විසි එකේ ඇත්තේ මොනවාද?


ඇමරිකාවේ 16 වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් 1863 වසරෙදී ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ නිරූපනය කරන ලද්දේ මිනිසුන් උදෙසා මිනිසුන් විසින්ම මිනිසුන් පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බවයි. නූතන නියොජන ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තිවාරම ලෙස සලකනු ලබන්නේ 1215 දී බ්‍රිතාන්‍යයේ රජු සහ මහජන නියෝජිතයන් අතර ඇතිකර ගත් මැග්නාකාර්ටා ගිවිසුමයි.

එම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස විකාශය වෙද්දී කලක් බ්‍රිතාන්‍යයේ කොලනියක් බවට පත්ව තිබු ඇමරිකා එක්සත් ජනපදය නිදහස ලබා ගැනීමෙන් පසු 1787 දී විධායක ජනාධිපතිධුරය මුල් කොටගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා ලදි. 1947 වසරේ සම්මත කළ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගින් ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලැබුණු අතර එය මුළු මනින්ම වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ ද්වි සභාවකින් යුත් ව්‍යවස්ථාදායකයකින් සමන්විත විය. එනම් පාර්ලිමේන්තුව සහ සෙනට් සභාව හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලය විය.

ඩොමීනියන් තත්ත්වය හෙවත් බ්‍රිතාන්‍ය කිරීටයේ නාමයෙන් රාජ්‍ය පාලනය කිරීම අවසන් කර 1972 වසරේ පළමුවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන ලදී. එම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ දී මුළු මහත් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙසින් ගත් ඓතිහාසික වැරැදි තුනක් නිසා රටේ සාමය සහ සමගිය ගිලිහී ගොස් කාලයක් යනවිට මෙය ගිනිගත් දේශයක් බවට පත්විය. එම වැරැදි  නම් :- 1 සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු  වස් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29 (2) ව්‍යවස්ථාව අහෝසි කළත් ඒ සඳහා සුදුසු ප්‍රතිපාදන නව ව්‍යවස්ථාවට ඇතුළත් නොකිරීම නිසා විශේෂයෙන් ද්‍රවිඩ ජන කොටස් විසින් සිංහල පාලකයන් කෙරෙහි වෛරයක් ඇති කර ගන්නා ලදී. නව ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් කළත්  අයිවාසිකිම් උල්ලංඝනය වුවහොත් ප්‍රතිකර්ම යෙදීම සඳහා කිසිදු අධිකරණයකට බලය නොදුනි. 1978 ව්‍යවස්ථාව මගින් එය  නිවැරැදි කළ අතර මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පවරන ලදී.

2. සෝල්බරි ව්‍යවස්ථාවේ තිබු රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අහෝසිකොට එම බලතල අමාත්‍ය මණ්ඩලය වෙත පවරා ගන්නා ලදී. ප්‍රතිඵලය වූයේ සමස්ත රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීමයි. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව  මගින් එය නිවැරදි කර නැවතත් රාජ්‍ය සේවා කොමිසම ස්ථාපිත කළේය.

3. සෙනට් සභාව හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කිරීම. රටේ සියලු ජාතීන් නියෝජනය වූ මෙම සභාව මගින් සියලු ජනකොටස් කෙරෙහි රැකවරණය පිළිබඳව දැඩි විශ්වාසයක් ගොඩ නගාගෙන තිබුණි. මෙම ක්‍රමය තවදුරටත් පවත්වාගෙන ආවේ නම් ඉන්දියාව මැදිහත් වී පළාත් සභා ක්‍රමයක් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට රිංගවීමේ අවශ්‍යතාවක් නොයෙදෙන්නට ඉඩ තිබුණි.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පූර්ණ විධායක බලය අගමැති වෙත කේන්ද්‍රගත වීම නිසාම වසර පහක් යන විට එම ආණ්ඩුව ද පරිහානියට පත්ව 1977 මැතිවරණයේ දී එ.ජා.පයට හයෙන් පහක බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය විය.  එම බලය හරහා ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපතික්‍රමය (ප්‍රංශයේ ඩිගෝල් ජනාධිපතිගේ ව්‍යවස්ථාවට සමාන) හඳුන්වා දුන් අතර සමානුපාතික මැතිවරණ ක්‍රමය ඊට බද්ධ කළේය. මෙම ක්‍රමවේද දෙකම රටට ශාපයක් වූ බවට ජනතාව තුළින්ම අවලාද නැගුණි.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ ප්‍රගමනයක් ඇති නොවීම සහ රට පරිහානියට පත්වීම නිසාම 2000 වසරේ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේය. එමගින් ව්‍යවස්ථාදායක සභාවක් සහ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ අතර 2010 වසරේ දී එය කණපිට හැරවූ 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේය. ඒ හරහා සමස්ත රාජ්‍ය තන්ත්‍රය සම්බන්ධයෙන්ම ගොඩනැගුණු ජනතා වෛරය අපහට සමනය කරගත හැකි වූයේ 2015 වසරේ යහපාලන ආණ්ඩුව පිහිටුවා 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර  ක්‍රියාත්මක කිරීම මගිනි. නැවතත් 2019 බලයට පත් ජනාධිපති 2020 පාර්ලිමේන්තුවට පත්වූ ආණ්ඩු පක්ෂයේ තුනෙන් දෙකේ බලය යොදා ගනිමින් පාර්ලිමේන්තුව අනාථ කඳවුරක් බවට කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හරහා ඒකාධිපතියකු බිහි කළේය. රටම නිමග්න  වූයේ කඳුළු ගංගාවක් තුළය.

