විස්සේ විවේචන ඉවත දාන්නේ නෑ


විස්ස විවාදයේ කාල සීමාව, විස්සට එරෙහි සංඝරත්නයේ අදහස්, විස්සේ කර්තෘ කවුද, පාස්කු කොමිසම ගැන ශ්‍රීලනිප චෝදනා, බදියුදීන් ඇල්ලීම නාට්‍යයක්ද, පොලිස්පති ඉවත්කිරීමට ක්‍රමයක් නැද්ද, ඇඟලුම් කම්හල්වල හෙට දවස හා රට වසා දැමීමකට යනවාද යන කරුණු ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතායි

ප්‍රශ්නය:- විසි වැනි සංශෝධනයට අදාළ තෙවැනි වර කියවීමේ විවාදයට දින තුනක් දෙන්නැයි කළ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බවට විපක්ෂය චෝදනා කරනවා. විපක්ෂය ඉල්ලන අවස්ථාව ආණ්ඩුවට දෙන්න බැරි ඇයි?
පිළිතුර:- පාර්ලිමේන්තුව අවසන් වීමට නියමිතව තිබුණේ සවස 4.30ට. ඒ වෙනුවට අපි පස්වරු 7.30 වනතුරු පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩදුන්නා. කෑම වෙලාවෙත් මේක සාකච්ඡාවට ගමු කියලා අපි කිව්වා. එතකොට අනිවාර් යෙන්ම එක දවසකට පැය හතරක් වැඩිපුර ලැබෙනවා. දවස් දෙකට නම් පැය අටක්. එතකොට දවස් තුනක පාර්ලිමේන්තු කාලයට වැඩි කාලයක් අපි දීලා තිබෙනවා. දින ගණන කළමනාකරණය කරලා ඒ අයට අවශ්‍ය පැය ගණන ලබාදෙන්න අපි කටයුතු කරල තිබෙනවා.

ප්‍රශ්නය:- විපක්ෂය පවසන්නේ විස්ස කියන්නේ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු උපදේශක කාරක සභා හෝ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාකච්ඡාවට බඳුන් නොවූ නිසා දින තුනක් අවශ්‍ය බවයි. මේ තර්කය වැරැදිද?
පිළිතුර:- 19 වැනි සංශෝධනය ගෙනාවෙ දවස් දෙකෙන්. විසි වැනි සංශෝධනය ගැන අධිකරණ මතය පාර්ලිමේන්තුවට විසි වැනිදාට ඉදිරිපත් කළාම මන්ත්‍රීවරුන්ට ඒ ගැන අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඊට පසුව ඒ ගැන විවාදයට දවස් දෙකක් දීලා තිබෙනවා. දවස් දෙකක් කිව්වාට පැය ගණනින් බලන්න ඕනෑ. කාලයේ අවශ්‍යතාව නිසයි එවැනි තීරණයක් ගත්තෙ. හැබැයි යහපාලන ආණ්ඩුව කාලේ සංශෝධන ගෙනාපු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවට පනත ගෙන එනවිට වෙනස් කරලා දාපු අවස්ථා තිබුණා. අපි එහෙම කරන්නේ නෑ. සංශෝධන ගැන නිසියාකාරව දැනුවත් කරලා විවාදයට සියලු දෙනාට අවස්ථාවක් දෙනවා.

