​තිරසර ණය යට කුමන්ත්‍රණ


මීට දෙසතියකට පමණ ඉහතින් ඉකුත් 26 වැනිදා ශ්‍රී ලංකාණ්ඩුව ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කළ බැව් ප්‍රකාශයට පත් කෙරුණි. එහෙත්, එම ගිවිසුම්වල අන්තර්ගත කොන්දේසි මොනවා දැයි මේ රටේ ජනතාවට කියා නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන ගනුදෙනු මොනවා දැයි ජනතාව දන්නේ නැත. ගිවිසුම් අත්සන් කිරීමෙන් දෙදිනකට පසු මුදල් අමාත්‍යාංශය කළ නිල පැහැදිලි කිරීමක සඳහන් වූයේ, “මෙහි වැදගත් බලපෑමක් වන්නේ, විදේශ ආයෝජන මත වන ආර්ථික වර්ධනය සඳහා නැවත අවකාශයක් ඇති වීමෙහිය. විශේෂයෙන් ආර්ථිකයෙහි අනෙකුත් ක්ෂේත්‍රවලට ඇති විය හැකි පිටාර ගැලීම් සමග, ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි ඇති වන ප්‍රායෝගික බලපෑම් තිබිය යුතුය” යනුවෙනි.

මුදල් අමාත්‍යාංශය කියන්නේ, විදේශ ණය ගැනීමට ලංකාණ්ඩුවට නැවත ඉඩ ලැබී ඇතැයි කියාය. ඔවුන් නොකියන්නේ, මේ ගෝලීය වෙළෙඳපොළ ආර්ථිකයෙහි ණය ගැනීම් හැම විටම මෙන් භූ-දේශපාලනික ගැට ගැසීම් සමගින් වන බවය. එලෙසින්ම, ආර්ථික බංකොලොත් බවට හේතු වූ යෝධ දූෂණ වංචාවලට වැඩිම ඉඩක් ලබා දුන්නේ දැවැන්ත ඉදිකිරීම් බව සහ යළි ඊට ඉඩ ලැබී ඇති බවය. ඔවුන් කියන පිටාර ගැලීම් සමාජීය බිඳ වැටීම් සඳහා විසඳුම් නොවන බවය. මේ කතාව, නැවත ගෝලීය වෙළෙඳ ආර්ථිකයෙහි භූ-දේශපාලනික ගැට ගැසීම් සම්බන්ධ නොකියන කතාවකි.

ඒ කතාවට මුල පිරිය යුත්තේ 2022 අප්‍රේල් පළමු සතියේ ගාලු මුවදොර පිටියේ #GotaGoHome යැයි ඉංග්‍රීසියෙන් පටන්ගත් ආර්ථික බිඳවැටීම්වලට එරෙහි නාගරික මැදපන්තික රාජපක්ෂ විරෝධයෙන් යැයි සිතමි. මේ මැදපන්තික රොද බැඳීමට, සමාජ අගහිඟකම් හා ඔරොත්තු නොදෙන ජීවන වියදමට එරෙහිව මෝරමින් තිබූ ජනතා කෝපය ද ගැට ගසනු ලැබිණ. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නියෝජ්‍ය අධිපතිවරයකු වූ, 2020 ඔක්තෝබරයේදී කල් නොපිරුණු ඉක්මන් විශ්‍රාමයක් ලබාගෙන ඕස්ට්‍රේලියාවට ගිය, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම සඳහා 2022 අප්‍රේල් ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසියේ කැඳවනු ලැබුවේ එවැනි පසුබිමකය. ඔහු කලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයකු වශයෙන් වොෂින්ටනයේ සේවය කර ඇත. අප්‍රේල් මස 7 වැනිදා ලංකාවට පැමිණි ඔහු 8 වැනිදා පත්වීම භාර ගත්තේය. ඉන් දින හතරකට පසු අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකාව සියලු විදෙස් ණය ගෙවීම් අත්හිටුවන බැව් ඔහු මහ බැංකු අධිපති ලෙස ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව බංකොලොත් යැයි ඉන් කියැවිණ.

#GotaGoHome කියූවත්, ජනාධිපති ගෝඨාභයට පෙර මැයි මස 9 වැනිදා අගමැති රාජපක්ෂව තනතුරෙන් සහ නිල නිවෙසින් ඉවත් කෙරුණේ ප්‍රචණ්ඩ අරාජික කඩා වැදීමකින්ය. ඉන් දින 3කින් මැයි 12 වැනිදා සවස හදිසියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය හමුවේ අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ඇතැයි ජනාධිපති විශ්වාස කරන මන්ත්‍රීවරයකු අගමැති ලෙස පක් කළ යුතු වුවත්, විපක්ෂයේ තනි මන්ත්‍රී අගමැති කරන්නේ කවර දේශපාලන තක්සේරුවක් අනුව දැයි තවමත් නොකිය වෙන්නකි.

