිසා පළාත් සභා ක්‍රමවත් ලෙස පවත්වාගෙන විධිමත් ලෙස ජනතාවට සේවයක් කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා දිය යුතුයි.

ප්‍රශ්නය - ඒත් මහින්දානන්ද ඇමැතිවරයා නම් පාර්ලිමේන්තුවේදි කිව්වේ 20 වැනි සංශෝධනය සම්මත කරන දවසට වැඩිපුරත් 15 දෙනකු පමණ සහාය දේවිද කියල ස.ජ.බට බලාසිටින්න කියලයි. 18 සම්මත කරන දවසේ වූ දේ 20 සම්මත කරන දවසේ නොවේවි කියල සහතිකද?
පිළිතුර - සමගි ජනබලවේගයේ සිටින තරුණ මන්ත්‍රීවරුන් දේශපාලනය කියන දේ හරියට දන්නවා. දේශපාලනය කියන්නේ ඉවසීමේ ක්‍රීඩාව. ඉතින් ඒ ඉවසීමේ ක්‍රීඩාව දන්න අය එහෙම ලේසියෙන් ගන්න ලැබෙන්නේ නෑ. 18 සම්මත කරපු වෙලාවේ ඒ අය ගත්තේ ටිකක් වැඩිහිටි මන්ත්‍රීවරු. මොකද වැඩිහිටි මන්ත්‍රීවරුන්ට බලය සම්බන්ධයෙන් හදිස්සියක් තියෙනවනෙ. ඇමැති කටු සූප්පු කරන අය ගැන විශ්වාසෙකින් මහින්දානන්ද එහෙම කියන්න ඇති. විසි වැනි සංශෝධනය හොඳ නැති බව ඒකෙන්ම පේනවා. පුංචි දූපතක් විදියට අපේ රටට ගැළපෙන ඇමැති මණ්ඩලයක් ඕනෑ යැයි මහජන මතයක් තිබෙනවා. ලෝකේ ලොකුම කැබිනට්ටුව පත්කරන්න හොඳ නැති නිසානේ තිහේ සීමාවක් ගෙනාවේ. දැන් ඒක අහෝසි කරලා අක්‍රමවත් දූෂිත ක්‍රමයට නැවත රට ගෙනියන්න හැකි යැයි මහින්දානන්ද විශ්වාස කරනවා ඇති.

ප්‍රශ්නය - පාර්ලිමේන්තුව ඉදිරිපිටදී 18ට විරෝධය පා පහුවැනිදා ඊට අත ඔසවපු මන්ත්‍රීවරුත් සමගි ජනබලවේගයේ සිටින බව ඔබ දන්නවද?
පිළිතුර - ඒක තමයි මම කිව්වේ. ඒ වෙලාවෙ වැඩිපුරම ගියේ වැඩිහිටි දේශපාලකයන්. හොඳට බලන්න. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට අනූ පහක් තරුණ අය. තව අවුරුදු පහක් ඉවසන්න බැරිකමක් ඔවුන්ට නෑ. දේශපාලනය කියන්නේ බලයම නෙවෙයි. අනෙත් එක ඒ වෙලාවයි මේ වෙලාවයි සංසන්දනය කරන එක වැරැදියි. මොකද ඒ වෙලාවේ නායකයා රනිල් වික්‍රමසිංහ. දැන් සජිත් ප්‍රේමදාස. නායකයන් දෙදෙනෙක්. සිස්ටම් දෙකක්.

ප්‍රශ්නය - නායකයන් දෙදෙනකු වුණත් එ.ජා.පාක්ෂිකයන් වික්ෂිප්තව නිවෙස්වලම සිටීමත් තමන්ට ඡන්දය අඩුවීමට බලපෑ බව ස.ජ.බලවේගය කිව්වා. එ.ජා.පය සමග සන්ධානගතවීමකින් ඒ පාක්ෂික පිරිස් නැවත දිනාගැනීමට නොහැකිද?
පිළිතුර - එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානයකට යෑම කියන්නේ විහිළුවක්. මොකද එ.ජා.පයට හිමි ඉරණම මොකක්ද කියලා සමහර පාක්ෂිකයන්ට තේරුණේ මැතිවරණයෙන් පස්සෙයි. මැතිවරණයට කලින් මිනිස්සු ඇහුවේ එ.ජා.පය පහක් ගනීවිද දහයක් ගනීවිද පහළොවක් ගනීවිද කියලනෙ. හැබැයි එකක්වත් ගන්න බෑ කියලා තේරුණේ මැතිවරණ ප්‍රතිඵල දුටුවමයි. එහි සැබෑ තත්ත්වය අපිට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී බලාගන්න පුළුවන් වේවි. ඔය පක්ෂ ප්‍රතිසංස්කරණ කියන්නේම බොරුවක්. අපිත් එළියට බැස්සේම ඉවසන්න බැරිම තැනදිනෙ. චෝදනා ලබපු දූෂිත කණ්ඩායමකට මොන ප්‍රතිසංස්කරණද?

