සහල් මිල ප්‍රශ්නයට විසඳුමක්


ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු විෂයත් අගමැති හරිනි අමරසූරියගේ අධීක්ෂණය යටතේ පවතී. එම නිසා කෘෂිකර්මය සම්බන්ධ දේ නිපදවීම හා බෙදාහැරීම මත පහසු මිල ගණන්වලට ආහාර මිලදී ගැනීමේ හැකියාව පමණක් නොව ආහාර සුරක්ෂිතතාවට මෙන්ම දරිද්‍රතාව හා මන්දපෝෂණය පිටු දැකීමේ හැකියාවද රදා පවතී.

එම නිසා ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ සුබසාධනය හා යහපැවැත්ම ද රඳා පවතින්නේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරියගේ ඒකාබද්ධ උත්සාහය මතයි.  ඉහත සඳහන් කාරණාවලට වඩාත් වැදගත් වන ක්ෂේත්‍රයක් වන්නේ සහල් නිෂ්පාදනය හා බෙදා හැරීමයි. මෙම කාරණය සම්බන්ධයෙන් හොඳින් පර් යේෂණ කොට ලියූ ලිපියක් ‘’Rice Monopoly Continues to put Farmers and Consumers in to Peril’’ යන හිසින් 2024 සැප්. 25 ද ඩේලි මිරර් පුවත් පතේ පළ කර තිබිණි.  පාරිභෝගිකයන් හා ගොවියන් නිෂ්පාදන හිඟය නිසා පමණක් නොව සහල් නිෂ්පාදනය හා බෙදා හැරීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් වර්තමානයේ ඉඩදී ඇති පිළිවෙත් නිසාද පීඩාවට ගොදුරු වන බව මෙම ලිපියෙන් සනාථ වේ.

 

සහල් නිෂ්පාදනය

ඉහත කී ලිපියෙන් ඒක පුද්ගල සහල් පරිභෝජනය වසරකට කිලෝ ග්‍රෑම් 125ක් බව පැවසේ. එම ලිපියේ රචකයා හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න සමඟ කළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව වාර්ෂිකව අතිරික්ත සහල් ටොන් මිලියන 2.4 ක් නිපද විය යුතු බවත් මෙම තත්වය කෝවිඩ් වසංගත කාලයේ පමණක් වෙනස් වූ බවත් ඔහු පැවසූ බව මෙම ලිපියේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහලින් ස්වයං පෝෂණය වීමෙන් පලක් වී නැත, යන්න මෙහි ඇති තර්කයයි. එම නිසා වර්තමාන සහල් හිඟය වෙළෙඳ පොළ මිල කෙරේ බලපෑමක් ඇති කරන නිසා දරිද්‍රතාව හා මන්දපෝෂණය වළක්වා ගැනීමට මිල වෙනස් වීම මඟ හරවා ගත යුතුය.  එම නිසා ඕනෑම අවස්ථාවක ප්‍රමණවත් සහල් තොග පවතින්නේද යන්න තහවුරු කර ගැනීමට තොග තත්වය ගැන පසු විපරම් කිරීම හා සහල් නිෂ්පාදනය නැංවීම පැහැර හැරිය නොහැකි කර්තව්‍යයකි.

වෙළඳපොළ මිල ගණන් ඉහළ දැමීම සාධාරණීයකරණය කිරීම සඳහා සහල් හිඟය ඇති කරන බැවිනි.

වී නිෂ්පාදනය වැඩි කිරීම උසස් තාක්ෂණය භාවිතයට ගැනීමෙන් හෝ වගාවට යොදා ගන්නා බිම් ප්‍රමාණය වැඩි කිරීමෙන් හෝ කළ හැකිය. දෙවැනිව කී ප්‍රවේශය උදෙසා යටිතල පහසුකම් හා නඩත්තු වියදම් පිරිවැය වැඩි බැවින් උසස් තාක්ෂණය යෙදීම විචක්ෂණශීලී වන්නේ රට අදාළ මානව ප්‍රාග්ධනය හා අදාළ යටිතල පහසුකම් දැනටත් තිබෙන නිසාය. මුලින් කී ප්‍රවේශයෙන් ප්‍රතිඵල ලැබෙනවා පමණක් නොව වැඩි වන අස්වැන්න හරහා ගොවියාට ලැබෙන ආදායම ද වැඩි වේ.