ප්‍රශ්නය:- විසි වැනි සංශෝධනය පසුපස රටත් ජාතියත් පාවා දෙන අදිසි හස්තයක් ඇතැයි බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, ඉඳුරාගාරේ ධම්මරතන ඇතුළු ස්වාමීන් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් මගින් පවසනවා. මේ ආණ්ඩුව බලයට ගෙනඑන්නට මැදිහත් වූ සංඝරත්නයේ විරෝධය ගැන ආණ්ඩුව සැලකිලිමත්ද?
පිළිතුර:- අපි ඒ ගැන හොඳ අවධානයක් යොමුකරනවා. ස්වාමින් වහන්සේලාට තිබෙන්නේ යම් යම් කාරණා ගැන විරෝධයක්. ඒ විරෝධතාවලට ගරු කරලා සංශෝධන අවස්ථාවේදී වෙනස් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. 19 ගෙනෙද්දි කවුරුවත් විරුද්ධ වුණේ නෑ. හැබැයි ඒකෙන් කළේ තනිකර බොරුවක්. ස්වාධීන කියලා ඉස්සරහට දැම්මාට පත්කළ කොමිෂන් සභා ස්වාධීන වුණේ නෑ. මේ පක්ෂවලට ඡන්දය දෙන්න එපා යැයි කී අය මැතිවරණ කොමිසමේ හිටියා. පොලිස් කොමිසමක් පත්කළා. පොලිස්පති පත්කළේ ජ්‍යෙෂ්ඨත්වය අනුව නෙවෙයි. අපි හැම කොමිෂන් සභාවක්ම වැරැදියි කියන්නේ නෑ. ඒත් ඒවා ක්‍රියාත්මක වූ ආකාරයේ වැරැදි තිබුණා. අපි හැමදාමත් ස්වාධීන කොමිෂන් සභාවලට එකඟ අය. අලුත් ව්‍යවස්ථාව හරහා ඒකට වැඩපිළිවෙළ හැදෙනවා. ජනාධිපතිවරයාගේ වසර පහක නිල කාලයෙන් දැනටම අවුරුද්දක් ඉවරයි. එතුමාට ඉතිරි වසර හතරක කාලයේ වෙනසක් කරන්න ඕනෑ. ඒ වෙනස කිරීමට දහ නවය එක්ක බෑ. මෛත්‍රිපාල ජනාධිපතිතුමාට ජනාධිපති ධුරය සමග ඇමැති ධුරවලට ඉඩදුන්නත් ඊළඟ ජනාධිපතිවරයාට එවැනි ඉඩක් නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ජාතික ආරක්ෂාවට වගකිව යුතු නායකයෙක්. එතුමාට ඒත් ආරක්ෂක ඇමැතිකම නෑ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට වාඩිවුණාට ඇමැතිකමක්වත් නෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දුර්වලතා මඟ හැරෙන ආකාරයෙන් සංශෝධනවලට යටත්ව විසි වැනි සංශෝධනය සම්මත කරගැනීමටයි.

ප්‍රශ්නය:- උන්වහන්සේලා කියන්නේ ජනපතිගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග නොසලකා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලතල ද හීන කරවමින් මෙය සකසා ඇත්තේ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අවම දැනුමක්වත් නැති අයකු කියලයි. ඇත්තටම විස්සේ නිර්මාණකරු කවුද කියලාවත් ආණ්ඩුවට කියන්න බැරි වුණා නේද?
පිළිතුර:- 19 අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් රටට ගේන්න ඕනෑ යැයි අපි මැතිවරණ ව්‍යාපාරයේදි පැහැදිලිව කිව්වා. තුනෙන් දෙකේ බලයක් ඉල්ලුවේ එයටයි. ඒ ජනවරම ජනතාව අපට දුන්නා. එතකොට 19 අහෝසි කරලා 18 ගේන්න බෑ. දහ අටේ කරුණුත් ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධනත් එක්ව තමයි විස්ස ඉදිරිපත් වෙන්නේ. ඒක සෙක්ෂන් බයි සෙක්ෂන් ගිහින් අනුමත කරන්න පුළුවන්. නායක ස්වාමින් වහන්සේලාත් ආගමික නායකයනුත් දක්වන අදහස් සැලකිල්ලට ගෙන තමයි අපි එය සම්මත කිරීමට බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රශ්නය:- රජය බලය ඒකරාශි කරගැනීමේ ව්‍යවස්ථා ගෙන ඒම නවතා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මැදිහත් විය යුතු යැයි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම සංවිධාන ඉල්ලා සිටිනවා. ඇත්තටම මේ වෙලාවේ රජයට ජනතාවගේ සෞඛ්‍යයට වඩා දේශපාලන බලය ප්‍රමුඛද?
පිළිතුර:- රජයක් හැටියට 19 වැනි සංශෝධනය අහෝසි කරලා මේ හදන්නේ වැඩ කිරීමට අවශ්‍ය පසුබිම තමයි. 19 ගෙනාපු අයම දැන් ඒක විවේචනය කරනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාම 19 නිසා වැඩ කරගන්න බැරි වුණා යැයි කිව්වා. මොකද ජනාධිපතිත් අගමැතිත් කඹ ඇදිල්ලක් වුණේ මේ නිසා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන කොමිසමේ හිටපු ජනාධිපතියි අගමැතියි සාක්කි දෙනකොට ආරක්ෂක මණ්ඩලය මෙහෙයවපු ආකාරය අපට පේනවා. රටක් වැඩ කරන්න අවශ්‍ය නෛතික පදනම නිර්මාණය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්. එහෙම නම් ඒ සඳහා තමයි විස්ස ගේන්නේ. එයට සංශෝධන කිරීමට ඕනෑම අයකුට අවස්ථාවක් තිබෙනවා.

ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිසමත් දේශපාලන ගනුදෙනුවකට යටවීදැයි කාදිනල්තුමා සැක පළ කළා. දැන් ශ්‍රීලනිප මහලේකම්වරයා පවසන්නේ කොමිසම ප්‍රහාරකයා සෙවීම අත්හැර වෙනත් කාරණා පසුපස යමින් සිටින බවයි. ආණ්ඩුවේම හවුල්කාරයන් නඟන මේ චෝදනාව ගැන ඔබ මොකද හිතන්නේ?
පිළිතුර:- ඕවා ඔවුන්ට ජාතික ලැයිස්තු අවස්ථා නොලැබීම සමග හටගත් කලකිරීම නිසා කියන දේවල් වෙන්න පු`ඵවන්. හැබැයි අදටත් පොලිස් කොමිසමක් තියාගෙන පොලිස්පතිව වෙනස් කරන්න බැරි බව මම පැහැදිලිව කියනවා. අදටත් පොලිස් කොමිසමෙන් උසස්වීම් ලැබෙන්නේ අපට විරුද්ධව කටයුතු කළ සී.අයි.ඩී හා එෆ්.සී.අයි.ඩී නිලධාරින්ටයි. තාමත් කොමිසම්වල නිලධාරින් කටයුතු කරන්නේ එහෙමයි. නැත්නම් රිෂාඩ් බදියුදීන් කරපු දේවල් ගැන පොලිසිවලට හොයන්න බැරිකමක් නෑනෙ. අපි රජය වුණාට පාලන තන්ත්‍රය තිබෙන්නේ තාම පරණ එක. ඒක වෙනස් කළ යුතුය කියන ස්ථාවරයේ දැඩිව ඉන්න නිසා තමයි ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් බලයක් ලැබෙන විදියට විස්ස ගේන්නේ.

ප්‍රශ්නය:- පොලිස්පතිවරයා ඉවත් කිරීමට 19 බාධාවක්ය යන්න අධිකරණ ඇමැතිවරයා ගෙතූවක් බව ආණ්ඩුවේම නීතිය පිළිබඳ විශාරදයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා. ඇත්තටම පොලිස්පතිවරයා ඉවත්කිරීමට ආණ්ඩුවට අවශ්‍ය නම් වෙනම පනතක් තිබෙනවා නේද?
පිළිතුර:- පොලිස්පතිවරයා ඉවත්කිරීමට ජනාධිපතිවරයාට ඉඩක් නෑ කියන තැනදි ඒකට ක්‍රමවේදයක් නෑ කියනවා හැරුණු විට මොකද්ද කියන්නේ. අපි යුද්ධය දිනන විට ජයග්‍රහණ ලැබුවේ ජනාධිපතිතුමාට තීන්දු තීරණ ගන්න අවස්ථාව තිබුණු නිසයි. වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කියලා හදපු 19න් වුණේ ඒක ඔවුන්ගේ දේශපාලන වුවමනා එපාකම්වලට පාවිච්චි කරපු එක. 19 ගෙනාවෙ රාජපක්ෂලාට තිබුණු භීතිකාව නිසා. 19න් වුණේ මොකක්ද? විගණන කොමිසම තිබුණා කියලා මහ බැංකු හොරකම නැවතුණේ නෑනෙ. අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බලය දුන්නොත් ඉතිරි අවුරුදු හතරෙදි ජනතාවගේ බලාපොරොත්තු ඉටුවේවි.     

ප්‍රශ්නය:- රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ පූර්ණ රැකවරණය ලැබෙමින් පවතින බව විජයදාස රාජපක්ෂ මහතා කියනවා. මේක බරපතළ චෝදනාවක්?
පිළිතුර:- විජයදාස රාජපක්ෂ එහෙම කියනවා නම් ඒක ඉතාම වැරැදියි. මොකද ඔය රිෂාඩ් බදියුදීන් පහුගිය ජනාධිපතිවරණයේදිවත් පාර්ලිමේන්තු මැතිවරණයේදිවත් අපිත් එක්ක හිටියේ නෑ. ඉතින් අපිට ඒ අය රැකගන්න කිසිම වුවමනාවක් නෑ. නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරින්ට වගකීමක් තිබෙනවා. නිලධාරින් වගකීම් පැහැර හරිනවා නම් ඒ නිලධාරින්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

ප්‍රශ්නය:- බදියුදීන් ඇල්ලීමේ පොලිස් මෙහෙයුම නර නාටකයක් යැයි විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමැතිවරයාත් කියනවා. මේවා කියන්නේ විපක්ෂය නෙවෙයි. ආණ්ඩුව?
පිළිතුර:- කරුණු දැනගෙන කතා කළොත් මේවායේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ අය අල්ලන්න මහජන නියෝජිතයන් විදියට අපට බෑනෙ.

