40 වසරක අභිමානය සමරන්න කමාන්ඩෝ බලකාය පා ගමනක


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටීන් ප්‍රනාන්දු)

යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ලබන 08 වැනිදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවයට සමගාමීව  සංවිධානය කරන ලද පා ගමනක් යුද හමුදා කමාන්ඩෝ භටයින්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (05) හලාවත නගරයෙන් ආරම්භ විය.

හලාවත, මහනුවර සහ ගාල්ලේ සිට කමාන්ඩෝ භටයින් සහ නිලධාරීන් කණ්ඩායම් තුනක් 07 වැනිදා සවස ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත ළගා වීමට නියමිතව ඇත.

එම කණ්ඩායම් තුනම 08 වැනිදා පෙරවරුවේ ගනේමුල්ලෙන් පා ගමන ආරම්භ කර කොළඹ ගාලු මුවදොර පිටිය වෙත ළඟා වීමට නියමිතව ඇත.

අද (05) වෙන්නප්පුව- බෝලවත්ත දක්වා මෙම පිරිස පා ගමනින් ගමන් කළ අතර හෙට (06) යළිත් පා ගමන ආරම්භ කිරීමට නියමිතය.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් උපුල් පිලපිටිය, බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ, කර්නල් සංඛ ජයලත් යන මහත්වරු ද මෙම පාගමනට එක්ව සිටියහ.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

 (ඔගස්ටීන් ප්‍රනාන්දු)