 

වර්තමානය ප්‍රායෝගික පිළිවෙත්

ඉහත කි ලිපියේ මෙසේ සඳහන් වේ. මහා පරිමාණ සහල් මෝල් හිමියෝ කිලෝ ග්‍රෑමය රු. - 220 බැගින් රජයේ සහතික මිල පදනම් කරගෙන සහල් අලෙවි කළහ. ඒ අතර කුඩා පරිමාණ සහල් මෝල් හිමියෝ එම සහල්ම රු. 160-175 මිලට අලෙවි කළහ. ඒ ඔස්සේ විශාල පරිමාණ මෝල් කීපයකට කිලෝ ග්‍රෑමයට රු. 60-75ත් වැඩිපුර ලාභයක් ලැබීමට ඉඩ පෑදිණි. අඩු මිලකට වී මිලදී ගන්නා නමුත් ඔවුහු මහත් ලාභයක් ඉපයූහ. රජය සහල් කිලෝ ග්‍රෑමයකට රු. 100ක සහතික මිලත් නියම කළ නමුත් විශාල පරිමාණ සහල් මෝල් හිමිකරුවෝ රු. 70-80 තරම් අඩු මිලකට වී මිලදී ගත්හ. වී කිලෝ ලක්ෂ ගණනින් අඩු මිලට ගෙන ඒවා ගබඩා කිරීමෙන් දැවැන්ත ලාභයක් ඔවුන් ලැබූ බව රහසක් නොවේ.

ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පවසන පරිදි විශාල පරිමාණ සහල් මෝල් හිමියෙක් දිනකට අවම වශයෙන් රුපියල් මිලියන 4ක ලාබයක් උපයයි. ඒ අනුව ඔහු මසකට උපයන ලාභය රු. මිලියන 120කි. නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමට වී කිලෝ ග්‍රෑම් 1.5ක් පමණ අවශ්‍ය වේ. මෙය අනෙකුත් සහල් වර්ගයන්ටත් මේ හා සමානව අදාළය. එම නිසා දළ වශයෙන් වී කිලෝ ග්‍රෑම් එකකින් කිලෝ ග්‍රෑම් තුනෙන් දෙකක් පමණ සහල් නිපදවීම සිදුවේ.  එක් සහල් කිලෝ ග්‍රෑමයක් නිපදවීමට යන පිරිවැය යන්ත්‍ර වියදම්, විදුලිය ශ්‍රමය හා බෙදා හැරීමේ වියදම් ඇතුළුව දළ වශයෙන් රුපියල් 25කි. වී කිලෝවකට රුපියල් 100ක සහතික මිලක් පිරිනමන තත්වය යටතේ පාරිභෝගිකයන්ට සහල් කිලෝ ග්‍රෑමයක් රු. 160-175 බැගින් දීමේ හැකියාව ඇත. කෙසේ වුවද වර්තමාන වෙළඳපොළේ සහල් කිලෝ ග්‍රෑම් එකක් අලෙවි වන්නේ දළ වශයෙන් රු. 220ටයි.

කරුණු එසේ වුවද පාරිභෝගිකයන් හට සහල් කිලෝ එකක් රු. 160-175 මිලකට අලෙවි කළ හැකියැයි, යන නිගමනයේ යම් වරදක් ඇතැයි පෙනී යයි. ඉහත උපුටා දැක්වූ ලිපියේ සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට වී කිලෝ ග්‍රෑම් 1.5ක් අවශ්‍යය යන්නත් වී කිලෝවක සහතික මිල රු. 100ක් යන්නත් සඳහන් වේ. එයින් අදහස් වන්නේ සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවියකුට රු. 150ක් අවශ්‍යවන බවයි. මේ සඳහා නිෂ්පාදන මිල ලෙස රු. 25ක්, එකී ලිපියේ කියා ඇති පරිදි එකතු කළහොත් ලාභයෙන් තොර දළ පිරිවැය රු. 175ක් වන බව පෙනේ. එම නිසා සහල් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 160-175 ගණන් පාරිභෝගිකයාට අලෙවි කළ හැකි වේ යන්න සංශෝධනය කිරීම කළ යුතුය.

ඉහත සඳහන් තොරතුරුවලින් පෙනී යන්නේ වී සඳහා වූ සහතික මිල ඉහළ නංවත්ම ගොවියාගේ ආදායම ඉහළ යන බැවින් එය ගොවියාට වාසිදායක බවයි. අනෙක් අතට වී සඳහා සහතික මිල ඉහළයත්ම, එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගියනට ඉහළ මිලක් ගෙවන්නට සිදු වන බවයි. ඉහත කරුණුවලින් පෙනී යන්නේ වී සඳහා වූ සහතික මිල කිලෝවකට රුපියල් 100 වන විට මිල රු. 200 හෝ ඊට වැඩි වන බවයි. මෙයින් පැහැදිලි වන තවත් කාරණයකි. ගොවියාට දෙන සහතික මිල වැඩි කිරීම හා පාරි​භෝගිකයාට දැරිය හැකි මිලකට සහල් අලෙවි කිරීම අතර ඇත්තේ එකිනෙකට නොගැළපෙන සම්බන්ධයක්ය යන්නය.  එම නිසා අභියෝගය වන්නේ දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට සහල් මිලට ගැනීමේ හැකියාව ලබා දෙන විට ගොවියාට වැඩි ආදායමක් උත්පාදනය කර දෙන්නේ කෙසේද යන්නයි.