ප්‍රශ්නය - එ.ජා.ප ව්‍යවස්ථාවම ඒකාධිපති යැයි ඔබලා චෝදනා කළා. දැන් සමගි ජනබලවේගයේ හැදෙන ව්‍යවස්ථාව මොන වගේ එකක්ද?
පිළිතුර - සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී එකක්. මොකද ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි. එක්සත් ජාතික පක්ෂයේ සිටියදී මුහුණ පෑ ඉරණමට සමගි ජනබලවේගය තුළදිත් ලක්නොවෙන්න සියලු පියවර ගන්නවා. ඒ වගේම ලබන සතියේ සිට මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත සමගි ජනබලවේගයේ ශාඛා ජාලය සෑම ගමක්ම ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව හදනවා. එහෙම හදලා තමයි අපි පළාත් සභා මැතිවරණයට යන්නේ. ඒ ශාඛා ජාලය හදද්දී අපිත් එක්ක වැඩියෙන්ම සම්බන්ධ වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් තමයි. එක්සත් ජාතික පක්ෂය කියන්නෙත් අපිමයි. බිල්ඩිමකට බෝඩ් ලෑලි ගහගෙන ඕනෑ කෙනකුට ඉන්න පුළුවන්. හැබැයි පාක්ෂිකයා ඉන්නේ අපිත් එක්ක.

ප්‍රශ්නය - පක්ෂෙ සංවිධාන වැඩත් කරන අතරේ විසි වැනි සංශෝධන විරෝධයත් මාස දෙකක් ඇතුළත ජනතාව අතරට ගෙනයන්න පුළුවන් ද?
පිළිතුර - සෝභිත හාමුදුරුවන්ගේ අනුරුව ඉදිරිපසින් අපි ආරම්භ කළ වැඩපිළිවෙළ ජනතාව අතරේ යම් පිබිදීමකට පාර කපලා තිබෙන බව කවුරුත් දන්නවා. ඒ වගේම විසි වැනි සංශෝධනයේ භයානකත්වය සම්බන්ධයෙන් අප පළ කරන අදහස් වඩාත් ජනගත වෙමින් තිබෙනවා. උදාහරණයකට ශ්‍රී ලංකාව කියන්නේ ඒකීය ස්වෛරී රාජ්‍යක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වූ සඳහන මේ අයගෙ කලබලය නිසා විසි වැනි සංශෝධනයේදි හැලිලා තිබෙනවා. ජී.එල් පීරිස් මහත්තයා කිව්වා ඒකීය කියන යෙදුම වෙනත් නීතිවලින් ආවරණය කරන්න බෑ. එය සෘජුව ව්‍යවස්ථාවේ සඳහන් විය යුතුයි. අනෙක් අතට මේ ගැන ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම දැනටම බෙදීමක් ඇවිත් තිබෙනවනෙ. ඒ මේක හොඳ නිසා නෙවෙයිනෙ. ඒ විතරක් නෙවෙයි. ජනවරමක් තිබෙනවා යැයි කියමින් ආණ්ඩුව කරගෙන යන මහා පරිසර විනාශයත් අපේ විරෝධතා මාලාවේ ප්‍රධාන කරුණක්. ඉතින් මේ කාරණා අපි ගමට බිමට මිනිස්සුන්ට නිවැරැදිව සන්නිවේදනය කරද්දි ජන රැල්ල නිර්මාණය වේවි.
 
ප්‍රශ්නය - ආණ්ඩුවට ජනවරම ලැබුණේ පරිසර විනාශයට නෙවෙයි කියලා විපක්ෂ නායකවරයාත් චෝදනා කළා. හැබැයි දැන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා හන්තානේ විනාශය ගැන සෘජුව චෝදනා කරන්නේ ඔබේ පක්ෂයේ කිරිඇල්ල මන්ත්‍රීවරයාට නේද?
පිළිතුර - එතුමා කපලා තිබෙන්නේ එතුමාගෙ පෞද්ගලික ඉඩමක්. පෞද්ගලික ඉඩමේ සංවර්ධන වැඩ කරන්න එතුමාට අයිතියක් තිබෙනවා. ඒත් ආණ්ඩුව කපන්නේ වන සංරක්ෂණය යටතේ තිබෙන රජයේ ඉඩම්. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා එහෙම කිව්වා නම් අපට ඔහුව හඳුන්වන්න වෙන්නේ මේ ආණ්ඩුවට විළිලජ්ජා නැතිව කඩේ යන මනුස්සයෙක් විදියටයි.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)