එසේ වුවත්, අගමැති හැටියට ඔහුට වහා ඉන්ධන පෝලිම් සඳහා උත්තර සොයන්නට සිදු විය. ලෝක බැංකු තොරතුරු අනුව, 2021 වසරේ අප ඉන්ධන ලබාගෙන ඇත්තේ එක්සත් අරාබි ජනරජයෙන්, ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, මලයාසියාවෙන් හා දකුණු අප්‍රිකාවෙන්ය. 2021 සිවු වැනි කාර්තුවේ සිට 2022 දෙවැනි කාර්තුව අවසන් වන විටත් අප බරපතළ ඉන්ධන හිඟයකට හසුව සිටින්නට හේතු කාරණා දෙකක් තිබිය හැක. පළමුවැන්න, තවදුරටත් ණයට ඉන්ධන දීමට ඒ රටවල් සූදානම් නැතැයි කීම විය හැක. දෙවැන්න, අපේ බලධාරීන් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ කල් තබා ඇණවුම් නොකිරීම ද විය හැක. බරපතළ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් සමග ඔහුගේ අභිමතය මත ඔහුට පත් කළ හැකි සහ ඔහුගේ යැයි කිව හැකි හරිහමන් ආණ්ඩුවක් නැති අගමැති වික්‍රමසිංහට මාස දෙක තුනක් යන්නටත් පෙර ඉන්ධන ණයට දෙන්නට ඉදිරිපත් වන ජාත්‍යන්තර ඉන්ධන වෙළෙන්දකු සිටිය හැකි ද?

මහ මැතිවරණයකින් පළමු වරට රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ආණ්ඩු පාලනයට පත් වූයේ, 2001 දෙසැම්බරයේදීය. එකල මේ රටේ බරපතළ ආර්ථික අර්බුද නොතිබුණි. එහෙත්, ඔහුට තම අගමැති ධුරය වසර 3ක් හෝ රඳවා ගැනීමට නොහැකි විය. නැවත 2015 ජනවාරියේ සිට අගමැති වූ රනිල් වික්‍රමසිංහට යහපාලන ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නොහැකි විය.

ඒ වන විට අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සමස්ත ආධාර මුදල වූ ඩොලර් බිලියන 02.2ක් ලබා ගැනීමේ ගිවිසුම් අත්සන් කර තිබිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 ජුනි 3 වැනිදා නිකුත් කළ නිවේදනයෙහි කියා තිබුණේ, රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මාස 36ක වැඩසටහනකට ඔවුන් සහාය දක්වන බවය. ආර්ථික ප්‍රතිසංස්කරණ කෙසේ වෙතත් 2015 දී ඩොලර් බිලියන 43.9ක් වූ විදේශ ණය, 2019 නොවැම්බරයේදී අගමැති වික්‍රමසිංහ ඉවත් වන විට ඩොලර් බිලියන 56.1ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

සාමාන්‍ය තත්වය සමගින් ද ආණ්ඩු පාලනයක් ගෙන යාමට නොහැකි වූ අගමැති වික්‍රමසිංහ මේ බංකොලොත් රට ගොඩ දැමීමට තරම් අතිශය දක්ෂ පාලකයකු වූයේ කෙසේ ද? නාගරික සමාජය ඔහු ගැන කියන්නේ, ඔහු නොවන්නට විදුලිය කප්පාදු සමග ඉන්ධන පෝලිම් තවමත් තිබෙනු ඇතැයි කියාය. ඔවුන්ට අනුව, 2022 ජුලි 20 වැනිදා ජනාධිපති ලෙස දිවුරුම් දුන් වික්‍රමසිංහගේ විශිෂ්ට නායකත්වය නොවන්නට, මේ රට ගොඩ දැමීමට වෙනත් කිසිවකු නොවුණි.

ඒ වෙනුවෙන් නාගරික මැදපන්තික න්‍යායාචාර්යවරුන් මේ බරපතළ බලහත්කාර ආණ්ඩු පෙරැළිය සාධාරණය කරන්නේ, “ජනතා බලය” සතු ශක්තිය ගැන කීමෙනි. එනමුත්, ආණ්ඩු මාරු කිරීමේ “කුමන්ත්‍රණ කතා” අපගේ වැනි බොහෝ රටවල නිතර අසන්නට ලැබෙන්නකි. ආර්ථික හා භූ-දේශපාලනික වුවමනා මත සිදුවන ආණ්ඩු පෙරැළි ගැන කෙරෙන කුමන්ත්‍රණ කතා හැම විටම හිතලු නොවේ. ඇමෙරිකානු රජයේ තීන්දුවක් මත මැතිවරණයෙන් පත් කෙරුණු චිලියේ සල්වදෝර් අයන්ඩෙ ගේ වාමවාදී සභාග ආණ්ඩුව 1973 දී කුරිරු කුමන්ත්‍රණයකින් පෙරැළීම, හිස් කතාවක් නොවුණි. ඒ ගැන කෙටි සටහනක් තැබීම එනිසා වැදගත් යැයි සිතමි.