මෙම අභියෝගයට බලපාන එක් කාරණයක් වන්නේ තම අස්වනු නෙළීමකින් අනතුරුව එසැණින් වී අතිරික්තයක් ඇතිවීමයි. විශාල පරිමණයේ මෝල් හිමියන් සතුව තම අස්වනු නෙළීමෙන් අනතුරුව, අඩු මිලට වී මිලදී ගෙන ගබඩා කර ගැනීමේ මූල්‍ය හැකියාවක් හා යටිතල පහසුකම්වලට අදාළ සම්පත් රාශියක් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවියන්ගේ  පැවැත්ම ඇත්තේ ඔවුන්ගේ අනුකම්පාව මතය. එවැනි වාසි සහගත තත්වයක් කුඩා හා මධ්‍යම පරිමාණයේ මෝල් හිමියන්ට නොමැත. කෙසේ වුවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තා කරනු​යේ කුඩා හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන්ට උපරිම රුපියල් මිලියන 50 දක්වා ණය පහසුකම් සැපයිය යුතුව ඇති බවත්, වී ගබඩාකරුවන්ට හා එකතු කරන්නන්ට රුපියල් මිලියල 25 දක්වා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහන ණය පහසුකම් සැපයෙන බවත්ය.

 

(කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තා)

සමස්ත ලංකා ගොවීන්ගේ සංගමයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න (2023 ජූනි 25) පුවත්පතකට විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, නිෂ්පාදන වියදම පහත දමනු ලැබුවහොත් මිල අඩු කළ හැකි බවයි. උදාහරණයකට නිෂ්පාදන වියදම පහළ දැමීම සඳහා ගොවියන් භාවිත කරන උපකරණ යෙදවුම්  බදුවලින් නිදහස් කළ යුතු වේ. පොහොර මිලද අඩු කළ යුතුය. වී නිෂ්පාදන මිල කිලෝවකට රුපියල් 60ක් පමණ දක්වා අඩු කළහොත් වී කිලෝවක් රුපියල් 80-90ට අලෙවි කළ යුතුය. මේ සඳහා වූ වගකීම පවතින්නේ ආණ්ඩුවේ අතේය.

මේ හා සමාන වූ සංකල්පයක් 2000 වසරේ පටන් ඇමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපොළ ගබඩා පහසුකම් ණය වැඩසටහනට (FSFL) අදාළව ක්‍රියාත්මක විය. FSFL වැඩසටහනෙන් නිෂ්පාදනයන්ට නිත්‍ය හෝ ජංගම ගබඩා පහසුකම් ගොඩනැගීමට හෝ උසස් තත්වයට ගෙන ඒමට හා උපකරණවලට අඩු පොලියට මූල්‍ය පහසුකම් සපයනු ලැබේ. ධාන්‍ය, පලතුරු, එළවළු සාම්පල් යුෂ, කිරි, චීස්, යෝගට්, බටර්, බිත්තර, මස් සකස් නොකළ කුකුල් මස් ජලජ ශාක, ආදි ආහාර වර්ග සඳහා මෙම පහසුකම් සැපයේ. වියළීමේ හා ගබඩා කරන උපකරණ ද මේ සඳහා යෝග්‍ය වන අතර මෙහෙයුම්වලට ගන්නා ට්‍රක් රථ ද මීට අදාළය. භාවිත කළ හෝ අලුත් උපකරණ මිලදී ගැනීමට ද මෙම පහසුකම් සැපයේ. 2000 මැයි මාසයේ මෙම වැඩපිළිවෙළ ආරම්භ වූ දා පටන් මේ දක්වා ණය 33000කට වඩා නිකුත් කර තිබේ. ගොවිපොළ ගබඩා කරන හැකියා පහසුකම් මුදල් මිලියන 900කින් වැඩි කිරීමට මෙම ණය පහසුකම්වලින් ඉඩ සැලසිණි.

