ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය විමසා බැලීමේ දී බොහෝ විට එය ණය මත පදනම්ව තිබෙන බවත් නව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් යෝජනා ඉදිරිපත් කරන දේශපාලකයන් හෝ ආර්ථික විශ්ලේෂකයන් නිෂ්පාදන ආර්ථිකයක් වෙත වැඩි අවධානයක් යොමු නොකරන බවත් සමාජයේ සාකච්ජාවට ලක්වන කාරණයකි. ආර්ථික පර් යේෂකයකු හා විශ්ලේෂකයකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සම්බන්ධයෙන් අප කළ සාකච්ජාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.
නිෂ්පාදන ආර්ථිකය යැයි කී විට එය විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් දකින බව පෙනේ. ඇතැම්හු කෘෂිකර්මාන්තය නිෂ්පාදනයක් ලෙස දකිති. තවත් අය කාර්මික ක්ෂේත්‍රය නිෂ්පාදනයක් ලෙස සලකති. කෙසේ වුවත් ආර්ථිකයක් වර්ධනයවීමට මේ ක්ෂේත්‍ර දෙකම ඉතා වැදගත් වේ. මෙරට ශ්‍රම බලකායෙන් සියයට 25ක් ම නියෝජනය කරන්නේ කෘෂිකර්මාන්තයයි. එහෙත් ලංකාවේ කෘෂිකර්මාන්තයෙහි දැකිය හැකි ප්‍රධාන ගැටලුවක් නම් දල දේශීය නිෂ්පාදිතයෙන් එය අපේ රටේ ආර්ථිකයට දායකවන්නේ සියයට 8 ක් පමණ ප්‍රමාණයක් වීමයි. එය ප්‍රමාණාත්මක අගයක් නොවේ. එසේ නම් කළ යුත්තේ එහි නිෂ්පාදනය වැඩි කිරීමය. නිෂ්පාදනය වැඩි කිරීමට නම් කෘෂිකර්මාන්තයෙහි පලදායීතාව වැඩි කළ යුතු වේ. ශ්‍රම බළකායෙන් සියයට 25 ක් කෘෂිකර්මාන්තයට දායකවෙනවා නම් අඩුම තරමින් බිලියන 30ක 40 ක පමණ ආදායමක් අපේක්ෂා කළ යුතුය.
වී වගාව පමණක් නොව තේ, පොල්, රබර් ආදිය ද කෘෂිකර්මාන්තය නියෝජනය කෙරෙන නිෂ්පාදන ගණයට වැටේ. කෘෂිකර්මාන්තයෙහි පලදායීතාව දුර්වල තැනක පවතින නිසා මේ සියලු ක්ෂේත්‍රවල නිෂ්පාදනය මේ වනවිට ප්‍රමාණවත් මට්ටමක නොපවතී. උදාහරණයකට මේ රටේ පොල් නිෂ්පාදනය සලකා බැලුවොත් සැලකිය යුතු මට්ටමකින් පොල් අපනයනය සිදු වේ. ලංකාවේ පොල්ගසකින් වරකට සාමාන්‍යයෙන් ලැබෙන පොල් ගෙඩි සංඛ්‍යාව 60ක් පමණය. එහෙත් පොල් වගා කරන වෙනත් බොහෝ රටවල පොල් ගසකින් පොල් ගෙඩි 100ක් පමණ ලබා ගැනීමේ හැකියාව තිබේ. පොල් වගාවට ලංකාවේ හිතකර පරිසරයක් තිබියදී මෙබදු අඩු අස්වැන්නක් ලැබීමට හේතුව පලදායීතාව කෙරෙහි උනන්දුවක් නොදක්වීම බව පෙනේ. රබර් නිෂ්පාදනයේ තත්වයද මෙයම ය. හෙක්ටයාරයකින් අපට ලැබෙන්නේ රබර් කිලෝග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයකි. එහෙත් සාමාන්‍ය මට්ටමකින් රබර් කර්මාන්තය පවත්වාගෙන යන රටවල් පවා අපේ රටට වඩා ඉහළ අගයකින් යුතු නිෂ්පාදනයක් ලබා ගන්නා බව පෙනේ. ලංකාවේ තේ කර්මාන්තයේ තත්වය ද එලෙසම අඩු නිෂ්පාදන අගයක් ගන්නකි. මේ අනුව කෘෂිකර්මාන්තය ආර්ථිකයට දක්වන දායකත්වය මීට වඩා සතුටුදායක වීමටනම් එහි පලදායීතාව වැඩිකළ යුතුය යන මූලික කරුණ මෙහිදී අවධාරණය කළ හැකිය.