ප්‍රශ්නය:- එහෙම පුළුවන් නම් කියන අය ඒක කරලා රටට පෙන්නන්න ඕනෑ. හැමෝටම කියන්න ලේසියි. හැබැයි අපි එහෙම ක්‍රියාකරන්න ගියොත් දේශපාලකයෝ නීතිය අතට අරගෙන කියලා ජනතාව කියාවි. රටේ නීතිය ක්‍රියාත්මක කරන තැනට අපි කටයුතු කරන්න ඕනේ.
පිළිතුර:- තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව මෙන්ම රැකියා සුරක්ෂාව ද අවදානමක ඇතැයි සේවකයන් කියද්දී වෘත්තිය සමිති චෝදනා කරන්නේ...

ප්‍රශ්නය:-කොරෝනා වයිරසය මර්දනයේදී කම්හල් නියාමනයට තමන් කළ යෝජනා පසුගිය කාලයේ ආණ්ඩුව අත්හැර දැමූ බවයි. චෝදනාව පිළිගන්නවද?
පිළිතුර:- සමහර නිලධාරින්ගේ අඩුපාඩුකම් නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. අපි නෑ කියන්නේ නෑ. කර්මාන්තශාලා ක්‍රියාත්මක කරද්දී කටයුතු කළ යුතු ආකාරය ගැන හිමිකරුවන්ට පැහැදිලිව උපදෙස් දී තිබුණා. නිරෝධායන ක්‍රියාවලියට අදාළව සෞඛ්‍ය අංශ දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේත් වගකීමක්. මම කියන්නේ නිලධාරින් ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය:- ඇගලුම් ඇතුළු කම්හල් ක්‍ෂේත්‍රයත් කොවිඩ් වයිරසයේ සෘජු ඉලක්කයක් වී තිබෙනවා. සංචාරක හා විදේශ රැකියා ක්‍ෂේත්‍ර අර්බුදයට ගොස් ඇති අවස්ථාවක ගම්පහ කලාපයේ මහජන නියෝජිතයකු හැටියට අපනයන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබට තිබෙන සැලකිල්ල මොකක්ද?
පිළිතුර:- සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පරිදි කොරෝනා පාලනය වෙලා කියන මතය තමයි තිබෙන්නේ. ආසාදිතයන් හා ආශ්‍රිතයන් හඳුනාගනිමින් සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. කර්මාන්ත ශාලාවල පෞද්ගලික අංශය මගිනුත් පී.සී.ආර් පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා. ඉතින් ඒ ප්‍රධානීන්ට අප දුන් උපදෙස් අනුව කටයුතු කළොත් ඉදිරියේදී මේක පාලනය කරගැනීමට අපට පුළුවන් වේවි. මේක අපි හැමෝගේම වගකීමක්. කොරෝනාවලින් බේරෙන්න නම් අපි හැමෝම වගකීම්සහගත විය යුතුයි. කොවිඩ් සමග ජීවත්වෙන්නත් අපිට සිදුවේවි.  

ප්‍රශ්නය:- ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගැනීම ගැන මැසිවිලි නඟනවා. ඔවුන්ට සාධාරණයක් වේවිද?
පිළිතුර:- දිසාපතිතුමා ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡා කර පළමු වසංගත අවස්ථාවේදී පත්කළ කමිටු නැවත ක්‍රියාත්මක කරලා පොලිස් ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවලට යම් සහනයක් දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කළා. අද(20) සිට එය ක්‍රියාත්මක කරන්න අපට පුළුවන් වේවි. ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වී එම ප්‍රතිපාදන ලබාදීමටත් එකඟතාව ලැබී තිබෙනවා.

ප්‍රශ්නය:- කොවිඩ් පැතිරෙන පෙදෙස් හෝ රට වසා තැබීමකට ආණ්ඩු තල්ලුවේද යන්න බොහෝ දෙනෙකු විමසන ප්‍රශ්නයක්. ආණ්ඩුව එවැනි විකල්පයකට යෑමට සිදුවේවිද?
පිළිතුර:- මේක පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයකට ගියොත් අපට එහෙම කරන්න සිදුවේවි. සෞඛ්‍ය අංශ දැනට නම් කියන්නේ එවැනි තත්ත්වයක් නෑ කියලයි. ඒත් රජයක් හැටියට අපට තීන්දු ගන්න වෙන්නේ ලොක්ඩවුන් කිරීමක් ආර්ථිකයට කොපමණ බලපෑම් කරනවාද කියන කාරණාත් සැලකිල්ලට ගෙනයි.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)