නීතියේ ආධිපත්‍ය රාජ්‍ය පාලනයෙන් ගිලිහී ගොස් ආඥාදායකයකුගේ පාලනයක් බිහි වූ අතර එය ක්‍රමානුකූලව තවකෙකු හට දුරස්ථපාලකයකින් පාලනය කළ හැකි රොබෝවක් විය. ආඥාදායකයන් රාජ්‍ය පාලන කළ සමයෙහි පිළිගත් සංකල්පය වූයේ ‘‘King is under no man’’හෙවත් රජු කිසිදු මිනිසකුට යටත් නැති බවය. රජු දෙවියන්ගේ නියෝජිතයෙක්ය යන සංකල්පය ජන සිත්වලට කාවද්දා රජු දෙවියන්ගේ නියෝජිතයාය, යන දේවවරම්වාදය සමාජ ගත කර තිබුණි.  ඊට මුල්ම අභියෝගය එල්ල කළේ 13 වන සියවසේ ජීවත් වූ නීති විද්‍යාඥයෙකු වන හෙන්රි බ්‍රැක්ටන්ය. ඔහු පැවසුවේ ‘‘ King is under no man but under the God and the Law’’ යනුවෙනි. එම සංකල්පය සැබෑවක් වූයේ ඊට වසර  400කට පමණ පසු 1649 දී ජෝන්  බැඩ්ෂෝගේ ප්‍රධානත්වයෙන් පැවැති නඩු විභාගයකින් පසුව පළවන චාර්ල්ස් රජු එල්ලා මැරීමට තීන්දු  කොට ක්‍රියාත්මක කිරීමත් සමගය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගතයේ පැවැතිය යුතු මූලිකම ගුණාංග වනුයේ ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් තහවුරු කිරීම වේ. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථායකය, විධායකය, අධිකරණය ස්ථාපිත කිරීම සහ ඒවායේ බලතල නිශ්චිතව දැක්වීම ද, යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය ද ඊට ඇතුළත් විය යුතුය. පවතින ආඥාදායක ස්වරූපයේ විධායක  ජනාධිපතිගේ බලය තුලනය සහ සංචරණය මගින් ජතාවට වගකියන තනතුරක් බවට පත් කිරීම සහ යුක්තිය පසිඳලීම පූර්ණ වශයෙන් ස්වාධීන කර දැමීමද, රාජ්‍ය තන්ත්‍රය ස්වාධීන සහ ඵලදායිතාවකින් යුත් සේවාවක් බවට පත් කිරීම 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණු විය. එය සම්මත වූ පසු 21 සංශෝධනය ලෙස අංකනය කරන ලදී.

පාර්ලිමේන්තුවේ කතානායක, අගමැති, විපක්ෂ නායක යන නිලබලයෙන් පත්වන සාමාජිකයන් තිදෙනකුගෙන් ද, ජනාධිපති පත් කරන මන්ත්‍රීවරයකුගෙන් ද, තවත් මන්ත්‍රීවරු තිදෙනකුගෙන් ද සහ සිවිලි සමාජයේ විශිෂ්ටත්වයට පත් වූවත් තිදෙනෙකුගෙන්ද (10 දෙනකු) සමන්විත ව්‍යවස්ථාදායක සභාව  ස්වාධීනව කටයුතු කිරීමට බැඳී සිටින්නේය. අග විනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති, ආභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, මහ බැංකුවේ අධිපති සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විගණකාධිපති, පාර්ලිමේන්තු මහ ලේකම්, ඔම්බුඩ්ස්මන් යනාදි නිලධාරීන් පත් කිරීමේ දී ජනාධිපති ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ අනුමැතිය ගත යුතු වේ.

මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාවට කොමසාරිස් පත් කිරීමේ දී ජනාධිපති විසින් ව්‍යවස්ථාදායක සභාවේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය. එකී කොමිෂන් සභාවල ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස අවැසි ප්‍රතිපාදන ඊට ඇතුළත්ය. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ ජාතික විගණන සේවා කොමිෂන් සභාව අලුතින් ස්ථාපිත කළ යුතුව ඇත.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්‍රඥප්තිය පිළිගෙන ඇති අතර දූෂණ විරෝධි පනත් සම්මත කිරීමට නියම කිරීම ද  ඊට ඇතුළත්ය.  ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව ඇතුළුව විධායක බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාවට සහ පාර්ලිමේන්තුවට වගකිව යුතුය. ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීම් දැරීම අනිවාර්ය වන අතර අමාත්‍යවරුන්, රාජ්‍ය සහ  නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම අග්‍රාමාත්‍යවරයා විමසීමෙන් පසුව සිදුකළ යුතුය. අමාත්‍යවරයකු ධූරය දැරීම නතර කළ අවස්ථාවක වුව ද අමාත්‍යාංශ ලේකම් දිගටම සිය ධුරයේ කටයුතු කළ යුතු අතර ද්විත්ව පුරවැසියනට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරීම තහනම් වනු ඇත. පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අභියෝග කරනු ලබන පුරවැසියනට ලබා දී ඇති කාල සීමාව දින 7 සිට 14 දක්වා දීර්ඝ කර ඇත.