පලදායීතාව වැඩි කිරීමට නම් ආයෝජන අවශ්‍ය වේ . උදාහරණයකට තේ දලු නෙළන කම්කරුවන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නංවා නෙළන දලු ප්‍රමාණය වැඩි කළ පමණින් පලදායීතාව වැඩි කළ නොහැකිය. ඒ සඳහා යම්කිසි තාක්ෂණික ක්‍රමවේදයක් අවශ්‍ය වේ. එබදු තාක්ෂණික ක්‍රමවේදයක් ඇති කිරීමට නම් ඒ සඳහා මුදල් ආයෝජනය කෙරෙන ක්‍රමයක් තිබිය යුතුය. මුදල් ලබාගැනීමට ඇති ප්‍රධාන මාර්ගය වන්නේ බැංකු මගින් ණය ගැනීමය. ලංකාවේ බැංකු මගින් ණය ලබාගැනීමට නම් බොහෝ විට දේපළ ඇප අවශ්‍ය වේ. ඇපයට ඉල්ලා සිටින ප්‍රධාන දෙය නම් ඉඩම් ය. ඉඩම්වල අයිතිය ජනතාවට නිරවුල් කොට දීම වැදගත් කරුණකි. මන්ද යත් ලංකාවේ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් තවමත් අයත්ව තිබෙන්නේ රජයට ය. ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ලංකාවේ ඇත්තේ සංකීර්ණ තත්වයකි. මේ රටේ අධිකරණ නඩු අතර ඉඩම් නඩු විශාල ගණනක් ඇති බව පෙනේ. මෙම ආරවුල් විසඳාගැනීමට ද දිගු කාලයක් ගතවේ. ඉඩම්වල නිරවුල් අයිතිය ජනතාවට ලබා නොදී ආර්ථික සංවර්ධනයට මාවත සකස් කිරීම සංකීර්ණ හා දුෂ්කර කාර්යයකි. කාර්මික අංශය දෙස අවධානය යොමු කිරීමේ දී ඉඩම් වැදගත් සාධකයකි. නිරවුල් අයිතියක් නොමැතිව වී වගා නොකරන විශාල ඉඩම් ප්‍රමාණයක් ද දැකිය හැකිය. එසේම වගා කෙරෙන කුඹුරු ඉඩම් සඳහා ද තවමත් යොදා ගැනෙන්නේ සාම්ප්‍රදායික තාක්ෂණයකි. එබදු තත්වයක් යටතේ අප අපේක්ෂා කරන නිෂ්පාදන පලදායීතාව ඉහළ නංවා ගැනීම වඩාත් දුෂ්කර කාර්යයකි.
කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළහොත් ඒ සඳහා ද අප මුලින් කී ඉඩම් පිළිබඳ කාරණය ප්‍රබලව බලපා තිබේ. අපට කැමැති ඕනෑම තැනක කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නොහැකිය. ඒ සඳහා පාරිසරික ගැටලු රාශියක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මේ අනුව කර්මාන්තශාලා ඇති කිරීමට නම් මහජන පීඩා අවම වන එහෙත් ව්‍යාපාරයකට සුදුසු ඉඩම් අත්‍යවශ්‍ය වේ . දැනට මහා පරිමාණයෙන් කර්මාන්තශාලා පවත්වාගෙන යන ඉඩම්වල තවදුරටත් අලුතින් කර්මාන්ත ඉදිකිරීමට හැකියාවක් නොමැති තත්වයට ඉඩ කඩ ඇහිරී ගොස් තිබේ. එය සිදු වී තිබෙන්නේ අලුත් ඉඩම් නොමැතිවීම හේතුවෙනි. මේ තත්වය නිෂ්පාදන ආර්ථිකයක් සඳහා බාධාවකි. ඒ නිසාම එය කර්මාන්ත අංශයේ පලදායීතාව ඉහළ නැංවීමට තිබෙන ප්‍රධාන බාධාවකි. නිෂ්පාදන ආර්ථිකයකදී කෘෂිකර්ම, කර්මාන්ත පමණක් නොව සේවා අංශ කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත් වේ. එහෙත් මේ කාරණා තුනේදීම ලංකාව මුහුණ දෙන්නේ එකම විදියේ ගැටලුවලටය.