ආරම්භයේදීම කිව යුත්තේ මෙහි කියැවෙන සියලු තොරතුරු “තොරතුරු දැනගැනීමේ නිදහස” නම් ඇමෙරිකානු පනත සහ “රාජ්‍ය රහස් වර්ගීකරණය” යටතේ වාර්තා මුදාහැරීමේ පනත අනුව ප්‍රසිද්ධ කෙරුණු නිල වාර්තා ඇසුරෙන් සහ එවැනිම වෙනත් නිල වාර්තා මගින් ලබා ගත් තොරතුරු වන බවය.

චිලියේ සල්වදෝර් අයන්ඩෙ බලයට පැමිණියහොත් චිලිය තවත් කියුබාවක් නැති නම් තවත් සෝවියට් ලැදි රටක් විය හැකි යැයි නික්සන් පාලනය විශ්වාස කළේය. එනිසා ඔහු බලය ගැනීම වැළැක්වීමටත්, බලය ගතහොත් ඉවත් කිරීමටත් ඇමෙරිකාව තීන්දු කරන්නේ 1970 සැප්තැම්බර් 4 වැනිදා චිලියේ ජනාධිපතිවරණයට ද කලින්ය. ඒ මැතිවරණයෙන් අයන්ඩෙට අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය නොලැබුණෙන් වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයා ලෙස ඔහු පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයක් ලබාගත යුතු විය. එබැවින්, වොෂින්ටනයේ සැලසුම් දෙකක් විය. එකක් වූයේ, පාර්ලිමේන්තුවෙහි අයන්ඩෙ විරෝධයක් හැදීමය. ඒ වෙනුවෙන් වියදම් කිරීමට චිලියේ ඇමෙරිකානු තානාපති එඩ්වඩ් කෝරිට ඩොලර් මිලියන 10ක් ලබා දී තිබිණ. දෙවැන්න වූයේ, අයන්ඩෙ ජනාධිපති ලෙස පත් වුවහොත් ඔහුගේ පාලනයට එරෙහි ජනතා විරෝධයක් සමග හමුදා කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමය. ඒ තීන්දු ක්‍රියාත්මක කෙරුණේ රාජ්‍ය ලේකම් හෙන්රි කීසිංගරිගේ සභාපතිත්වයෙන් ජනාධිපති රචඩ් නික්සන් පත් කළ “40 කමිටුව” මගින්ය.

අයන්ඩෙ පාලනය කෙසේ හෝ අවසන් කිරීමේ ඇමෙරිකානු අවශ්‍යතාව වූයේ ඔවුන්ගේ ව්‍යාපාරික ආධිපත්‍යය පවත්වා ගැනීමටය. ලොව විශාලම තඹ නිෂ්පාදකයා චිලියයි. ඒ සමාගම්වල බහුතර අයිතිය ඇමෙරිකානු සමාගම් සතු විය. ඒ වගේම ඇමෙරිකානු යෝධ නිෂ්පාදන සමාගමක් වන අයි.ටී.ටී. සමාගම චිලියේ දුරකතන සමාගම වූ චිටෙල්කො සමාගමේ සියයට 70ක් කොටස් හිමි කරගෙන තිබුණි. අයන්ඩෙ පාලනයක් යටතේ ඒවා ජනසතු කෙරෙනු ඇතැයි නික්සන් පාලනය අනුමාන කළේය. එනිසා ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාව වසර දෙකක් තිස්සේ අයන්ඩෙ බලයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. “නිව් යෝක් ටයිම්ස්” පුවත්පත, 1974 සැප්තැම්බර් 20 වැනිදා “ජනාධිපති සල්වදෝර් අයන්ඩෙ ගොසෙන් බලයෙන් පහ කෙරෙන තෙක් ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාව වර්ජනය කළ වෘත්තීය සමිති හා වෙළෙඳ සංගම් මාස 18ට වැඩි කාලයක් රහස්‍ය ලෙස නඩත්තු කළ බැව්, බුද්ධි අංශ අද පිළිගත්හ” යනුවෙන් වාර්තා කළේය. මෙය ද අපට වැදගත්ය. “තතු දත් අය කියූ පරිදි විශාල වශයෙන් වැය කරනු ලැබුවේ 1972 සරත් ඍතුවේ දින 26ක් ජාතික ප්‍රවාහන වර්ජනයක නිරත වූ ලොරි හිමියන් වෙනුවෙන්ය.” එය චිලියානු ආර්ථිකය බරපතළ ලෙස අඩාල කළ, ජනාධිපති අයන්ඩෙ මුහුණ දුන් පළමු දැවැන්ත කම්කරු විරෝධතාව වූයේ යැයි ද වාර්තාවෙහි සඳහන් විය. ඒ සමග එහි සඳහන් වූයේ, “1973 දී ඒ වර්ජන රැල්ලේ උච්ඡතම අවස්ථාව වන විට, එය වර්ජනය කළ ලොරි රියැදුරන් සමග සාප්පු සේවකයන් සහ වෙනත් වෘත්තිකයන් 2,50,000ට වැඩියෙන් හවුල් වූ, මැදපන්තික සමාජ ව්‍යාපාරයක් විය. ඒ සමග බොහෝ විශ්ලේෂකයන්ගේ මතය වූයේ, ප්‍රචණ්ඩ බල මාරුවක් වැළැක්විය නොහැකි වූ බවකි.”