FSFL වැඩපිළිවෙළ කුඩා හා මධ්‍යම පරිමාණ ගොවිපොළවලට සහ අලුත් ගොවියන්ට ගොවිපොළ තුළ ගබඩා පහසුකම් සඳහා විශිෂ්ට මූල්‍ය වැඩසටහනක් විය. ණය ගෙවා දැමිය යුතු කාලය අවුරුදු 3 සිට 12 දක්වා විය. ගබඩා පහසුකම් උදෙසා පිරිනැමෙන උපරිම ණය මුදල ඩොලර් 500000කි. ගබඩා සහ ට්‍රක් රථ මෙහෙයුම් සඳහා පිරිනැමෙන උපරිම ණය මුදල ඩොලර් 100,000කි. 2016දී FSFL වැඩසටහනේ අලුත් ණය වර්ග හඳුන්වා දෙන ලදී. ඩොලර් 50,000 දක්වා වූ ක්ෂුදා මූල්‍ය ණය ද ඒ අතර විය.

 

නිගමන

ඕනෑම රජයක පැහැදිලි අරමුණ වන්නේ වී ගොවියාට හොඳ ආදායමක් ලබාදීම තහවුරු කරමින් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට සහල් සැපයීමයි. එවැනි අරමුණක් කරා ළඟා වීමේ දී නිෂ්පාදන කාර්යයේ නියැලී සිටින ජනතාවගෙන් තුනෙන් එකක පමණ ජනකායකගේ සුබ සාධනය යහ පැවැත්මත් සාක්ෂාත් වන අතර සමස්ත ජාතියේ සෞඛ්‍ය සම්පන්න බව වර්ධනය වෙමින් දරිද්‍රතාව ද අවම කෙරේ. ඉහත සඳහන් අරමුණ යථාවත් කරනු පිණිස වසර ගණනාවක් තිස්සේ විවිධ වූ අදහස් හා යොජනා ඉදිරිපත් විය. ඒවායින් බොහෝමයකට එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් රජයේ මැදිහත්වීම සිදුවිය.

මූල්‍ය පහසුකම් ලබාදිය හැකි එක් ආකාරයක් ලෙස සැලකෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් ගොඩ නැගීමට හා රට පුරා ගබඩා පහසුකම් සඳහා ණය ලබා දීමයි. එය ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකරම දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්‍රමෝපායයි. තවත් විධියක් වන්නේ නිෂ්පාදන සඳහා අවශ්‍ය සහනාධාර පොහොර සහ වෙනත් පහසුකම් යෙදවුම් වී වගාව සඳහා සපයා දීමයි. තවත් ක්‍රමයක් වන්නේ වී සඳහා සහතික මිල ක්‍රමයක් ගෙන ඒම වුවත් එය ගොවියා සහ පාරිභෝගිකයාට වාසිදායක වන්නේ නැත.

මෙම විකල්පවලින් කිසිවක් ඉහත කී අරමුණට ළඟාවීමට සාර්ථක වී නොමැත. ඇතැම් විට ඊට හේතුව විය යුත්තේ ක්‍රමෝපාය ගොවියාගේ හෝ පාරිභෝගිකයාගේ පැත්තෙන් බලා යෝජනා කළ ඒවා මිස දෙපාර්ශ්වයම මුසුව සාකල්‍යවාදී දැක්මකින් බලා යෝජනා කළ ඒවා නොවීමයි. එම නිසා ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම තෘප්තිමත් වන ක්‍රමෝපාය හෝ ක්‍රමවේද මොනවාද යන්න සහතික කොට දැන ගැනීමට ඒ සඳහා නිසි වෝහාරික විගණනයක් කළ යුතු බවට කරන නිර්දේශ වඩාත් ඵලදායි වේ.

කෙසේ වුවද රජය විසින් විශාල පරිමාණ මෝල් හිමියන් සහ සමස්ත ලංකා ගොවි සංවිධානයේ සහභාගිත්වයෙන් ගොවියන් සහ මෝල් හිමියන් අතර තිරසාර සම්මුතියකට එළැඹීමට කටයුතු යෙදීම කඩිනමින් කළ යුත්තකි. ඒ ඔස්සේ ගොවියාත් පාරිභෝගිකයාත් තෘප්තියට පත්වන සම්මුතියකට එළැඹිය හැකිය. අවසාන වශයෙන් ඔවුන් තෘප්තිමත් වීම සමස්ත ජාතියේම සෞඛ්‍ය්‍යට හා ආහාර සුරක්ෂිතතාවයට හේතුවේ. එම තෘප්තිමත් භාවය උදාකරලීමේ වගකීම ජනාධිපතිවරයා හා අගමැතිවිය වෙත ඒකාබද්ධව පැවරේ.

 

(***)
2024 නොවැ 07 Daily FT හි පළවූ
Are rice consumers and Farmers victims of current practices?
ලිපියේ පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ.
නෙවිල් ලද්දුවහෙට්ටි විසිනි