එහෙත් මේ ගැටලුවලට පිළිතුරු සෙවීමට තවමත් අපට නිශ්චිත වැඩපිළිවෙළක් දැක්මක් තිබේද යන්න අවධානයට ගත යුතු කරුණකි. එබඳු වැඩපිළිවෙළක් සඳහා කිසියම් නියාමනයක් ඇති කිරීමත් නිවැරදි දිශානතිය පෙන්වීමත් රජය සතු වගකීමකි. කුඩා කුඩා සැලසුම් දැකිය හැකි වුවත් සතුටු විය හැකි මට්ටමේ එබඳු වැඩපිළිවෙළක් දැකිය නොහැකිය. ඒ සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේත් දුර්වල අදහසකි. කෘෂිකර්මාන්තය වර්ධනය කළ යුතුය, අපේ නිෂ්පාදනය අඩුය, එය වැඩි කිරීමට නම් කළ යුත්තේ කුමක්ද? වැනි ප්‍රශ්න නැගූවිට පොදු සමාජයේත් අදාළ ක්ෂේත්‍රවලත් බොහෝ දෙනකුට ඒ සඳහා පිළිතුරු නැත. කෘෂිකර්මාන්තයේ පැන නගින ප්‍රශ්නවලදී ගොවියා රැකගත යුතුය වැනි ජනප්‍රිය අදහස් මතුව ආවත් එසේ කළ පමණින් නිෂ්පාදනයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය.
මෙම ගැටලු කෙරෙහි අවධානය යොමු නොකොට නිෂ්පාදන ආර්ථිකය නොසලකා ණය මතම ආර්ථිකය පවත්වාගැනීමට උත්සාහගතහොත් සිදුවන්නේ අප තවදුරටත් බකොලොත්භාවයට පත් වීමය. ඉදිරි සැලසුම් අනුව ද කෙරෙන්නේ ලබාගෙන ඇති ණය ගෙවන්නට අලුතින් ණය ගැනීම ය. ණය ගෙවීමේදී යම් ප්‍රමාණයක හෝ නිෂ්පාදන සේවා අපනයනයෙන් උපයන ආදායම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. අපනයන ආදායම් රජයට අහිමිවීම බරපතළ ගැටලුවකි. කෙනකු පෞද්ගලික මට්ටමින් අපනයනය කරන යමකින් ලබන ආදායම රජයට ලැබෙන බව සමහරු සිතති. එය වැරැදි අදහසකි. මැදපෙරදිග රැකියාවට යන ගෘහ සේවිකාවන් ලබන ආදායම ලැබෙන්නේ ඔවුනට මිස රජයට නොවේ. එහෙත් මුදල් නිකුත් කිරීමේ බලය පාවිච්චි කොට එම මුදල් රජයට අත්පත් කර ගැනීමේ හැකියාව පවතී. එසේ නම් ආදායම් සෙවිය යුත්තේ නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කිරීමෙනි. නිෂ්පාදනය සඳහා පසුබිම සකස් කළ යුත්තේ ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුත්තේ රජයයි. රජයේ එම කාර්යභාරය නිසි පරිදි සිදුවුවහොත් නිෂ්පාදන හා සේවා මගින් මෙරටට ලැබෙන ආදායම රජය නිකුත්කෙරෙන මුදල් ලබාදීමෙන් ඩොලර් බවට පත්කර ගත හැකිය.