ඒ සියල්ල සම්පිණ්ඩනය කළ විට කතාව වන්නේ (1) නාගරික මැදපන්තික අයන්ඩෙ විරෝධය ඇමෙරිකානු මුදල් මත හැදුවකි, (2) නාගරික විරෝධතා පාරට ගෙන එන්නට මාධ්‍ය, වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ සංවිධානවලට ඇමෙරිකානු ඩොලර් පොම්ප කරනු ලැබිණ, (3) චිලියානු හමුදාවෙහි අයන්ඩෙ විරෝධී නායකත්වයක් හදනු ලැබිණ, (4) ඒ සියල්ල සන්තියාගෝ නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ විශේෂ නිලධාරියකු මගින් සම්බන්ධිකරණය කරනු ලැබිණ.

ඔගුස්තො පිනොචෙ බලයට එන්නේ ලේ වැකි හමුදා මර්දනයක් සමග සැප්තැම්බර් 11 වැනිදා අයන්ඩෙ ඝාතනය කිරීමෙනි. මේ ආණ්ඩු මාරුවෙන් පසු පිනොචෙ, “චිකාගෝ බෝයිස්” යනුවෙන් ප්‍රසිද්ධ වූ ආර්ථික උපදේශන කමිටුවක් පත් කළේය. ඒ ආර්ථික කමිටුව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චිලියේ ආර්ථිකය නිදහස් වෙළෙඳ ආර්ථිකයක් ලෙස ස්ථාපිත කළේය. ඒ වෙනුවෙන් පළමු වරට 1974 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 79ක ණය ආධාරයක් ද චිලියට ලබා දුන්නේය.

දැන් අප ගැන කතා කළහොත්, අපගේ වැදගත්කම ලොව බලවතුන්ට ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ පිහිටීමෙහිය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2022 අප්‍රේල් මාසයේ නිදහස් කරන ලද “ශ්‍රී ලංකාව - ඒකාබද්ධ උපායමාර්ග” නම් වාර්තාවෙහි පළමු වාක්‍ය කිහිපයෙන් ශ්‍රී ලංකාවේ ඉතා “සංවේදී” දේශපාලනික ස්ථානගත වීම සඳහන් කෙරෙන්නේ, “21 වැනි සියවසේ කලාපීය බලපෑම සඳහා වන අරගලයේ ආකර්ෂණීය සංවේදී කේන්ද්‍රය වන ශ්‍රී ලංකාව, තර්කයකින් තොරව, කලාපයේ මුහුදු ගමන් මග වඩාත්ම උපායමාර්ගික ලෙස පිහිටා ඇති එකම දේශය වන්නේය. වසරකට නැව් 60,000ට අධික සංඛ්‍යාවක් මුහුදු මගින් ප්‍රවාහනය කෙරෙන ලොව බොර තෙල් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් ඇතුළුව බහාලුම් ප්‍රවාහන නැව්වලින් අඩක් ද, 5 වැනි හා 7 වැනි නාවික සේනාංක අතර ගමන් ගන්නා සියලු ඇමෙරිකානු නැව් සංඛ්‍යාව ද ශ්‍රී ලංකා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරති.” යනුවෙනි.

චිලියේ සන්තියාගෝ නුවර අයන්ඩෙ විරෝධයත්, ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර පිටියේ රාජපක්ෂ විරෝධයත්, අනතුරුව දෙරටෙහි ඊළඟ දේශපාලන වර්ධනයත්, ඊට වැඩි සංසන්දනයකට තබන්නට අවශ්‍ය නැතැයි සිතමි.

(*** කුසල් පෙරේරා)