සියලුම කොමිෂන් සභාවලට දේශපාලන ග්‍රහණයෙන් මිදි ස්වාධීනව කටයුතු කිරීම සඳහා අවශ්‍ය බලතල මෙමගින් තහවුරු කර ඇත. බර්ට්‍රම් රසල් පැවැසූ පරිදි ‘‘නීතියක් නැතිව වුවද ආණ්ඩුවක් පැවැතිය හැකිය. එහෙත් ආණ්ඩුවක් නැතිව නීතියක් පැවැතිය නොහැකිය’’  එසේ නම් විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැතිව රාජ්‍යයකට පැවැත්මක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බොහෝ වරක් සංශෝධනයට ලක්වීම එහි දෝෂයක් ලෙස  නොසැලකිය යුතුය. එහෙත් ඒවා සම්මත කරනු ලබන්නේ සත්‍ය …මතය පිළිබිඹු කිරීමට  නොව පුද්ගලානුබද්ධ කාරණා වෙනුවෙන් නම් එය ඛේදවාචකයකි. අපට වැරැදුන තැන් බොහෝය. නෙල්සන් මැන්ඩෙලා පැවැසුවේ ‘‘The greatest glory in living lies not in every Fall but in raising every time we Fall’’ රට තුළ සත්‍ය ලෙසින් ජනතා අභිලාෂ සංතෘප්තවන ලෙස නීතියේ ආධිපත්‍ය පත්වනු ලබන්නේ නම් අනාධිමත් කාලයක් තිස්සේ ප්‍රකටව පැවත එන කියමනක් වන Fail justitia Ruat Caelum හෙවත් අහස කඩා වැටෙද්දී වුවද යුක්තිය ඉටුකළ යුතුය. යන ආප්තෝපදේශය යථාර්ථයක් බවට පත්කළ යුතුය.

එහෙත් එම බලාපොරොත්තු සියල්ලම ඒ ආකාරයෙන්ම ඉටු කරගැනීම මෙම සංශෝධනයෙන් සිදු නොවනු ඇත. මෙම සියලු රෝග නිවාරණය සඳහා වූ ඖෂධයක් නොවේ. ඒ සඳහා ජනතාවට වගකියන රට ගැන භක්තියක් ඇති මහජන නියෝජිත පිරිසක් ව්‍යවස්ථාදායකට පත්කරගත යුතුය. එමෙන්ම පළාත් සභා  සහ පළාත් පාලන ආයතනවලට ද එය අදාල වන අතර රාජ්‍ය සේවයේ නිලධාරීන්  සම්බන්ධයෙන්ද සතුටුදායක තත්ත්වයක් නොමැත. රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනයෙහිලා ඇති දුර්වලකම් ද මීට බලපා ඇත. එසේ ජනතා අපේක්ෂා ඉටුකළ හැකි නියෝජිතයන් තෝරන මැතිවරණ  ක්‍රමයක් ද සකස් කළ යුතුය. මැතිවරණ කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයකු පත්කර ගැනීම සඳහා ඉඩක් නැති  සහ දූෂිත මැතිවරණ ව්‍යාපාරයකට පොළඹවන වර්තමාන සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය වෙනුවට වගකීම සහ වගවීම මහජන නියෝජිතයන් වෙත පැවරෙන නව ක්‍රමයකට අනුගත යුතුව ඇත. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කළ හැක්කේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පමණි. එම බලය ද පැවැරී ඇත්තේ පාර්ලිමේන්තුවට හෙයින් පක්ෂ භේදයකින් තොරව මෙම මහජන මෙහෙවර ඉටුකළ යුතුව ඇත.

මහජන නියෝජිතයන් තමන්ගේ මුඛ්‍ය වගකීම වන  රටට අවශ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය දෙවන කොට සලකා අනෙකුත් සෑම කාර්යකටම මැදිහත්වීමට යාම නිසා ඔවුන් ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඇත. එය ඔවුන් විසින් නිර්මාණය කරගන්නා ලද එකක් වන නමුත් ඔවුන්ට ද නිදහසට කාරණයක් කිව හැක. පවතින නීතිය අනුව ඔවුන් විධායක ජනාධිපතිගේ අන්තේවාසිකයන් ලෙසින් කටයුතු කිරීමට සිදුවීම නිසා  මෙම ඛේදජනක ඉරණමට පත්වූ බව ඔවුන්ට පැවැසිය හැක. දැන් ඉන් මිදීම සඳහා 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් අස්වැසිල්ලකට මංපෙත් විවර කර ඇත.

(***)