නිෂ්පාදන හා සේවා සඳහා ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ දී මූලික වශයෙන් ඉඩම් ගැටලුව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව අප අවධාරණය කරන්නේ එය මෙම ප්‍රශ්නයේ මූලිකම කරුණක් වන හෙයිනි . එයින් අදහස් වන්නේ සාමාන්‍ය ජනතාවට පදනමකින් තොරව ඉඩම් ලබා දීම නොවේ. කර්මාන්ත සඳහා ඉඩම් ලබාදිය හැකි කළමනාකාරී පිළිවෙතක් ගැන සොයා බැලීම වැදගත් ය. එසේම කර්මාන්ත ආරම්භයේ දී සේවා යෝජකයාට විවිධ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදු වේ. ලිය කියවිලි සකස් කිරීමේ සිට ඊට අවශ්‍ය ආයතනික පසුබිම සකස් කර ගැනීම දක්වා දිගු කාලයක් රස්තියාදුවීමට සිදුවීමෙන් සේවායෝජකයා දුෂ්කරතාවට පත්වෙනවා පමණක් නොව අධෛර්යයට පත්වීම ද සිදු වේ. අප මේ කතා කරන්නේ ඉතා සුළු මට්ටමේ තුන් හතර දෙනකු සේවය කරන ගමේ ගොඩේ කඩපිලක් ගැන නොව සේවකයන් දාහක් දෙදහක් වැඩ කරන රටට සැලකිය යුතු ආදායමක් ලැබෙන අන්දමේ ව්‍යාපාර ආයතන ගැනය. එවැනි ආයතන ආරම්භයේ දී පවත්නා නීතිමය රෙගුලාසි ලිහිල් කිරීම හෝ සේවායෝජකයාට වඩාත් පහසු වන අන්දමේ ක්‍රියා පටිපාටියක් හෝ අනුගමනය කිරීම ඉතාම වැදගත් ය. මේ කියන ක්‍රියා පටිපාටි හා ඇතැම් රෙගුලාසි සංකීර්ණවීම නිසා ඒවා ආයෝජකයන්ගේ පැමිණීමට බාධා පමුණුවන කරුණු සේ සැලකිය හැකිය.
ආයෝජකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ආයතනික සැලසුම් දැනට ක්‍රියාත්මක වන අන්දම අනුව තව දුරටත් සිදුවන්නේ වංචාව හා දූෂණය වර්ධනය වීමය. සරලම උදාහරණයක් ගතහොත් ලියකියවිලි අනුමත කිරීම්වල දී එම කාර්යය සිදු කර දීම වෙනුවෙන් ඇතැම් විට සන්තෝසමක් ලබාදෙන්නට සිදුවෙයි. එය දූෂණය යි. කවුරුන් හෝ වෙනුවෙන් තීරණයක් ගත හැකි සෑම අවස්ථාවකම කිසියම් දූෂණයක් සිදුවන බව ලොව පුරා පිළිගත් මතයකි. අනෙකා වෙනුවෙන් තමන් ගන්නා තීරණ මත ඊට යමක් ලැබෙතැයි යන තර්කයේ පිහිටා විශාල වශයෙන් වංචා දූෂණ සිදුවන බව පෙනේ. රටක් වශයෙන් අපි එම අභියෝගයට මුහුණ දෙමින් සිටිමු.
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සාකච්ජාව තුළ නායකත්වයට පැමිණීමට අපේක්ෂා කරන විවිධ අපේක්ෂකයෝ ආර්ථිකයේ විවිධ සැලසුම් සම්බන්ධයෙන් කතා කරති. මේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති නිවැරැදි දිශානතිය පෙන්වන්නේද යන්න සැක සහිතය. මේ වෙලාවේ බොහෝ දෙනා කතා බහට ලක් කරන එකම කාරණය වන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග එකඟවීමේ ප්‍රතිපත්තියයි. එහෙත් අප ඉදිරියටත් මේ මතම යැපෙමින් ආර්ථිකය හසුරුවන්නේද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.
දකුණු කොරියාව, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල් ආර්ථික වශයෙන් දියුණු වූයේ නිවැරැදි ආර්ථික සැලසුම් හේතුවෙනි. ආර්ථික වශයෙන් දියුණු වූ සෑම රටක් ම අනුගමනය කළ මූලික කාරණා කිහිපයක් වෙයි. ඉන් ප්‍රමුඛ කරුණක් නම් ආර්ථිකය විද්‍යාවක් සේ සලකා කාලානුරූපව ක්‍රියා කිරීමය. ආර්ථික වශයෙන් සමත් වූ සෑම රටක්ම මේ විද්‍යානුකූල ආර්ථික මූලධර්ම අනුගමනය කළ බව පෙනේ. ඔවුහු නවීන තාක්ෂණය උපයෝගී කොට ගෙන ලෝකයත් සමග ගනු දෙනු කළහ. තම නිෂ්පාදන තරගකාරී ලෝකයට අපනයනය කිරීමට එයින් ඔවුහු මග පාදා ගත් හ. ඔවුන් අනුගමනය කළ ක්‍රමෝපාය මාර්ග සොයාබැලීමත් ඒවායින් අපට ගලපා ගත හැකි ආදර්ශ ලබාගැනීමත් මෙරට ආර්ථික ගමන යහපත් කර ගැනීමට යම් හේතුවක් විය හැකිය.
(*** සටහන - ගාමිණී කන්දේපොළ)